12. බිළාර කෝසිය ජාතකය (450)
අපචන්තා පි යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ දෙව්රමෙහි වාසය කරන්නේ එක් දන්දීමෙහි ඇළුණු සිත් ඇති භික්ෂුවක් අරබයා වදාළ සේක. හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාව අසා පැවිදි වූ කල පටන් දානයෙහි ඇළුණු සිත් ඇත්තේ වීය. දානය පිළිබඳ අදහස් ඇත්තේ වීය. පාත්‍රයට ලැබුන පිණ්ඩපාතය අනිකෙකුට නොදී නොවැළදීය. යටත් පිරිසෙයින් පැන් වුවද ලැබ අනිකෙකුට නොදී නොබීවේය. මෙසේ දානයෙහි ඇළුනේ වීය. ඉක්බිති දම්සභාවෙහි ඔහුගේ ගුණකථාව කළාහුය. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, දැන් කිනම් කථාවෙකින් යුක්තව හුන්නාහු දැයි විමසා මෙනම් කථාවක් යැයි කී කල්හි ඒ භික්ෂුව කැඳවා ඔබ දානයෙහි ඇළුන සිත් ඇත්තේ දානයෙහි අදහස් ඇත්තේ සැබෑ දැයි විමසා ස්වාමීනි, ඇත්ත යයි කී කල්හි මහණෙනි, මෙතෙම පෙර ශ්‍රද්ධා නැත්තේ වීය. නොපැහැදුනේ වීය. තණ අගින් තෙල් බින්දුවක්ද උපුටා කිසිවෙකුට නො දුන්නේය. ඉක්බිති මම ඔහු දමනය කර ලෝභය නොසෙව්වුනෙකු කර දානයෙහි විපාක පැණවීමි. ඒ මොහු දානයට නැඹුරු වූ සිත අන්‍ය භවයන්හිද අත් නොහරන්නේ යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි බෝධිසත්ත්වයන් වහන්සේ සිටු කුලයෙහි ඉපිද සුදුසු වයසට පත් වූයේ, පවුලක් පිහිටුවා. පියා ඇවෑමෙන් සිටු තනතුරට පත්වී එක් දිනක් තමා සතු ධනය බලා ධනය පෙනේ. මේ ධනය උපදවන්නෝ නොපෙනෙති. මේ ධනය වියදම් කර මා විසින් දන් දෙන්නට වටනේ යයි දන් ශාලාවක් කරවා දිවිහිමියෙන් මහදන් පවත්වා ආයුෂ කෙළවර මේ දන්වැට නොසිඳුව යයි පුතාට අවවාද දී තව්තිසා භවනයෙහි ශක්‍රයා වී උපන්නේය. ඔහුගේ පුත්‍රයාද එසේම දන් දී සිය පුතුට අවවාද කර ආයු කෙළවර චන්ද්‍ර දේවපුත්‍රයා වී උපන්නේය. ඔහුගේ පුතා සූරිය දෙව්පුත්ද වී ඔහුගේද පුතා මාතලී රථාචාර්යයා වී ඔහුගේ පුතා පඤ්චසිඛ ගාන්ධර්ව පුත්‍රයා වී උපන්නේය. සවැන්නා ශ්‍රද්ධා නැත්තේ වීය. තද සිත් ඇත්තේ වීය. සෙනෙහෙ නැත්තේය. මසුරුය. දන් ශාලාව වනසා දා යාචකයන් තලා බැහැර කරවීය. කිසිවෙකුට තණ අගින් තෙල් බින්දුවකුදු නොදෙයි. එකල්හි ශක්‍ර දේවරාජයා තමාගේ පෙර කරන ලද කර්මයන් බලා මගේ දන්වැට පවත්නේද නැතහොත් නැත්දැයි සලකා බලන්නේ මගේ පුතා දන්වැට පවත්වා චන්ද්‍රයා වී උපන්නේය. ඔහුගේ පුතා සූරියද ඔහුගේ පුතා මාතලීද ඔහුගේ පුතා පඤ්චසිඛද වී උපන්නේය. සවැන්නා ඒ පරපුර නැසී යයි දුටුවේය. ඉක්බිති ඔහුට මෙවැනි අදහසක් වීය.
මේ පවිටා දමනය කර දානයෙහි විපාක දන්වා එන්නෙමියි. ඔහු චන්ද සූරිය මාතලී පඤ්චසිඛ යන මොවුන් කැඳවා යහළුවනි, අපගේ පරපුරෙහි සයවැන්නා කුල පරපුර සිඳ දන්සැල දමා යදින්නන් බැහැර කරවීය. කිසිවෙකුට කිසිවක් නොදෙයි. එව්. ඔහු දමනය කරන්නෙමුයි ඔවුන් සමග බරණැසට ගියේය. එකෙණෙහි සිටුවරයා රජුට උවටැන් කර අවුත් සත්වන දොරටුවෙහි ඇතුල් වීථිය බලන්නේ සක්මන් කරයි. ශක්‍රයා තෙපි මා පිවිසි කල්හි පිළිවෙලින් එව් යයි කියා ගොස් සිටුවරයාගේ සමීපයෙහි සිට එම්බා මහසිටාණනි, මට ආහාර දෙවයි කීය. බ්‍රාහ්මණය, මෙහි තොපට බත් නැත. අන්තැනක යවයි කීය. එම්බා මහසිටාණනි, බමුණන් විසින් බත් ඉල්ලූ කල්හි නොදෙන්නට නොලබයි යි කීවේය. බ්‍රාහ්මණය මගේ ගෙහි පැසුණු හෝ පිසිය යුතු බත් නැත. ඉවත්වවයි කීය. මහසිටාණනි, තොපට එක් සිලෝවක් කියන්නෙමි. අසවයි. මට තොපගේ සිලෝවෙන් වැඩක් නැත. යව. මෙහි නොසිටුවයි. ශක්‍රයා ඔහුගේ කථාව නො අසන්නේ මෙන් ගාථා දෙකක් කීවේය.
අපවන්තාපි දිච්ඡන්ති - සන්තො ලද්ධාන භොජනං,
කිමෙව ත්වං පචමානො - යං න දජ්ජා න තං සමං
කිමෙව ත්වං පචමානො - යං න දජ්ජා න තං සමං
මච්ඡෙරාච පමාදාච - එවං දානං නදීය්යති,
පුඤ්ඤං ආකඞ්ඛමානෙන - දෙය්යං හොති විජානතා ති
පුඤ්ඤං ආකඞ්ඛමානෙන - දෙය්යං හොති විජානතා ති
1. නොපිසින්නා වූද සත්පුරුෂයෝ භෝජනය ලැබ දෙන්නට කැමති වේ. කිම තෝ පිසනු ලබන්නේම නොදේ යන යමක් වේද එය නුසුදුසුය.
2. මසුරුකම නිසාද ප්‍රමාදය නිසාද මෙසේ දන් නොදෙනු ලැබේ. දැනුවත් වූ පිං කැමැත්තන් විසින් දිය යුතු වේ.
ඒ ගාථාවන්ගේ අර්ථය. මහසිටුතුමනි, පිසනු නොලබන්නා වූද සත්පුරුෂයෝ පිඬු පිණිස හැසිරීමෙන් ලද ආහාරයද දෙන්නට කැමති වෙති. තනිවම අනුභව නොකරති. කිමෙව ත්වං කිම තෝ පිසනු ලබන්නේ යමක් නොදෙන්නෙහිද නතං සමං යනු එය ඔබට අනුරූප වූයේ සුදුසු වූයේ නොවෙයි. දානය වූ කලී මසුරු බැවින්ද ප්‍රමාදයෙන්ද යන දෝෂයන් දෙක නිසා නොදෙනු ලැබේ. පිං කැමැත්තා වූ දැනුවත් පණ්ඩිත මනුෂ්‍යයන් විසින් දියයුතු වන්නේමය.
හෙතෙම ඔහුගේ වචනය අසා එසේනම් ගෙට පිවිස හිඳුව. ටිකක් ලබන්නෙහි යයි කීවේය. ශක්‍රයා පිවිස ඒ ශ්ලෝකයන් කියමින් හුන්නේය. ඉක්බිති චන්ද්‍රයා අවුත් බත් ඉල්වීය. තොපට බත් නැත. යවයි කියන ලද මහසිටුවරයා ඇතුළත එක් බ්‍රාහ්මණයෙක් හුන්නේය. බ්‍රාහ්මණයන් ලවා වේද කියවීමක් මෙන් වන්නේය. මමද පිවිසෙන්නෙමියි කියා බමුණන් ලවා වේද කියවීමක් නැත. නික්මෙවයි කියනු ලබන්නේද මහසිටුතුමනි, එසේ නම් පළමු කොට සිලෝවක් අසවයි ගාථා දෙකක් කීවේය.
3. දන්දීම නිසා බඩගින්නෙන්ද පිපාසයෙන්ද පීඩා විඳින්නට සිදුවේය යන බිය නිසා මසුරා නොදේද නොදෙන්නා වූ ඔහුට එය බිය වන්නේ ය. සාපිපාසා දෙකට මසුරා බියවේද එයම ඔහු දෙලොවදී පෙළයි.