7. නිග්‍රෝධ ජාතකය (445)
න චාහ මෙතං ජානාමි යන මෙය ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් දෙව්දත් අරබයා දේශනා කල සේක. එක් දවසක් භික්‍ෂූහු “ඇවැත්නි, දේවදත්තයනි; ශාස්තෲන් වහන්සේ ඔබට බොහෝ උපකාර ඇත්තේයි. තොප ශාස්තෲන් වහන්සේ නිසා පැවිද්ද ලැබුවේය. උපසම්පදාව ලැබුවේය. ත්‍රිපිටක බුද්ධ වචනය උගත්තේය. ධ්‍යාන ඉපදවීය. තොපගේ ලාභ සත්කාරද දසබලයන් සතුයයි භික්‍ෂූන් විසින් කී කල්හි, තණකොළ කඩක් ඔසවා ශ්‍රමණ භවත් ගෞතමයන් විසින් මට කළ මෙපමණ ගුණයක් හෝ නො දකිමියි කී කල්හි දම්සභාවෙහි කථාවක් උපදවාලූහ. බුදුරජු අවුත් මහණෙනි, කවරනම් කථාවකින් දැන් හුන්නාහුදැයි විමසා, මෙනම් වූ කථාවකැයි කී කල්හි මහණෙනි, දේවදත්ත කළගුණ නොදන්නා මිත්‍රද්‍රෝහිී වූයේ දැන්ම පමණක් නොවේ පෙරද මිත්‍රද්‍රෝහී වූයේ ම යයි කියා අතීතය ගෙනහැර දැක්වීය.
අතීතයෙහි රජගහනුවර මගධ මහරජු රාජ්‍යය කරවීය. එකල්හි රජගහනුවර සිටුතුමා තමාගේ පුතාට ජනපද සිටුගේ දුව ගෙන ආවේය. ඇය වඳ තැනැත්තියක වූවාය. ඉක්බිති මෑත කාලයෙහි ඇයට සත්කාර පිරිහුනේය. අපගේ පුතුගේ නිවසෙහි වඳ ස්ත්‍රියක් වසන කල්හි කුලවංශය කෙසේ නම් වැඩෙන්නේදැයි. යම්සේ ඇය එය අසයිද එසේද කථා උපදවයි. ඇය එය අසා, වේවා. ගැබිණියක්ගේ ආකාරයකොට මොවුන් වංචා කරන්නෙමියි සිතා තමාගේ යහපත පිණිස හැසිරෙන කිරිමවකට කීවාය. මෑණියනි, ගැබිණියෝ නම් කවරක් කවරක් කරත්දැයි ගැබිණියකගේ ආරක්‍ෂාවට කරන දේ විමසා එය අසා සෘතුවත් කාලය සඟවා ඇඹුල් ආදියෙහි රුචි කරන්නියක වී, අත් පා ඉදිමෙන කල්හි අත්පා වල පිටිපතුල් තලවා ඝණ වූ ඒවා කරවීය. දවස් දවස්හි රෙදි වෙලීමෙන් බඩ වැඩීම කරවීය. පියයුරු මුව කළු කරවීය. සිරුරු කටයුතු කරන්නීද ඒ කිරිමවගෙන් අන්තැනක අනිකෙකුගේ හමුවෙහි නොකරයි. සැමියාද ඇයට ගර්භාරක්‍ෂාව දුන්නේය. මෙසේ නවමසක් වාසය කර දැන් සිය ජනපදයෙහි පියාගේ ගෙට ගොස් වදන්නෙමියි නැදිමයිළනුවන්ට කියා රියට නැගී මහත් පිරිවර සමග රජගහ නුවරින් නික්ම මාර්ගයට පිළිපන්නේය. ඇයගේ ඉදිරියෙන් ඉදිරියෙන් එක් තවලමක් යයි. තවලම සිට ගිය තැනට මැය උදෑසන කාලයෙහි පැමිණෙයි.
ඉක්බිති එක් දිනයක ඒ තවලමෙහි එක් දුප්පත් ස්ත්‍රියක් රාත්‍රියෙහි එක් නුගගසක් මුලදී පුතෙක් වදා, උදෑසන තවලම යන කල්හි තවලම නැතිව මම දිවිපැවැත්මට යෑමට නොහැකි වන්නෙමි. ජීවත්වන තැනැත්තිය විසින් පුතෙකු ලබන්නට හැකිය යි නුගගස මුල ඇතුලෙහි වැදෑමහද ගැබ්මලද අතුරා පුතා විසිකර දමා ගියාය. දරුවාට දෙවියෝ අරක්ගත්හ. ඔහු වනාහි අනිකෙකු නොව බෝධිසත්වයෝමය. හෙතෙම එකල්හි එවැනි පිළිසිඳ ගැනීමක් ගත්තේය. දෙවන තැනැත්තිය උදෑසන කාලයෙහි එතැනට පැමිණ ශරීරකෘත්‍යය කරන්නෙමියි ඒ කිරිමව සමග නුගගස මුලට ගියා රන්වන් වූ දරුවා දැක මෑණියනි, අපගේ කටයුත්ත සම්පූර්ණ වූයේ යයි රෙදිකඩ ඉවත්කර උකුල පෙදෙස ලෙයින්ද ගැබ්මලින්ද ගල්වා තමාගේ ගැබ්බරින් නිදහස් වූ බව දැන්වීය. එකෙණෙහි ඇය තිරයෙන් වටකොට තුටුපහටු වූ පිරිවර ජනයා රජගහනුවරට හසුන් යැවූහ. ඉක්බිති ඇයගේ නැදිමයිලෝ වැදූ කල්හි පටන් පියාගේ නිවසෙහි කවරක් කරන්නේද මෙහිම එවයි පණිවුඩ යැවූහ. ඇය ආපිට හැරී රජගහ නුවරටම පිවිසියාය. එහිදී ඇය පිළිගෙන දරුවාට නම තබන්නේ නුගගස මුල උපන් හෙයින් නිග්‍රෝධ කුමාරයායි නම් කළාහුය. එදවසම සිටුවරයාගේ ලේලිය වැදීම සඳහා කුලගෙට එන්නී අතරමගදී එක් ගසක අත්තක යට පුත්‍රයෙකු වැදුවාය. ඔහුට සාඛ කුමාරයායි නම් කළාහුය. එදවසම සිටුවරයා ඇසුරුකොට වසන්නා වූ සන්නාලියාගේ භාර්යාවද රෙදිවැරලි අතර පුතෙකු වැදුවාය. ඔහුට පොත්තික යයි නම් කළාහුය.
මහසිටු තෙමේ ඒ දරුවෝ දෙදෙනාම නිග්‍රෝධ කුමාරයා උපන් දවසෙහිම උපන්නේ යයි අණකොට ගෙන්වා ඔහු සමගම ඇතිදැඩි කෙළේය. ඔවුහු එකට වැඩී සුදුසු වයසට පැමිණියේ තක්‍ෂිලාව ගොස් ශිල්ප උගත්තාහුය. සිටුපුත් දෙදෙනා ආචාර්යයන්ට කහවනු දෙදහසක් දුන්නාහුය. නිග්‍රෝධ කුමාරයා පෝතිකව තමා සමීපයෙහි ශිල්ප පිහිටුවීය. නිමකළ ශිල්ප ඇති ඔවුහු ආචාර්යවරයාට කියා නික්මුනාහු ජනපද චාරිකාවෙහි හැසිරෙන්නෙමු යි පිළිවෙලින් බරණැසට පැමිණ එක් ගසක් මුල හොත්තාහුය. එදින බරණැස් රජු කළුරිය කොට සත්වන දවසයි. හෙට ඵුස්ස, (රාජ) රථය යොදමු යයි නගරයෙහි බෙර හැසිරවූහ. ඒ තුන් යහළුවෝ ගසමුල වැතිර නිදන කල්හි පොත්තික තෙමේ ඉතා උදෑසන නැගිට නිග්‍රෝධ කුමාරයාගේ පාදයන් පිරිමදිමින් හුන්නේය. ඒ ගසෙහි වාසය කළ කුකුළන් අතර මත්තෙහි වූ කුකුළා යට සිටි කුකුළාගේ සිරුරෙහි වසුරු හෙලීය. ඉක්බිති හෙතෙම ඔහුට ‘කවරෙකු විසින් මේ වසුරු හෙලන ලද දැයි’ කීය. යහළුව නොකිපෙව. මා විසින් නොදැන හෙළන ලදැයි කීය. බොල තෝ මගේ සිරුර තමාගේ වැසිකිළිය යයි සිතන්නෙහිද? මගේ පමණ නොදන්නෙහි යයි. ඉක්බිති දෙවැන්නා ඔහුට බොල තොපට නොදන්නා වූ මා විසින් කරන ලදැයි කී කල්හිද කිපියෙහිමය. තොපගේ පමණ නම් කවරක් දැයි කීය. යමෙක් මා මරා මස් කයිද ඔහු උදෑසනම දහසක් ලබයි. කුමක් හෙයින් මම මානය නොකරන්නෙමිද? ඉක්බිති දෙවැන්නා ඔහුට කීවේය. බොල මෙපමණකින් තෝ මානය කෙරෙහි යමෙක් මා මරා මිහිරි මස් කයිද ඔහු උදෑසනම රජවෙයි. යමෙක් මධ්‍යම මස් කයිද ඔහු සේනාපති වෙයි. යමෙක් ඇට සහිත මස් කයිද ඔහු භාණ්ඩාගාරික වෙයි යි කීය.