8. තක්කළ ජාතකය (446)
න තක්කලා සන්ති න ආලුපානි යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වාසය කරන සේක් පියා පෝෂණය කර එක් උපාසකයෙක් අරබයා දේශනා කළ සේක. හෙතෙම එක් දිළිඳු කුලයෙක උපන්නේ මව කළුරිය කළ කල්හි උදෑසනම නැගිට දත් මදින දැහැටි, මුහුණ සේදීමට වතුර ආදී දේ කරන්නේ කුලියක් හෝ කෘෂි කර්මාන්තයක් හෝ කොට ලද සම්පත්වලට සුදුසු වූ කැඳ බත් ආදිය සම්පාදනය කොට පියා පෝෂණය කෙළේය. ඉක්බිති පියා ඔහුට කීවේය. දරුව, නුඹ හුදකලාව ඇතුළත ද පිටත ද කළයුතු දේ කරහි. තොපට එක් කුල දැරියක ගෙන එන්නෙමි. ඇය තොපගේ ගෙයි කළ යුත්තක් වේ නම් එය කරන්නේයයි. පියාණෙනි, ස්ත්‍රීහු නම් ගෙට ආවා මගේද තොපගේද සිත සතුටු නොකරන්නේමය. මෙවැන්නක් නොසිතුව. මම දිවි ඇති තෙක් ඔබ පෝෂණය කර තොප ඇවෑමෙන් කළයුත්ත දනිමි යි. ඉක්බිති පියා ඔහු නොකැමති වන්නේම එක් කුල දැරියක ගෙන ආවේය. ඇය යටහත් පැවතුම් ඇත්තී මාමණ්ඩියටද ස්වාමියාටද උපකාර කරන්නී වූවාය. ඇයගේ ස්වාමියාද මගේ පියාට උපකාරී යයි සතුටු වී ලබන ලබන ලද ප්‍රියමනාප දේ ගෙනවිත් දෙයි. ඇයද එය මාමණ්ඩියටම එළවයි. ඇය මෑත කාලයෙහි සිතුවාය. මගේ සැමියා ලබන ලබන දෙය පියාට නොදී මටම දෙයි. ඒකාන්තයෙන්ම පියා කෙරෙහි සෙනෙහස නැත්තේ වී. මේ මහල්ලා එක් උපායකින් මගේ ස්වාමියාට පිළිකුල් කර ගෙයින් බැහැර කරන්නෙමියි,
ඇය එතැන් පටන් ඉතා සීතල වූ හෝ ඉතා උණුසුම් වූ වතුර ගෙන එයි. ඉතා ලුණු ඇති හෝ ලුණු නැති ව්‍යඤ්ජනද නොතැම්බුන සහල් ඇති හෝ ඉතා තෙත් (බෙරි) වූ බත්ද යනුවෙන් මේ ආදී වශයෙන් කෝපය ඉපදීමට කරුණුකොට ඔහු කිපුන කල්හි කවරෙක් මේ මහල්ලාට උපස්ථාන කිරීමට හැකි වන්නේදැයි පරුෂ වචන කියා කළහ වැඩීය. ඒ ඒ තැන කෙළ පිඬු හෙලාද සැමියාට දොස් කියවයි. පියාගේ කටයුතු බලන්න. මේ මේ දෙය නොකරවයි කී කල්හි කිපෙයි. මේ ගෙයි පියා හෝ මා හෝ (දෙදෙනාගෙන් එක් අයෙකු) වාසය කරවවයි. ඉක්බිති ඔහු ඇයට සොඳුර, ඔබ තරුණය. කවර හෝ තැනක ජීවත් වන්නට හැකිය. මගේ පියා මහළුය. ඔබ ඔහු නොඉවසන්නී නම් මේ ගෙයින් නික්මෙවයි කීවේය. ඇය බියපත් වූවා මෙතැන් පටන් මෙසේ නොකරමියි මාමණ්ඩියගේ පාමුල වැටී වැඳ ක්ෂමා කරවා ප්‍රකෘති ස්වරූපයෙන්ම පෝෂණය කරන්නට පටන් ගත්තේය. ඉක්බිති ඒ උපාසකයා පළමු දවස්වල ඇය විසින් කරදරයට පත්කරන ලද්දේ ධර්මශ්රවණය පිණිස බුදුරජාණන් වහන්සෙගේ සමීපයට නොගොස් ඇය ප්‍රකෘති තත්වයෙහි සිටි කල්හි ගියේය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ඔහුට උපාසකය, සත්අට දවසක් බණ අසන්නට නොපැමිණියේ කිමැයි විචාළේය. ඔහු ඒ කරුණ පැවසීය. දැන් වූ කලී ඇයගේ කථාව නොගෙන පියා බැහැර නොකරවීය. පෙර වනාහි මැයගේ කථාව ගෙන අමු සොහොනට ගෙනගොස් වළක වැළලුවේය. එහි ඔහු බහාලා මරණ කල්හි මම සත් අවුරුදු වයස් ඇත්තේ වී මව්පියන්ගේ ගුණ පියා මැරීමේ කටයුත්තෙන් වළක්වාලීය. එකල්හි ඔබ මගේ කථාව අසා ඔබේ පියා දිවි ඇතිතෙක් පෝෂණය කර දෙව්ලොව පිහිට කොට ඇත්තේ වීය. මෙතෙම මවිසින් දෙන ලද අවවාද අන්‍ය භවයකට ගියේද ඔහු අත්නොහරී. මේ කරුණින් ඇයගේ කථාව ගෙන දැන් තොප විසින් පියා බැහැර නොකරන ලදි යයි කියා ඔහු විසින් ඉල්ලන ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පෑවේය.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි කසීරට එක්තරා ගමක එක් කුලයක එකම පුතෙක් විය. නමින් වසිට්ඨක නම් වී. හෙතෙම මව්පියන් පෝෂණය කරන්නේ මව කළුරිය කළ කල්හි පියා පෝෂණය කරව යයි සියල්ල වර්තමාන ප්‍රවෘත්තිය ආකාරයෙන්ම කිවයුතුය. මෙයනම් මෙහි වෙනස වේ. එකල්හි ඒ ස්ත්‍රිය පියාගේ කටයුතු බලව. මේ මේ දෙය නොකරවයි කී කල්හි කිපෙයි යයි කියා ස්වාමීනි, ඔබේ පියා චණ්ඩය. පරුෂය. නිතර කලහ කරයි. ජරාවෙන් දිරා ගියේ ලෙඩින් පීඩාවට පත්වූයේ නොබෝ කලකින්ම මරණයට පත්වන්නේය. මම මොහු සමග එකම ගෙයක වසන්නට නොහැක්කෙමි. මෙතෙම දින කිහිපයකින් තෙමේම මැරෙන්නේමය. ඔබ මොහු අමු සොහොනට ගෙනගොස් වළක් සාරා මොහු එහි බහා උදැල්ලෙන් හිස සිඳ ජීවිතක්ෂයට පත්කර මත්තෙහි පස්වලින් වසා එවයි කීවාය. හෙතෙම ඇය විසින් නැවත නැවතත් කියනු ලබන්නේ සොඳුර, මිනී මැරීම නම් බැරෑරුම් දෙයකි. ඔහු කෙසේනම් මරන්නෙම්දැයි කීය. මෙම තොපට උපායක් කියන්නෙමි. කියවයි. ස්වාමීනි, ඔබ ඉතා අළුයම් කාලයෙහි පියා හොත් තැනට ගොස් යම් සේ සියල්ලෝම අසත්ද මෙසේ මහා ශබ්දයක් කර පියාණනි, අසවල් ගමෙහි තොපගේ ණයකරුවෙක් මා ගිය කල්හි නොදෙයි. ඔබ ඇවෑමෙන් නොදෙන්නේමය. හෙට යානාවක නැගී යානය යොදවා ඔහු එහි හිඳුවා අමු සොහොනට පමුණුවා වළක් සාරා සොරුන් විසින් පැහැරගත් ශබ්දය කොට මරවා වළෙහි දමා හිස බිඳ නා එවයි කීය.