10. මිත්තාමිත්ත ජාතකය (473)
කානි කම්මානි කුබ්බානං යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් කොසොල් රජුට යහපත සඳහා හැසිරෙන ඇමතියෙකු අරභයා දේශනා කළ සේක. හෙතෙම රජුට බොහෝ උපකාර කරන්නේ වීය. ඉක්බිතිව රජ ඔහුට අතිරේක ගෞරවයක් කරවීය. සෙසු තැනැත්තෝ එය නොඉවසන්නාහු දේවයන් වහන්ස, අසවල් ඇමතිරයා නුඹවහන්සේට අයහපත කරන්නෙකැයි බිඳුවාලූහ. රජු ඔහු පරීක්‍ෂා කරනුයේ කිසි දොසක් නොදැක මම මොහුගේ කිසි දොසක් නොදකින්නෙමි. කෙසේනම් මොහුගේ මිත්‍ර බව හෝ සතුරු බව හෝ දැනගන්නට කෙසේනම් හැකිදැයි සිතා මේ ප්‍රශ්නය තථාගතයන් වහන්සේ හැර අනිකෙක් වෙතින් නොහැකි වන්නේ ය යි (උන්වහන්සේ වෙත) ගොස් විමසන්නෙමි යි අනුභව කරන ලද උදේ ආහාර ඇති හෙතෙම ශාස්තෲන් වහන්සේ වෙත එළඹ ස්වාමීනි, පුරුෂයෙකු විසින් තමාට මිත්‍ර බව හෝ සතුරු බව කෙසේ නම් දැනගන්නට හැක්කේදැයි විචාළේය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ඔහුට කියනුයේ මහරජතුමනි, පෙරද පණ්ඩිතයෝ මේ ප්‍රශ්නය සිතා පණ්ඩිතයන්ගෙන් අසා ඔවුන් විසින් කීම් වශයෙන් දැනගෙන පසමිතුරන් අත්හැර මිත්‍රයන් සේවනය කළාහු යයි කියා ඔහු විසින් ඉල්ලන ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි බෝධිසත්ත්වයෝ ඔහුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ඇමතියා වීය. එකල්හි බරණැස් රජුට යහපත පිණිස හැසිරෙන එක් ඇමතියෙකු සෙසු පිරිස රජු හා බිඳුවීය. රජු ඔහුගේ දෝෂයක් නොදක්නේ කෙසේනම් මිත්‍රයා හෝ සතුරා දැනගන්නට හැකිදැයි මහා සත්ත්වයන්ගෙන් විමසන්නේ පළමු ගාථාව කීවේය.
කානි කම්මානි කුබ්බානං - කථං විඤ්ඤු පරක්කමෙ,
අමිත්තං ජානෙය්‍ය මෙධාවී - දිස්වා සුත්‍වාච පණ්ඩිතො
1. නුවණැති පණ්ඩිත පුරුෂයා ඇසින් දැක, කණින් අසා කවර කටයුතු කරන්නා පසමිතුරකැයි දැන ගන්නේද? නුවණැති තැනැත්තා එය දැනගැනීමට කෙසේ නම් යත්ත දැරිය යුතුද?
එහි අර්ථය බුද්ධිමත් පණ්ඩිත පුරුෂයා කවර කටයුතු කරන්නෙකු ඇසින් දැක, කනින් අසා මෙතෙම මගේ සතුරෙකැයි දන්නේද? එය දැනගැනීම පිණිස දැනුවත් පුද්ගලයා කෙසේනම් වෑයම් කරන්නේදැයි.
අනතුරුව ඔහුගේ පසමිතුරු ලක්‍ෂණය කියන්නේ.
2. පසමිතුරා එම මිතුරාව දැක සිනා නොවෙයි. ඔහු පිළිබඳව සතුටු නොවෙයි. ඔහුට ඇස් ඇර බැලීම නොදෙයි. ඔහුගේ කථාවට විරුද්ධ වෙයි.
3. ඔහුගේ සතුරන් භජනය කරයි. ඔහුගේ මිතුරන් ඇසුරු නොකරයි. ගුණ කියන කැමැත්තන් වළක්වයි. නුගුණ කියන්නවුන්ට ප්‍රශංසා කරයි.
4. ඔහුට රහස් නොකියයි. ඔහුගේ රහස් නො සඟවයි. ඔහුගේ කටයුතු වර්ණනා නො කරයි. ඔහුගේ නුවණ ප්‍රශංසා නො කරයි.
5. ඔහුගේ පරිහානියේදී සතුටු වෙයි. ඔහුගේ දියුණුවෙහිදී සතුටු නො වෙයි. මිහිරි ආහාරයක් ලබන ලද්දේ ඔහුට දීමෙහි මතකයක් නූපදවයි. ඔහුද එයින් ලබන්නේ නම් මැනවයි අනුකම්පා නොකරයි. පුදුමයකි!
6. පණ්ඩිත තැනැත්තා යම් කරුණු කරණ කොටගෙන ඇසින් දැක කනින් අසා සතුරා දැනගන්නේද මේ සොළොස් ආකාර වූ නුගුණයෝ සතුරා කෙරෙහි පිහිටියෝය.
මහා සත්ත්ව තෙමේ මේ ගාථා පහ ප්‍රකාශ කර නැවත.
7. නුවණැති පණ්ඩිත පුරුෂයා ඇසින් දැක කනින් අසා කවර කටයුතු කරන්නා මිතුරෙකැයි දැනගන්නේද? නුවණැති තැනැත්තා එය දැනගැනීමට කෙසේනම් යත්ත දැරිය යුතුද?
මේ ගාථාවෙන් මිතුරන්ගේ ලක්‍ෂණය විමසන ලද්දේ සෙසු ගාථාවන් ප්‍රකාශ කළේය.
8. විදේශයට ගිය ඔහුගේ මිතුරා සිහි කරයි. ආපසු පැමිණි මිතුරා දැක ඉතා සතුටු වෙයි. අනතුරුව මමායනය කරයි. කථාබහ කිරීමෙන් සතුටු වෙයි.
9. ඔහුගේම මිතුරන් ඇසුරු කරයි. ඔහුගේ සතුරන් ඇසුරු නො කරයි. නින්දා කරන්නේ වළක්වයි. ගුණ කියනු කැමැත්තෙන්ම ප්‍රශංසා කරයි.
10. ඔහුට රහස් කියයි. ඔහුගේ රහස් සඟවයි. ඔහුගේ කටයුතු වර්ණනා කරයි. ඔහුගේ නුවණ පසසයි.
11. ඔහුගේ දියුණුවෙහිදී සතුටු වෙයි. ඔහුගේ පරිහානියෙහිදී නොසතුටු වෙයි. මිහිරි ආහාරයක් ලබන ලද්දේ ඔහු සිහිපත් කරයි. අනතුරුව ඔහුද එය ලබන්නේ නම් මැනවයි ඔහුට අනුකම්පා කරයි. පුදුමයකි!
12. පණ්ඩිත තැනැත්තා යම් කරුණු කරණ කොටගෙන ඇසින් දැක කනින් අසා මිතුරා දැනගන්නේද මේ සොළොස් ආකාර වූ ගුණයෝ මිතුරා කෙරෙහි මනාව පිහිටියෝ වෙති.