6. කණහදීපායන ජාතකය (444)
සත්තාහ මෙවාහං යන මේ ගාථාව ශාස්තෘන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන්නේ එක් උකටලී වූ භික්‍ෂුවක් අරබයා දේශනා කල සේක. කථා පුවත කුස ජාතකයෙහි පෙනෙන්නේය. බුදුරජු ඔබ උකටලී වූයෙහි ඇත්තදැයි ඒ භික්‍ෂුවගෙන් විමසා සත්‍යයයි කී කල්හි මහණ. පැරණි පඬුවෝ බුදුන් නූපන් කල්හිද බාහිර පැවිද්දෙන් පැවිදි වී අවුරුදු පනහකට වැඩියක් කල් පඤ්චකාමයෙහි නොඇළුනාහු බඹසර හැසිරෙන්නාහු හිරි ඔතප් බිඳීමේ බියෙන් තමාගේ උකටලී බවක් කිසිවෙකුට නොකීවාහුය. තෝ කුමක් හෙයින් මෙබඳු නෛර්යාණික ශාසනයෙහි පැවිදි වි මා වැනි ගරු කටයුතු බුදුවරයෙකු ඉදිරියෙහි සිට සිවුපිරිස මැද උකටලී බව ප්‍රකට කරහිද කුමක් නිසා හිරි-ඔතප් නොරකිහිදැයි කියා අතීත කථාව ගෙනහැර පෑවේය.
අතීතයෙහි වංස රටෙහි කොසඹෑ නුවර කොසම්බික නම් රජු රාජ්‍යය කරවීය. එකල්හි එක්තරා නියම්ගමක අසූකෙළක් ධනය ඇති බ්‍රාහ්මණයෝ දෙදෙනෙක් ඔවුනොවුන් ප්‍රිය යහළු වූවාහු කාමයෙහි දොස් දැක මහදන් පවත්වා දෙදෙනාම කාමයන් හැර මහජනයා හඬද්දීම වැලපෙද්දීම නික්ම හිමවත පෙදෙසෙහි අසපුවක් කොට පැවිදි වී අහර සෙවීමෙන් වනයෙහි මුල් හා ලොකු කුඩා ගෙඩිවලින් යැපෙන්නාහු අවුරුදු පනහක් වාසය කළාහුය. ධ්‍යාන උපදවන්නට නොහැකි වූවාහුය. ඔවුහු අවුරුදු පනහ ඇවෑමෙන් ලුණු ඇඹුල් සෙවීම පිණිස ජනපදයෙහි හැසිරෙන්නාහු කසීරටට පැමිණියාහුය. එහි එක් නියම්ගමක දීපායන තවුසාගේ ගිහි යහළු වූ මණ්ඩව්‍ය නම් අයෙක් සිටිති. ඒ දෙදෙනාම ඔහු සමීපයට ගියාහුය. ඔහු ඔවුන් දැක සතුටු සිත් ඇත්තේ පන්සලක් කරවා දෙදෙනාටම සිව්පසයෙන් උපස්ථාන කෙළේය. ඔවුහු එහි තුන්හතර වසරක් වාසය කර ඔහුට දන්වා චාරිකාවෙහි හැසිරෙන්නාහු බරණැසට පැමිණ කොඹුගස් ඇති සුසානයක වාසය කළාහුය. එහිදී දීපායන තෙමේ කැමතිතාක් කල් වාසය කර ඔහුගේ සහායකයාගේ සමීපයට ගියේය. මණ්ඩව්‍ය තාපසයා එහිම වාසය කෙළේය.
ඉක්බිති එක් දවසක් එක් සොරෙක් ඇතුල් නගරයෙහි සොරකම් කර මුදල් රැසක් ගෙන නික්මෙන්නේ පිබිදි නිවෙස් හිමියන් විසින්ද රැකවලෙහි හුන් මිනිසුන් විසින්ද “සොරකැයි” දැන ඔවුන් විසින් ලුහුබඳනා ලද්දේ කුණු කානුවෙන් නික්ම වේගයෙන් සොහොනට පිවිස තවුසාගේ පන්සල දොර බඩු දමා පලා ගියේය. මුදල් හිමියෝ බඩු දැක එම්බා දුෂ්ට ජටිලය, තෝ රාත්‍රියෙහි සොරකම් කර දවල් තවුසෙකු මෙන් හැසිරෙන්නෙහියි. තර්ජනය කොට තලා ඔහු ගෙන ගොස් රජුට දැක්වූවාහුය. පරීක්‍ෂා නොකරම යව් මොහු උල තබවයි කීය. ඔවුහු ඒ තවුසා සොහොනට ගෙනගොස් කිහිරි උලක නංවාලූහ. එය නොපිවිසෙයි. යකඩ උලක් ගෙන ආවාහුය. එයද නොපිවිසෙයි. තාපසයා මගේ පෙර කර්මය කුමක්දැයි බැලීය. ඉක්බිති ඔහුට ජාති ස්මරණ ඤාණය ඉපදුණේය. ඔහු විසින් පෙර කර්මය බලන්නේ දුටුවේය. ඔහුගේ පෙර කර්මය කුමක්ද? කොබෝලීල උලෙහි ගසා මැස්සන් මැරීමයි. ඔහු වනාහි පෙර භවයෙහි වඩුවෙකුගේ පුතෙකු වී පියා ගස් රහින තැනට ගොස් එක් මැස්සෙකු ගෙන කොබෝලීල හුලෙහි විද්දේය. එහුට එම පාපය මෙතැනට පැමිණ ගත්තේය. හෙතෙම මේ පවෙන් මිදෙන්නට නොහැකි යයි දැන රාජ පුරුෂයන්ට කීවේය. ඉදින් මා උල තබන්නට කැමති වහු නම් කොබෝලීල උලක් ගෙනෙව් යනුවෙනි. ඔවුහු එසේ කොට ඔහු උල තබා ආරක්‍ෂාව දී ගියාහුය.
ආරක්‍ෂකයෝ සැඟවී ඔහු සමීපයට එන්නවුන් බලත්. එකල්හි දීපායන තවුසා මගේ යහළුවා කලකින් දක්නා ලද්දේයයි කියා මණ්ඩව්‍යගේ සමීපයට එන්නේ උල තබන ලදැයිද එදවසට අතරමඟදී අසා එතැනට ගොස් එකත්පස්ව සිටියේ යහළුව, කුමක් කරන්නෙකැයි විමසා කරුණු නැත්තෙම් වෙමියි කී කල්හි තමාගේ සිත් දූෂණය වීම රක්නට හැකිද නොහැකිදැයි විචාළේය. යහළුව, යම් කෙනෙකුන් විසින් මම ගන්නා ලද්දෙම්ද ඔවුන් පිළිබඳව හෝ රජු කෙරෙහි හෝ මා තුළ කෝපයක් නැතැයි. මෙසේ ඇති කල්හි ඔබ වැනි වූ සිල්වතෙකුගේ සෙවනැල්ල මට සැපයක් යයි කියා දීපායන තවුසා උල සමීපයෙහි හුන්නේය. ඉක්බිති ඔහුගේ සිරුරෙහි මණ්ඩව්‍යගේ සිරුරෙන් ලේ බින්දු වැටුණි. එ්වා රන්වන් ශරීරයෙහි වැටුනේ වියලි නළුවන් බවට පැමිණියේය. එතැන් පටන් ඔහු කණ්හ දීපායන නම් වීය. හෙතෙම මුළු රැය එහිම හුන්නේය.
දෙවන දවස්හි ආරක්‍ෂක පුරුෂයෝ ගොස් එපුවත රජුට දැන්වූහ. රජු නොවිමසා මවිසින් කළ කටයුත්තකැයි වේගයෙන් එහි ගොස් පැවිද්ද කුමක් හෙයින් උල ඇසුරු කොට හුන්නෙහිදැයි දීපායනගෙන් විමසීය. මහරජ මේ තාපසයා රකිමින් හුන්නේ වෙමි. කිම ඔබ මොහු කළ බව හෝ නොකළ බව හෝ දැන මෙසේ කරහිදැයි. හෙතෙම කාර්යය විමසා නොබැලූ බව කීවේය. ඉක්බිති හෙතෙම ඔහුට (කියනුයේ) මහරජ, රජ විසින් සොයා බලා කටයුතු කරන්නෙක් විය යුතුය. අලසො ගිහී කාමභෝගී නසාධු” යි ආදීන් කියා ධර්මදේශනා කෙළේය. රජු මණ්ඩව්‍යගේ නිදොස් බව දැන හුල ඉවත් කරව් යයි ඇණවීය. උල ඉවත් කරන්නාහු ඉවත් කරන්නට නොහැකි වූවාහුය. මණ්ඩව්‍ය තෙමේ කීය. මහරජ, මම පෙර කරන ලද කර්මයෙහි දෝෂයෙන් මෙබඳු වූ අපකීර්තියකට පත්වූයෙම් වෙමි. මගේ සිරුරෙන් උල ඉවත් කරන්නට නොහැකිය. ඉදින් මට ජීවිතය දෙනු කැමැත්තේ නම් කියතත් ගෙන්වා මේ උල සම හා සමාන කොට (සම ලඟින්) සිඳුවමයි. රජු එසේ කරවීය. සිරුර තුළ උල ඇතුළතම වීය. එකල්හි හෙතෙම ඒ සියුම් උල ගෙන මැස්සාගේ අසූචි මාර්ගයෙහි පිවිසවීය. එය ඇයගේ සිරුර තුළට වීය. ඈ ඒ හේතුවෙන් නොමැරී තමාගේ ආයුෂ අවසන් වීමෙන් මැරුණේය. එහෙයින් මොහුද නොමැරුණේය යනුයි. රජ තවුසා වැඳ සමා කරවා දෙදෙනාම උයනෙහි වාසය කරවන්නේ පෝෂණය කෙළේය. එතැන් පටන් මණ්ඩව්‍ය තාපසයා ආණිමණ්ඩව්‍ය නම් වීය. හෙතෙම රජු ඇසුරුකොට එහිම වාසය කෙළේය. දීපායන තවුසා ඔහුගේ තුවාලය සුවකොට තමාගේ ගිහි යහළු මණ්ඩව්‍යගේ සමීපයටම ගියේය.