10. කුක්කුට ජාතකය (448)
නාස්මසෙ කතපාපමහි යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක්, මැරීම පිණිස උත්සාහ කිරීම අරබයා වදාළ සේක. භික්ෂූහු ධර්මසභාවෙහි දෙව්දත්ගේ නුගුණ කථාවක් උපදවාලූහ. ඇවැත්නි, දේවදත්තයා දුනුවායන් ආදීන් යෙදවීමෙන් බුදුරජාණන් වහන්සේ මරණයට පත්කිරීම පිණිසම උපාය කරයි යි. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, කිනම් කථාවෙක නිරතව හුන්නාහුදැයි විමසා මෙනම් කථාවකැයි කී කල්හි මහණෙනි, දැන් පමණක් නොවේ. පෙරද මා මරණයට පත්කිරීමට උත්සාහ කළේම යයි කියා අතීත කථා ප්‍රවෘත්තිය ගෙනහැර පෑ සේක.
අතීතයෙහි කොසඹෑ නුවර කෝසම්බක නම් රජ රාජ්‍යය කරවීය. එකල්හි බෝසත් තෙමේ එක් උණ වනයෙක කුකුළු ජාතියෙහි උපන්නේය. නොයෙක් සියගණනක් කුකුළන් පිරිවර කර ඇත්තේ වනයෙහි වසයි. ඒ නුදුරෙහි එක් උකුස්සෙක් වාසය කරයි. ඌ උපායෙන් එක් එක් කුකුළෙකු බැගින් ගෙන කන්නේ බෝසතුන් හැර සෙස්සන් කෑවේය. බෝසත් තෙමේ හුදකලා විය. හෙතෙම අප්රමාදී වූයේ කල්වේලා ඇතිව ගොදුරු ගෙන උණ වනයට පිවිස වසයි. උකුස්සා ඌ ගැනීමට නොහැකි වන්නේ එක් උපායකින් ඌ පොළඹවා ගන්නනෙමියි සිතා ඒ නුදුරෙහි අත්තෙක සැඟවී සිට යහළුව, කුකුළු රජතුමනි, ඔබ කුමක් හෙයින් මට බියවෙහිද? මම ඔබ සමඟ ඇසුරු කරනු කැමැත්තෙමි. අසවල් ප්‍රදේශය ගොදුරු සහිතය. දෙදෙනාම එහි ගොදුරු ගෙන එකිනෙකා ප්‍රිය ලෙස එකට වසන්නෙමුයි කීය. ඉක්බිති ඔහුට බෝසත් තෙමේ කීය. යහළුව, ඔබ සමග මගේ විශ්වාසයක් නැත. ඔබ යවයි. යහළුව, ඔබ මගේ පෙර කරන ලද පවිටු ක්‍රියා නිසා විශ්වාස නොකරන්නහෙිය. මෙතැන් පටන් එවැන්නක් නොකරන්නෙමියි. මට ඔබ වැනි වූ යහළුවෙකුගෙන් වැඩක් නැත. තෝ යවයි කීය. මෙසේ තෙවන වර දක්වා ඔහු වළක්වා මෙපමණක් අංගයන්ගෙන් යුක්ත පුද්ගලයා සමග විශ්වාස කරන්ට නොසුදුසු යයි වනලැහැබ මහහඬින් ශබ්ද කරනුයේ දේවතාවන් සාධුකාර දෙනු ලබන කල්හි ධර්මකථාවක් උපදවීය.
නා සම සෙ කතපාපම්හි - නාසමසෙ අලිකවාදීනෙ,
නා සම සත්තට්ඨ පඤ්ඤමහි - අති සන්තෙපි නා සමසෙ
නා සම සත්තට්ඨ පඤ්ඤමහි - අති සන්තෙපි නා සමසෙ
1. කරන ලද පවු ඇති පුද්ගලයා කෙරෙහිද. බොරු කියන්නා කෙරෙහිද, ආත්මාර්ථය කෙරෙහිම නුවණ මෙහෙයවන්නන් කෙරෙහිද, අතිශයින් සන්සුන් පුද්ගලයා කෙරෙහිද, විශ්වාස නොකරන්නේය.
2. ඇතැම් පුරුෂයෝ පිපාසිත වූ ගවයන් වැනි වෙති. (ඔවුහු) වචනයෙන් මිතුරන් කා දමති. වචනයෙන් කිසිවක් නොකරති.
3. යම් කෙනෙකු වෙත කළගුණ දන්නා බව නැත්ද, හිස් ඇඳිලි බැඳීම් වේද වචනයෙන් හාත්පස වැසුනේද එවැනි හිස් මිනිසුන් වෙත නොයන්නේය.
4. නිතර වෙනස්වන සිත් ඇති ස්ත්‍රිය හෝ පුරුෂයින් විශ්වාස නොකරන්නේය. කවරක් හෝ කොට හිතෛෂී වන්නේද එවැනි අයද විශ්වාස නොකරන්නේ ය.
5. පහත් ක්‍රියාවට බැසගත් ස්ථිර නොවූ කථා ඇති ඉඩකඩ ලත් සැනින් සියල්ලන් නසන හෙයින් මුවහ වූ තියුණු කඩුවක් මෙන් වූවන් විශ්වාස නොකරන්නේ ය.
6. මෙලොව ඇතැම්හු සිළුටු වූ එමෙන්ම හිතෛෂී නොවන හෙයින් පරුෂ වූ මිත්‍ර ස්වරූපයෙන් සිටින්නාහු විවිධ උපක්රමයන්ගෙන් පරිහානිය කැමති වන්නෝ වෙති. ඔවුන්ද විශ්වාස නොකරන්නේ ය.
7. එබඳු තැනැත්තා මිතුරකුගේ නිවසක ආහාරයක් හෝ ධනයක් හෝ දක්නේද (මිතුරාට) ද්‍රෝහී කටයුත්තක් කර එය පැහැරගනී. ඒ මෝඩයා ඔහු (මිතුරා) ද නසා යයි යි. මේ ගාථා කීහ.
එහි නාස්මසෙ යනු විශ්වාස නොකරන්නේ ය. මෙම වූ පාඨයි. විශ්වාස නොකරන්නේය යි කියන ලද්දේ වෙයි. කත පාපම්හි යනු පළමුව පවුකරන ලද පුද්ගලයා කෙරෙහි. අලිකවාදිනෙ යනු බොරු කියන්නා කෙරෙහි විශ්වාස නොකරන්නේය. ඔහු විසින් නොකළ හැකි පවක් නම් නැත. නාස්මසත්තට්ඨ පඤ්ඤම්හි යනු තමාගේ අර්ථය පිණිසම යමෙකුගේ ප්‍රඥාව සෙනෙහෙ වශයෙන් භජනය නොකෙරේද ධනය කැමැත්තේම භජනය කෙරේද ආත්මාර්ථකාමී නුවණ ඇත්තා කෙරෙහිද විශ්වාස නොකරන්නේ ය. අති සන්තෙ යනු ඇතුලත් සන්සුන් බවක් විද්‍යමාන නොවන කල්හිම පිටත සන්සුන් බව දැක්වීමෙන් ඉතා ශාන්ත වූවන් මෙන් පිළිසන් කටයුතු ඇත්තන් කෙරෙහිද. කුහරයෙහි සැඟවුන සර්පයෙකු හා සමාන කුහක පුද්ගලයා කෙරෙහි. ගො පිපාසක ජාතිකා යනු ගවයන් අතර පිපාසයට පත් වුවෙකු මෙන්. පවසට පත් වූ ගවයෙක් හා සමාන යයි කියන ලද්දේ වෙයි. යම්සේ පිපාසිත ගවයෝ තොටුපොළට බැස මුව පුරා ජලය බොති. ජලයට කළයුතු (ගුණවත්) කටයුතු නොකරති. එසේම ඇතැම්හු මෙයත් මෙයත් කරමු යයි මිහිරි වචනයෙන් මිත්‍රයන් කරත්. ප්‍රිය වචනයන්ට සුදුසු වූවක් නොකරති. එවැන්නක් කෙරෙහි විශ්වාසය මහත් වූ අනර්ථය පිණිස වේ යයි දක්වයි.
සුක්ඛඤ්ජලි පග්ගහිතා යනු ගන්න ලද හිස් ඇඳිලි කර්ම ඇත්තාහුම. වාචාය පළිගුණ්ඨිතා යනු මෙය දෙමු කරන්නෙමුයි යන වචනයෙන් වසන ලද්දාහු. මනුස්ස ඓග්ගු යනු මෙබඳු වූ හිස් මිනිස්සු මනුස්ස ඓග්ගු නම් වෙති. නාසීදෙ යනු ඔවුන් වෙත නො යන්නේය. එවැන්නක් වෙත නො එළඹෙන්නේ ය. යස්මිං නත්ථි යනු යම් පුද්ලගයෙකු කෙරෙහි කළගුණ දන්නා බව නැත්ද ඔහු වෙතද නො යන්නේ ය යන අර්ථයි. අඤ්ඤඤ්ඤ චිත්තා යනු වෙන් වෙන් වූ සිතින් යුක්ත වූවන්ගේ, ලිහිල් සිත් ඇත්තවුන්ගේ යන අර්ථයි. මෙබඳු වූ ස්ත්‍රීන් හෝ පුරුෂයන් හෝ විශ්වාස නො කරන්නේ යයි දක්වයි. නානාව කත්වා සංසග්ගං යනු යමෙක් වෙතට නොගොස් මොහුට අනතුරක් කරන්නට නොහැකිය යි අනතුරු කිරීම සඳහා නොයෙක් කරුණුවලින් එකට විසීම කර දැඩි සේ කර පසුව අනතුර කරයි. එවැනි පුද්ගලයා කෙරෙහි විශ්වාස නො කරන්නේ ය. විශ්වාස නො කරන්නේ යයි දක්වයි.