2. භද්දසාල ජාතකය (465)
කාත්‍වං සුද්ධෙහි වත්‍ථෙහි යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් ඤාතීන් කෙරෙහි හිතෛශීව හැසිරීම අරභයා දේශනා කළ සේක. සැවැත්නුවර අනේපිඬු සිටුතුමාගේ නිවසෙහි පන්සියයක් භික්‍ෂූන් වහන්සේලාට නිරතුරුව බොජුන් (පිළියෙල වූයේව) පවතී. විශාඛාවගේද කොසොල් රජුගේද (නිවෙස්වල) එසේමය. එතන්හි යම්කිසි නොයෙක් උතුම් රස බොජුන් දෙයි. මෙහි භික්‍ෂූන්ට විශ්වාසවන්ත වූවෙක් නැත. එහෙයින් භික්‍ෂූහු රජමාලිගයෙහි නොවළදත්. බත් ගෙන අනේපිඬු සිටුගේ හෝ විශාකාවගේ හෝ වෙනත් විශවාසවන්තයෙකුගේ හෝ ගෙට ගොස් අනුභව කරත්. රජු එක්දිනක් ගෙනෙන ලද පඬුරු භික්‍ෂූන්ට දෙවයි දානශාලාවට යවා, දාන ශාලාවෙහි භික්‍ෂුන් නැතැයි කී කල්හි, කොහි ගියෝදැයි විමසා තමාගේ විශ්වාසවන්තයන්ගේ නිවෙස්වල හිඳ වළදත් යයි අසා, අනුභව කරන ලද උදේ ආහාර ඇත්තේ ශාස්තෘන් වහන්සේ සමීපයට ගොස් ස්වාමීනි, බොජුන් කවරක් නම් උතුම්කොට ඇත්තේදැයි විචාළේය. මහරජතුමනි, විශ්වාසයම උතුම් කොට ඇත්තේය. විශ්වාසවන්තයා විසින් දෙන ලද කැඳ පමණක් වුවද මිහිරි වේ යයි. ස්වාමීනි, කවරෙකු සමග භික්‍ෂූන්ගේ විශ්වාසය වන්නේදැයි. මහරජතුමනි, නෑදෑයන් සමග හෝ ශෛක්‍ෂ (රහත් මගඵල හැර සෙසු මාර්ගඵල ලැබූ) කුලයන් සමඟ වේ. ඉක්බිති රජු සිතීය. එක් ශාක්‍යවංශික රජදුවක ගෙන්වා අගමෙහෙසිය කරන්නෙමි. මෙසේ මා සමග භික්‍ෂූන්ගේ නෑදෑයන් කෙරෙහි මෙන් විශ්වාසය වන්නේ යයි. හෙතෙම අසුනෙන් නැගිට තමාගෙ නිවෙස්නට ගොස් කිඹුල්වත් නුවරට දූතයෙකු යැවීය. මට දුවක් දෙත්වා! මම නුඹලා සමඟ ඤාතීත්වය කැමැත්තෙමියි.
ශාක්‍යයෝ දූතයාගේ වචනය අසා රැස් වී සාකච්ඡා කළාහුය. අපි කොසොල් රජුගේ අණ පවත්නා තැන වසමු. ඉදින් දැරියක නොදෙමු නම් මහත් වූ වෛරයක් වන්නේය. ඉදින් දෙමු නම් අපගේ කුල පරපුර නැසෙන්නේය. කවරක් නම් කළ යුත්තේදැයි. ඉක්බිති මහානාම ශාක්‍යයා ඔවුන්ට කීවේය. (නහමක්) නොසිතවු. නාගමුණ්ඩා නම් දාසියගේ කුස උපන් සොළොස් වයස් ප්‍රමාණයෙහි සිටි උතුම් රූ දරන්නී වූ සොඳුරු බැවින් අගතැන්පත් පිය පරපුරෙන් ක්‍ෂත්‍රියවංශික වූ වාසභ ඛත්තියා නම් මගේ දුවක් වේ. ඒ ක්‍ෂත්‍රිය කන්‍යාව ඔහුට යවන්නෙමුයි. ශාක්‍යයෝ මැනවයි පිළිගෙන දූතයන් කැඳවා මැනවි දැරියක දෙන්නෙමු. දැන්ම ඇය ගෙන යව් යයි කීහ. දූතයෝ සිතූහ. මේ ශාක්‍යයෝ ජාතිය නිසා අතිශයින් අහංකාර ඇත්තෝය. සුදුසු තැනැත්තියක යයි අපට කියා නුසුදුසු තැනැත්තියක දෙන්නාහුද විය හැකිය. මොවුන් සමඟ එකට අනුභව කරන්නීම ගනිමුයි. ඔවුහු මෙසේ කීවාහුය. අපි (කන්‍යාවක) ගෙන යන්නමෝ තෙපි සමඟ යම් කන්‍යාවක් එකට අනුභව කරයිද ඇය ගෙන යමුයි. ශාක්‍යයෝ ඔවුන්ට වාසය කිරීම සඳහා ස්ථානයක් දෙවා කුමක් කරමුදැයි සිතූහ. මහානාමී කීවේය. තෙපි නහමක් නොසිතවු. මම උපායක් කරන්නෙමි. තෙපි, මම ආහාර ගන්නා වේලාවෙහි වාසභ ඛත්තියාවන් අලංකාරකොට ගෙනවුත් මා එක් බත්පිඩක් ගත්කල්හි දේවයන් වහන්ස, අසවල් රජු හසුනක් එවීය. පළමුකොට එම හසුන අසව යයි හසුනක් දක්වන්නාහු යයි. ඔවුහු මැනවයි පිළිගෙන ඔහු අනුභව කරන කල්හි කුමාරිය අලංකාර කොට හැන්දවූහ.
මහානාම තෙමේ මගේ දුව ගෙන එව්. මා සමඟ අනුභව කෙරේවායි කීය. ඉක්බිති ඇය අලංකාරකොට එකෙනෙහිම යයි මදක් ප්‍රමාද කොට ගෙන ආවාහුය. ඇය පියා සමග අනුභව කරන්නෙමියි එකම තලියට අත බහාලීය. මහානාම ශාක්‍යයා ඇය සමග එක් පිඬක් ගෙන මුවෙහි තැබීය. දෙවන පිඬ සඳහා අත දිගුකළ කල්හිම දේවයන් වහන්ස අසවල් නම් රජු විසින් හසුනක් එවන ලදි. මේ හසුන පළමුව අසව යයි හසුන එළවූහ. මහානාම තෙමේ දරුව, ඔබ අනුභව කරවයි දකුණු අත තලියෙහිම කොට වම්අතින් හසුන ගෙන හසුන බැලීය. ඔහුම හසුන විමසනු ලබන කල්හිම අන් තැනැත්තිය අනුභව කළාය. හෙතෙම ඇය අනුභව කළ කල්හි අත සෝදා මුව සේදීය. දූතයෝ නිශ්චිත වශයෙන්ම මැය මොහුගේ ‘දුව’ යි තීරණයට එළඹයාහුය. එහි වෙනස දැනගන්නට නොහැකිවිය. මහානාම තෙමේ මහත් වූ පිරිවර සමග දූව පිටත් කර හැරීය. දූතයෝද ඇය සැවැත්නුවර පමුණුවා මේ කුමරිය උසස් ජාති ඇත්තීය. මහානාම රජුගේ දුව යයි කීහ. රජු සතුටු වී සියළු නගරය අලංකාර කරවා ඇය රුවන් රැසක් මත තබා අගමෙහෙසි තනතුරෙහි අභිෂේක කරවූවාය. ඇය රජුට ප්‍රිය වූවාය. කැමති වූවාය.