9. මහාධම්මපාල ජාතකය (447)
කින්තෙ වතං යන මේ ගාථාව ශාස්තෘන් වහන්සේ පළමු ගමනින් කිඹුල්වතට ගොස් නිග්‍රෝධාරාමයෙහි වාසය කරන සේක් පියාගේ නිවෙස්නහි රජුගේ නොඇදහීමක් අරභයා දේශනා කළ සේක. එකල්හි සුදොවුන් මහරජු විසිදහසක් පිරිවර ඇති භාග්‍යවතුන් වහන්සේට තම නිවෙස්හි කැඳ-කැවිලි දී බත් අතර කාලයෙහි සතුටුවිය යුතු කථා කරන්නේ ස්වාමීනි, ඔබගේ වීර්ය වඩන කාලයෙහි දේවතාවෝ පැමිණ අහස්හි සිට ඔබගේ පුතු වූ සිද්ධාර්ථ කුමාරයා ස්වල්පාහාර ඇති නිසා මළේ යයි මට දැන්වූහයි කීය. බුදුරජු විසින් මහරජ, ඇදහුවෙදැයි කී කල්හි ස්වාමීනි, නොඇදහුවෙමි. අහස්හි සිට දේවතාවෝ කියන්නෝද මගේ පුතා බෝමැඩහි බුද්ධත්වයට නොපැමිණ පිරිනිවන්පෑමක් නම් නැතැයි ප්‍රතික්‍ෂෙප කෙළෙමියි කීය. මහරජතුමනි, පෙර ඔබ මහාධර්මපාල කාලයෙහිද තොපගේ පුතු මළේය. මේ ඔහුගේ ඇටයි දක්වා කියන්නා වූ දිසාපාමොක් ආචාරීන්ට අපගේ කුලයෙහි තරුණ කල කළුරිය කිරීමක් නම් නැතැයි විශ්වාස නොකළේය. දැන් වනාහි කුමක් හෙයින් අදහන්නෙහි දැයි කියා ඔහු විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි කසීරට ධම්මපාල නම් ගමක් විය. එගම ධර්මපාල කුලය වසන බැවින් මේ නම ලැබුවේය. එහි දසකුසලපථ ධර්මයන් පාලනය කරන හෙයින් ධර්මපාල යනුවෙන්ම ප්‍රසිද්ධ වූ බ්‍රාහ්මණයෙක් වාසය කරයි. ඔහුගේ කුලයෙහි අවසන් වශයෙන් දාස කම්කරුවෝද දන් දෙති. සිල් රකිති. පෙහෙවස් කර්මය කරති. එකල්හි බෝධිසත්ව තෙමේ ඒ කුලයෙහි උපන්නේය. ධර්මපාල කුමාරයා යනුවෙන්ම ඔහුට නම් කළාහුය. ඉක්බිති සුදුසු වයසට පත් ඔහුට පියා දහසක් දී ශිල්ප ඉගෙනීම පිණිස තක්‍ෂිලාවට යැවීය. හෙතෙම එහි ගොස් දිසාපාමොක් ආචාරීන් සමීපයෙහි ශිල්ප උගත්තේය. පන්සියයක් මානවකයන් අතර දෙටු අතවැසියා වීය. එකල්හි ආචාර්යයන්ගේ වැඩිමහල් පුතා කළුරිය කෙළේය. ආචාර්ය තෙමේ මානවකයන් පිරිවරන ලද්දේ නෑ සමූහයා සමග හඬන්නේ සොහොනෙහි ඔහුගේ ශරීරය පිළිබඳ ආදාහන කටයුතු කරවයි. එහිදී ආචාර්යවරයාද නෑ සමූහයාද අතවැසියෝද හඩත්. වැලපෙත්. දක්‍ෂ වූ ධර්මපාල නොහඬයි. නොවැළපෙයි. තවද ඒ පන්සියයක් මානවකයන් සොහොනින් අවුත් ආචාර්යයන්ගේ සමීපයෙහි හිඳ ඛේදයක මහත. මෙබඳු වූ මනා පැවැත්මෙන් යුක්ත වූ තරුණ මානවකයා යොවුන් වියෙහිදීම මව්පියන්ගෙන් වෙන් වූයේ මරණයට පත්වූයේ යයි කියන කල්හි යහළුවෙනි, තෙපි තරුණයෙකැයි කියහු. තවද තරුණ කාලයෙහිදීම මළේය. යොවුන් කාලයෙහි මැරීම නුසුදුසු නොවේදැයි කීය.
ඉක්බිති ඔහුට ඒ මානවකයෝ කීහ. යහළුව, ඔබ මේ සත්ත්‍වයන්ගේ මරණ ස්වභාවය නොදන්නෙහිද? දනිමි. තරුණ කාලයෙහි නොමැරෙත්. මහළු කාලයෙහිදීම මැරෙත්. සියළු සංස්කාරයෝ අනිත්‍යයෝ වී විනාශ වන්නෝ නොවෙත්ද? අනිත්‍ය බව සැබවි. යොවුන් කාලයෙහිදී සත්ත්‍වයෝ නොමැරෙති. මහළු කාලයෙහි අනිත්‍ය බවට පැමිණෙත් යි. කිම යහළු ධම්මපාලයනි, නුඹගේ ගෙහි කිසිවෙක් තරුණ කාලයෙහි නොමැරෙත්ද? මහළු කාලයෙහිදීම මැරෙත්දැයි. කිම මෙය තොපගේ කුලයෙහි පරම්පරාගත උරුමයක්ද? එසේය. පරම්පරාගත උරුමයකි. මානවකයෝ ඔහුගේ ඒ කථාව අසා ආචාර්යයන්ට දැන්වූවාහුය. ඉක්බිති හෙතෙම ඔහු කැඳවා විමසීය. දරුව, ධර්මපාලය, තොපගේ කුලයෙහි තරුණ කාලයෙහි නොමියත් යනු ඇත්තද? ආචාර්යතුමනි, ඇත්තයි. ඔහු ඒ ධර්මපාලගේ කථාව අසා සිතීය. මොහු අතිශයින් පුදුම වූවක් කියයි. මොහුගේ සමීපයට ගොස් විමසා ඉදින් මෙය සත්‍ය නම් මමද එම ධර්මයම සම්පූර්ණ කරන්නෙමියි. හෙතෙම පුතාට කළයුතු කටයුතු කොට සත්-අට දවසක් ඇවෑමෙන් ධර්මපාල කැඳවා දරුව, මම බැහැර යන්නෙමි. ඔබ මා පැමිණෙන තෙක් මේ මානවකයන්ට ශිල්ප උගන්වවයි. (කියවවයි) කියා එක් එළුවෙකුගේ ඇට ගෙන සෝදා පසුම්බියක කොට එක් සුළු උපස්ථායෙකු ගෙන තක්‍ෂිලාවෙන් නික්මී පිළිවෙලින් එගමට පැමිණ මහාධර්මපාලගේ ගෙය කොහිදැයි විමසා ගොස් දොරටුවෙහි සිටියේය. බ්‍රාහ්මණයාගේ දාසයන් වූ මිනිසුන් අතර යමෙක් යමෙක් පළමුව දුටුවේද ඒ ඒ තැනැත්තා ආචාර්යයන්ගේ අතින් කුඩය ගත්තේය. පාවහන ගත්තේය. උපස්ථායකයාගේ අතින් පසුම්බිය ගත්තේය. ඔබගේ පුතු වූ ධර්මපාල කුමාරයාගේ ගුරුවරයා දොරටුවෙහි සිටියේ යයි කුමාරයාගේ පියාට දන්වව් යයි කියන ලද්දෝ ඔවුහු මැනවයි කියා දැන්වූහ. හෙතෙම වේගයෙන් දොර මුලට ගොස් මෙහෙන් එවයි ඔහු ගෙට කැඳවා පළගෙහි හිඳුවා පාදෙවීම් ආදී සියළු කටයුතු කෙළේය.