3. සමුද්දවාණිජ ජාතකය (466)
කසන්ති වපන්ති තෙ ජනා යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් දෙව්දත් තෙරුන්ගේ පන්සියයක් කුලයන් ගෙන නිරයෙහි පිවිසි බව අරභයා දේශනා කළ සේක. හෙතෙම අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා (ඔහුගේ) පිරිස ගෙන ගියකල්හි ශෝකය දරන්නට නොහැකි වන්නේ උණු ලේ මුවින් නික්මුණ කල්හි දැඩි ලෙස රෝගයන්ගෙන් පීඩාවට පත්වූයේ, තථාගතයන් වහන්සේගේ ගුණයන් සිහිකර මම නවමසක් තථාගතයන් වහන්සේට නපුරක් සිතුවෙමි. ශාස්තෲන් වහන්සේ මා කෙරෙහි පවිටු සිතක් නම් නැත. අසූමහා ස්ථවිරයන් වහන්සේලාගේද මා කෙරෙහි වෛරයක් නැත. මා විසින් කළ කර්මයන් නිසා මම ම දැන් අනාථ වූයේ වෙමි. ශාස්තෲන් වහන්සේ විසින් හරනා ලද්දේ වෙමි. මහා ස්ථවිරයන් විසින් ද ඤාති උතුමන් විසින් ද රාහුල තෙරුන් විසින් ද ශාක්‍ය රාජකුලිකයන් විසින් ද හරනා ලද්දේ වෙමි. ගොස් ශාස්තෲන් වහන්සේ ක්‍ෂමා කරවන්නෙමියි පිරිසට සළකුණක් දී ඇඳ සමගම ගෙන්වා රාත්‍රියට රාත්‍රියට යන්නේ කොසොල් නගරයට පැමිණියේය. ආනන්‍ද තෙරණුවෝ, ස්වාමීනි, දෙව්දත් ඔබ වහන්සේ ක්‍ෂමා කරන්ට එයි යයි ශාස්තෲන් වහන්සේට දැන්වූහ. ආනන්‍දය, දෙව්දත් මගේ දැකීම නොලබන්නේ යයි වදාළහ.
ඉක්බිති ඔහු සැවැත්නුවරට පැමිණි කල්හි නැවත තෙරහු දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ එසේම වදාළ සේක. ජේතවන දොරටුවෙහි ජේතවන පොකුණ සමීපයට පැමිණියා වූ ඔහුගේ පව මස්තකප්‍රාප්ත වීය. සිරුරෙහි දහඩිය උපන්නේය. ස්නානය කර ජලය බොනු කැමති වී ඇවැත්නි, ඇඳෙන් බස්වවු. පැන් බොන්නෙමියි කීවේය. ඔහු ඇඳින් බස්සවා පොළොවෙහි තැබූ පමණින්ම සිතෙහි අස්වැසිල්ලක් නො ලද කල්හිම මහපොළොව විවර වීය. එකෙණෙහිම අවීචියෙන් ගිනිදැල් නැගී ඔහුව වටකෙළේය. ඔහු මගේ පව මස්තකප්‍රප්ත වූයේ යයි තථාගතයන් වහන්සෙගේ ගුණ සිහිකර -
ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු වූ, දෙවියන්ට දෙවි වූ, පුරුෂයන් දමනය කිරීමෙහි නිරත වූ, සර්වඥ වූ සිය ගණනක් ශුභ ලක්‍ෂණයන්ගෙන් හෙබි, ඒ බුදුරජාණන් වහන්සේ මේ ඇටවලින් සිට දිවිහිමියෙන් සරණ යමි.
මේ ගාථාවෙන් (බුදු) සරණයෙහි පිහිටන්නේම අවීචිය පිහිටකොට ඇත්තේ වීය. ඔහුට පන්සියයක් උපස්ථායක කුලයෝ වූහ. ඒවාද ඔහු පාක්‍ෂික වී දසබලධාරීන් වහන්සේට ගරහා අපහාස කර අවීචියෙහිම උපන්නේය. මෙසේ හෙතෙම පන්සියයක් කුලයන් ගෙන අවීචියෙහි පිහිටියේය.
ඉක්බිති එක් දවසක් දම්සභාවෙහි කථාවක් ඉපිදවූහ. ඇවැත්නි, දෙව්දත් තෙමේ පවිටු වූවෙකි. ලාභයෛහි ගිජුවීම නිසා සම්මා සම්බුදුරජාණන් කෙරෙහි නොතැන්හි කෝප බැඳ අනාගතයෙහි වන්නා වූ බිය නොදැක පන්සියයක් කුලයක් සමග අවීචිය පිහිටකොට වූයේ යයි. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, දැන් කිනම් කථාවෙකින් හුන්නාහුදැයි විමසා මෙනම් වූවකනැයි කී කල්හි මහණෙනි, දෙව්දත් තෙමේ ලාභ සත්කාරයන්හි ගිජු වී අනාගත බිය නොබැලුවෙහි දැන් පමණක් නොවේ. පෙරද අනාගත බිය නොබලා වර්තමානයෙහි සැප පිළිබඳව ගිජුකමින් පිරිස සමග මහා විනාශයකට පැමිණියේයයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස්නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරවන කල්හි බරණැස නුදුරෙහි කුලයන් (පවුල්) දහසකට වාසස්ථාන වූ මහාවඩුගමක් වීය. එහි වඩුවෝ තොපට ඇඳක් කරන්නෙමු. පුටුවක් කරන්නෙමු. ගෙයක් කරන්නෙමු යි මිනිසුන් වෙතින් බොහෝ ණය ගෙන කිසිවක් කරන්නට නොහැකි වූවාහුය. මිනිස්සු දුටු දුටු වඩුවන්ට චෝදනා කරත්. හිරිහැරයට පත් කරත්. ඔවුහු ණය දුන්නවුන් විසින් උපද්‍රවයට පත්වූවාහු ගමෙහි වසන්නට නොහැකි වූවාහු වෙනත් දේශයකට ගොස් යම්කිසි තැනක වසන්නෙමු යයි වනයට පිවිස ගස් කපා මහත් වූ නැවක් බැඳ ගංගාවට බස්සවා ගෙනවුත් ගමෙන් එක් ගවු අඩ යොදුන් පමණ තැන තබා මධ්‍යම රාත්‍රී කාලයෙහි ගමට අවුත් අඹුදරුවන් ගෙන නැව තිබූ තැනට ගොස් ඒ නැවට නැග ක්‍රමයෙන් මහමුහුදට පිවිස සුළං බලයෙන් හැසිරෙන්නාහු මුහුද මැද එක් දිවයිනකට පැමිණියාහුය. ඒ දිවයිනෙහි ස්වයංජාත හැල්-උක්දඬු කෙසෙල් අඹ දඹ කොස් පොල් ආදී වූ විවිධ ලොකු කුඩා ගෙඩි ඇත. බිඳුන නැව් ඇති එක්තරා පුරුෂයෙක් පළමුව ඒ දිවයිනට පැමිණ හැල්බත් අනුභව කරන්නේ උක්දඬු ආදිය කන්නේ එහි වාසය කරයි. මහත් වූ සිරුර ඇත්තේ නග්න වූයේ මොනවට වැඩුන කෙස්රැවුල් ඇත්තේය.