11. මට්ටකුණ්ඩලී ජාතකය (449)
අලද්ධකතො මට්ටකුණ්ඩලී යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයෙහි වාසය කරන්නේ එක් මළ කෙළෙඹි පුතෙකු අරබයා දේශනා කළ සේක. සැවැත්නුවර එක් බුද්ධෝපස්ථායක කුලයක ප්‍රිය වූ පුතෙක් කළුරිය කළේය. හෙතෙම පුත්‍ර ශෝකයෙන් කම්පා වූයේ නො නායි. ආහාර අනුභව නොකරයි. කර්මාන්තයන් නොවිමසයි. බුදුරදුන්ගේ උපස්ථානයට නොයයි. හුදෙක් ප්‍රිය පුතණුවෙනි, මා හැර පළමුව ගියෙහි යයි ආදීන් කියා වැළපෙයි. බුදුරජු අළුයම් කාලයෙහි ලොව බලන්නේ ඔහුගේ සෝවාන් ඵලයට පැමිණීමේ වාසනාව දැක දෙවන දවස්හි භික්‍ෂු සංඝයා පිරිවරන ලද්දේ සැවැත්නුවර පිඬු පිණිස හැසිරී කරන ලද බත් කිස ඇත්තේ භික්‍ෂූන් පිටත් කර යවා ආනන්‍ද තෙරුන් දෙවන ශ්‍රමණයන් කොට ඔහුගේ ගෙට ගියේය. බුදුරජු පැමිණි බව කෙළෙඹියාට දැන්වූහ. ඉක්බිති ඔහුගේ ගෙයි වසන ජනයා අසුනක් පනවා බුදුරජුන් වැඩහින්දවා කෙළඹියා ගෙන බුදුන් සමීපයට ගෙන ආවේය. ශාස්තෲන් වහන්සේ වැඳ එකත්පස්ව හුන් ඔහුව කරුණාවෙන් සිසිල් වූ වචනයෙන් අමතා උපාසකය, කිම එකම පුතු වෙනුවෙන් ශෝක කරන්නෙහිදැයි විමසා එසේය ස්වාමීනි යයි කී කල්හි උපාසකය පැරණි පඩුවෝ පුතු කළුරිය කළ කල්හි ශෝකයෙන් මඩනා ලදුව හැසිරෙන්නාහු පණ්ඩිතයන්ගේ කථාව අසා සත්‍ය වශයෙන්ම (මරණයෙන් තොරවීම) නොලැබිය හැකි තැනක් යයි දැන අල්පමාත්‍ර වූද ශෝකයක් නොකළහ යයි කියා ඔහු විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස්නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි එක් මහත් සම්පත් ඇති බ්‍රාහ්මණයෙකුගේ පුතා පසළොස් සොළොස් වයස් කල්හි එක් රෝගයකින් පෙළුනේ කළුරියකොට දෙව්ලොව උපන්නේය. බ්‍රාහ්මණයා ඔහු කළුරිය කළ තැන් පටන් සොහොනට ගොස් අළු පිසිනය වටේ කරකැවෙමින් හඬයි. සියළු කර්මාන්ත සිඳ දමා ශෝකයෙන් මඩනා ලද්දේ හැසිරේ. හැසිරෙන්නා වූ දේවපුත්‍රයා ඔහු දැක එක් උපායක් කොට ශෝක බැහැර කරන්නෙමියි ඔහු සොහොනට ගොස් ඔහුගේම පුත්‍රයා හා සමාන වී සියළු ආභරණවලින් සැරසී එක්පසෙක සිට දෙඅත් හිසෙහි තබා මහහඬින් වැළපුනේය. බමුණා ශබ්දය අසා ඔහු දෙස බලා පුත්‍ර ප්‍රේමය ලබා ඔහු සමීපයෙහි සිට දරුව, මානවකය, මේ සොහොන මැද කුමක් හෙයින් වැළපෙහිදැයි විමසන්නේ පළමු ගාථාව කීවේය.
අලද්ධකතො මට්ටකුණ්ඩලී මාලාභාරී හරිචන්‍දනුස්සදො,
බාහා පග්ගය්හ කන්‍දසි වනමජ්ක්‍ධෙ කිං දුක්ඛිතො තුවන්ති
1. තොප නොයෙක් ආභරණයෙන් සැරසී, මට කොඩොල් පැළඳ, මල් මාලාවන්ගෙන් යුක්ත වූයේ සුවඳ සඳුන් ගල්වන ලද්දේ හිස අත් බැඳගෙන වනමැද දී හඬන්නෙහිය. කවර කරුණින් දුකට පත් වූයෙහිද?
එහි අලද්ධකාතො යනු නොයෙක් ආභරණයන්ගෙන් හොබනා වූයේ මට්ටකුණ්ඩලී යනු තවදුරටත් කිරීමෙන් නිමවිය යුතු (වැඩ අවසන් නොවූ) කුණ්ඩලාභරණයන්ගෙන් යුක්ත වූයේ. මාලාහාරී යනු විසිතුරු මල්මාලා දරන්නේ. හරිචන්‍දනුස්සදො යනු රන්වන් වූ සඳුන්වලින් ගල්වන ලද්දේ වන මජෙක්‍ධ යනු සොහොන මැද. කිං දුක්ඛිතො තුවං යනු කවර කරුණින් ඔබ දුකට පත්වූයේද? කියව, මම තොප යමක් කැමති වන්නෙහිද එය දෙන්නෙමියි කීය.
ඉක්බිති මානවකයා ඔහුට කියනුයේ දෙවන ගාථාව කීවේය.
2. පැහැපත්, රන්මුවා වූ රිය මැදිරියක් මට ලැබුණි. එයට රෝද දෙකක් නොලබමි. ඒ දුකින් දිවි හරිමි.
බමුණා එය පිළිගමින් තෙවන ගාථාව කීය.
3. රණින්ම කළ, මැණික්වලින්ම කළ, ලෝහයෙන්ම කළ, තවද රිදීයෙන්ම කළ රියක් ඔබට කරවමි. කියව, ඔබගේ රෝද යුවල ඔබට ගෙනදෙමි යි.
එහි පාවද යනු තොපට යම්බඳු වූවකින් වැඩක් වේද? යම්බඳු වූවක් කැමති වේද එවැන්නක් කියව. මම ඔබගේ රථය කරවමි. පටිපාදයාමි මැදිරියට අනුරූපී වූ රෝද දෙකක් ඔබට ලබා දෙමි.
ඒ අසා මානවකයා විසින් කියන ලද ගාථාවෙහි පළමු පාදය බුද්ධත්‍වයට පත් වී වදාළේය.
4. ඒ මානවකයා ඔහුට කීවේය. සඳහිරු දෙදෙන මෙහි සොහොයුරෝය. (රිය මැදිරියට රෝද දෙක හෙයිනි) මගේ රනින්ම කරන ලද රථය ඒ රෝද දෙකින්ම හොබනේය යි.
සෙස්ස මානවකයා කීය. බමුණා අනතුරුව කීවේය.
5. යම්බඳු වූ තොප නොපැතිය යුත්තක් පතන්නේද (එහෙයින්) ඔබ මෝඩයෙක් වෙහිය. ඔබ මැරෙන්නෙහි නමුත් සඳ හිරු දෙදෙන නොබලන්නෙහි යයි සිතමි.
බමුණා විසින් කියන ලද ගාථාවෙහි අපත්‍ථියං යනු නොපැතිය යුතු.
ඉක්බිති මානවකයා කීවේය.
6. යෑම ඊමද, පැහැයද ගමන්මාර්ග දෙකද දක්නේය. මියගිය තැනැත්තා නො පෙනෙන්නේ ම ය. හඬන්නා වූ අප දෙදෙනාගෙන් කවරෙක් නම් අතිශයින් මෝඩ වේද?
මානවකයා විසින් කියන ලද ගාථාවෙහි, ගමනාගමනං යනු නැගීම හා බැසීමයි. වර්ණයම ධාතු වූයේ වණ්ණධාතු වේ. උභයෙත්‍ථ වීථියෝ යනු මේ අහසෙහි මේ චන්‍ද්‍රයාගේ මාර්ගයයි. මේ සූර්යයාගේ මාර්ගයයි මෙසේ දෙදෙනාම පැමිණි මාර්ගයන් පෙනේ. පෙතො පන යනු පරලොව ගිය සත්ත්වයා නො පෙනෙන්නේමය. කොනුඛො යනු මෙසේ ඇති කල්හි හඬන්නා වූ අප දෙදෙනගෙන් කවරෙක් අතිශයින් මෝඩ වන්නේද?
මානවකයා මෙසේ කියන කල්හි බ්‍රාහ්මණයා එය සලකා ගාථාවක් කීවේය.
7. මානවකය, ඇත්තක්ම කීයෙහිය. හඬන්නවුන් අතර මම ම වැඩියෙ‍ථක් මෝඩ වෙමි. හඳ ඉල්ලා හඬන දරුවෙකු මෙන් මම මිය පරලොව ගිය අයෙකු පතන්නෙමි.
එහි චන්‍දං විය දාරකො යනු යම්සේ බාල වූ ගම්දරුවෙක් සඳ දෙවයි සඳ ලබා ගැනීම සඳහා හඬන්නේද මෙසේ මමද මියපරලොව ගියෙකු පතන්නෙමි යි.