13. චක්කවාක ජාතකය (451)
වණ්ණවා අභිරූපොසි යන මෙය බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වාසය කරන සේක් එක් ලොල් වූ භික්‍ෂුවක් අරබයා දේශනා කළ සේක. හෙතෙම සිවුරු ආදියෙන් තෘප්තිමත් නොවූයේ සංඝයා වෙත පිරිනමන බත් කොහිද ආරාධනා කොහිදැයි සොයන්නේ හැසිරෙයි. ආමිස කථාවෙහිම ඇලෙයි. ඉක්බිති අන් සිල්වත් භික්‍ෂූහු ඔහුට අනුග්‍රහ පිණිස බුදුරදුන්ට දැන්වූහ. ශාස්තෘන් වහන්සේ ඔහු කැඳවා භික්‍ෂුව ඔබ ලොල් වූයේ සත්‍යදැයි විමසා ඇත්තයි ස්වාමීනියි කී කල්හි භික්‍ෂුව කුමක් හෙයින් මෙබඳු නෛර්යාණික සසුනක පැවිදි වී ලොල් වූයේ වෙහිද? ලොල් බව නම් පවිටු වූවෙකි. පෙරද ඔබ ලොල් බව නිසා බරණැස ඇත් කුණු ආදියෙන් තෘප්තිමත් නොවූයේ මහවනයට පිවිසියේ යැයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පෑ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි එක් ලොල් වූ කපුටෙක් බරණැස ඇත්කුණු ආදියෙන් තෘප්තිමත් නොවූයේ වනය කෙබඳුදැයි වනයට ගොස් එහිද ලොකු කුඩා ගෙඩිවලින් සතුටු නොවුයේ ගංගා තීරයට ගොස් හැසිරෙන්නේ අඹුසැමි වූ සක්වා ලිහිණියන් දෙදෙනෙකු දැක මේ කුරුල්ලෝ අතිශයින් හොබිත්. මොවුහු මේ ගංතෙර බොහෝ මස් කත් යයි සිතමි. මොවුන් විමසා මා විසින්ද මොවුන්ගේ ගොදුරු කා පැහැ ඇත්තෙකු වන්නට වටනේ යයි ඔවුන්ගේ නුදුරෙහි හිඳ සක්වාලිහිණියාගෙන් විමසන්නේ ගාථා දෙකක් කීය.
වණ්ණවා අභිරූපොසි ඝනො සඤ්ජාත රොහිතො,
ඔක්කවාක සුරූපොසි විප්පඝන්න මුධින්‍ද්‍රියො
පාඨිනං පාවුසං මච්ඡං වලජං මුඤ්ජරොහිතං,
ගඞ්ගාය තීරෙ නිසින්නො එවං - භුඤ්ජසි භොජනන්ති
1. සක්වා ලිහිණියනි, මනා වූ පැහැය ඇත්තේහිය. රූප සම්පත්තියෙන් යුක්තය. ඝණ වූ සිරුරු ඇත්තෙහිය. හටගත් රන්වන් වූවෙහිය. මනා රූ ඇත්තෙහිය. පැහැපත් මුහුණ හා ඉඳුරන් ඇත්තෙහිය.
2. මෙසේ ගංතෙර සිටියේ පෙටි මස්, ලූල් මස්, වලා මාළුවන්ගේ මස්, මොදුව මස්, රේ මස් වලින් යුක්ත බොජුන් අනුභව කන්නෙහිද?
එහි ඝනො යනු ඝන වූ සිරුර ඇති සඤ්ජාතරොහිතො යනු තවන ලද රන් මෙන් මනාව රතුපැහැ වූයේ. පාඨනං යනු පෙටියා යන නම් ඇති ගල්මාළුය. පාවුසං යනු මහත් වූ මුඛ ඇති මාලුවා. පාගුසං යයාද පාඨයි. වලජං යනු වලාමාළුවා. මුඤ්ජරොහිතං යනු මොදුව මාලුවාද රේ මාළුවාද වේ. එවං භුඤ්චසි යනු මෙවැනි වූ බොජුන් බුදිනෙහියි සිතමියි විචාළේය.
සක්වා ලිහිණියා ඔහුගේ වචනය ප්‍රතික්‍ෂෙප කරන්නේ තෙවන ගාථාව කීය.
3. මම මෙය නොබුදිමි. වනයෙහි හෝ ජලයෙහි හෝ වූ මස් නොබුදිමි. යහළුව, සෙවෙල් පරඬැල් යන මෙය මගේ ආහාරයයි.
එහි අර්ථය, මම සෙවෙල්ද, පරඩැල්ද හැර සෙසු වනයෙහි වූ හෝ ජලයෙහි වූ මස් නොගෙන මේ බොජුන අනුභව කරමි. යහළුව, යම් මේ සෙවෙල් පරඬැල් වේද මෙය මගේ භෝජනයයි.
අනතුරුව කපුටා ගාථා දෙකක් කීවේය.
4. සෙවෙල් පරඬැල් සක්වාලිහිණියාගේ භෝජනය යි යන මෙය මම නො අදහමි. යහළුව, මම ගමෙහි ලුණු හා තෙල් මිශ්‍ර ආහාර අනුභව කරමි.
5. සක්වා ලිහිණිය, මිනිසුන් විෂයෙහි කරන ලද පිරිසිදු මස් සහිත බත් අනුභව කරන නමුත් ඔබට මෙන් වර්ණවත් වූ පාටක් මට නැත.
එහි යථා තවං යනු යම් සේ ඔබගේ සෝභාවෙන් අගතැන් පැමිණි ශරීර වර්ණයක් වේද මට එවැනි වර්ණයක් නැත. මේ කරුණින් මම සෙවෙල් හා පරඬැල් මගේ ආහාරයයි ඔබ විසින් කියන්නා වූ වචනය නො අදහමි.
ඉක්බිති සක්වා ලිහිණියා ඔහුගේ දුර්වර්ණ බවට හේතුව කියා ධර්මය දේශනා කරන්නේ සෙසු ගාථාවන් කීවේය.
6. තමා කෙරෙහි වූ වෛර සිතින් බලමින් මිනිසුන්ට හිංසා කරමින් තැති ගත්තේ බියට පත්වූයේ අනුභව කරහි. එහෙයින් ඔබගේ වර්ණය මෙබඳු වේ.
7. කපුට, පවිටු ක්‍රියා නිසා මුළු ලොවම (ඔබට) විරුද්ධ වෙහිය. ලබන ලද ආහාරය ඔබ නො පිනවයි. එහෙයින් ඔබගේ වර්ණය මෙබඳු වේ.
8. යහළුව, මමද සියළු ප්‍රාණීන්ට හිංසා නොකරන්නෙම් මද වෑයමෙන් යුතුව සැක රහිතව සෝක නැතිව බිය නැතිව අනුභව කරමි.
9. ඒ ඔබ වෑයම් කරව. පැරණි පුරුද්ද දුසිල් බව ඉක්මවා පවතුව. ලොවෙහි අහිංසාවෙන් හැසිරෙන්නේ මා මෙන් ප්‍රිය වෙහි.
10. යමෙක් නො නසාද නොනස්වාද නොදිනයිද නොදිනවයිද හෙතෙම සියළු සතුන් වෙත මෙත් වඩයි. ඔහුට කිසිවෙකු විසින් හෝ වෛර නොකරයි.
එහි සම්පස්සං යනු යහළු කාකය, ඔබ අනුන් කෙරෙහි උපන් තමාගේ වෛරී සිත සලකා බලනු ලබන්නේ මිනිස් ප්‍රජාවට හිංසා කරන්නේ වෙහෙස කරන්නේ, උත්‍රස්තො යනු බියට පත් වූයේ. සසසි අනුභව කරහි. ඒ නිසා තොපගේ මේ හා සමාන පිළිකුල් සහගත පැහැ ඇත්තේයි. ධංකා යනු කපුටා අමතයි. පිණ්ඩො යනු භෝජනයයි. අහිංසා සබ්බ පාණිනං යනු මම වනාහි සියළු සතුන්ට හංසා නොකරන්නේ අනුභව කරමි යයි කියයි. සො කරස්සු ආනුභාවං යනු ඒ තොපද වීර්ය කරව. තමාගේ පුරුද්ද සංඛ්‍යාත වූ දුසිල් බව ඉක්මවා පවතුව. අහිංසාය යනු හිංසා නොකිරීමෙන් යුක්ත වී ලොව හැසිරෙව. පියො හොහීසි මම්මිවා යනු මෙසේ ඇති කල්හි මා හා සමානව ලෝකයාට ප්‍රිය වෙහි. න ජිනාති යනු ධනහානිය නොකරයි. න ජාපයෙ යනු අනිකුන් ලවාද නොකරවයි. මෙත්තං සො යනු මෛත්‍රී කොටස. මෛත්‍රී සිත න කෙන චි යනු කිසියම් එක සත්ත්වයෙකු සමගද ඔහුගේ වෛරයක් නම් නැතැයි. එහෙයින් ඉදින් ලෝකයාට ප්‍රියවීමට කැමැත්තෙහිද සියළු වෛරයන්ගෙන් වෙන් වවයි යනුයි.