5. චුල්ලබෝධි ජාතකය (443)
යො තෙ ඉමං විසාලක්ඛි යන මේ ගාථාව ශාස්තෘන් වහන්සේ දෙව්රමෙහි වාසය කරන සේක් එක් කිපෙනසුළු භික්ෂුවක් අරබයා දේශනා කළ සේක. ඒ භික්ෂුව නෛර්යාණික සසුනෙහි පැවිදි වීද ක්‍රෝධයට නිග්‍රහ කරන්නට නොහැකි විය. කිපෙන සුළු විය. සිත්තැවුල් බහුල වූයේ ස්වල්පයක්ද කීවේ කෝපවීය. කිපුනේය. විපතට පත්වීය. කෝප බහුල වූයේ වෙයි. ශාස්තෲන් වහන්සේ ඔහුගේ කිපෙනසුළු බව අසා කැඳවා තොප කිපෙනසුළු බව ඇත්තේ සත්‍යදැයි විමසා ස්වාමීනි, සත්‍යයයි කී කල්හි මහණ, ක්‍රෝධය නම් වැලැක්විය යුතුය. මෙලොවද පරලොවද විපත් ඇතිකරන මෙබඳු වූ අනිකෙකු නැත. ඔබ ක්‍රෝධ රහිත වූ සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි පැවිදි වී කුමක් හෙයින් කිපෙහිද? පැරණි පණ්ඩිතයෝ බාහිර ශාසනයෙහි පැවිදි වීද ක්‍රෝධ නොකළෝ යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස්නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි කසීරට එක් නියම්ගමක පොහොසත් වූ මහත් ධනය ඇති මහත් සම්පත් ඇති පුතුන් නැති එක් බ්‍රාහ්මණයෙක් විසීය. ඔහුගේ බැමිණිය පුතකු පැතුවාය. එකල්හි බෝධිසත්වයෝ බ්‍රහ්මලෝකයෙන් චුත වී ඒ බැමිණියගේ කුසෙහි උපන්නෝය. නම් තබන දවස්හි ඔහුට බෝධිකුමාරයා යයි නම් කළහ. ඔහු වයසට පත් කල්හි තක්ෂිලාවට ගොස් සියළු ශිල්පයන් ඉගෙන පෙරලා පැමිණි ඔහුට ඔහුගේ නොකැමැත්තෙන්ම මව්පියෝ සමාන කුලයකින් කුමාරිකාවක ගෙන ආවාහුය. ඇයද බඹලොවින් චුත වූවාම උතුම් රූපයක් දරන්නී දෙව් අප්සරාවක හා සමාන වූවාය. ඔවුන්ගේ නොකැමැත්තෙන්ම ඔවුනොවුන්ගේ ආවාහ විවාහය කළාහුය. ඔවුන් දෙදෙනාගේම කෙලෙස් පැවතීමක් නම් නොවූ විරූය. රාග සහිතව එකිනෙකාගේ බැලීමක් නම් නොවීය. සිහිනෙනුදු ඔවුන් විසින් මෙවුන්දමක් නම් නොදුටුවිරූය. මෙසේ පිරිසිදු සිල් ඇත්තෝ වූහ.
ඉක්බිති මෑත කාලයෙහි මහාසත්ත්ව තෙමේ මව්පියන් කළුරිය කළ කල්හි ඔවුන්ගේ අවසාන කෘත්‍යය කර ඇය කැඳවා සොඳුර, ඔබ මේ අසූ කෙළක් ධනය ගෙන සුවෙන් ජීවත් වෙවයි කීය. ආර්ය පුත්‍රය, ඔබ වනාහි කොහි යව්ද? මට ධනයෙන් වැඩක් නැත. හිමවත පෙදෙසට ගොස් පැවිදි වී තමා පිහිටක් කරන්නෙමියි. ආර්යපුත්රය, කිම පැවිද්ද නම් පුරුෂයන්ට පමණක් සුදුසු වේදැයි. සොඳුර ස්ත්රීන්ට වටී. එසේ වී නම් මම ඔබ විසින් හරනා ලද කෙළ පිඩුව නොගන්නෙමි. මටද ධනයෙන් වැඩක් නැත. මමද පැවිදි වන්නෙමියි. සොඳුර මැනවයි. ඒ දෙදෙනාම මහදන් දී නික්ම සිත්කළු බිම් කොටසක ආශ්රමයක් කොට පැවිදි වී අහුලා ගත් ලොකු කුඩා ගෙඩිවලින් යැපෙන්නාහු එහි අවුරුදු දහයක් පමණ විසුවාහුය. ඔවුන්ට ධ්‍යානයක නො උපදීද ඔවුහු එහි පැවිදි සුවයෙන් දසවසරක් වාසය කර ලුණු ඇඹුල් සෙවීම පිණිස ජනපද චාරිකාවෙහි හැසිරෙන්නාහු පිළිවෙලින් බරණැසට පැමිණ රජුගේ උයනෙහි වාසය කළාහුය.
එක් දවසක් රජු පඬුරු ගෙන ආ උයන්පල්ලා දැක උද්‍යාන ක්‍රීඩාවන් කෙළින්නෙමු උයන පිරිසිදු කරවයි කියා ඔහු විසින් පිරිසිදු කළ සරසන ලද උයනට මහත් වූ පිරිවර සමග ගියේය. ඒ වේලාවෙහි ඒ දෙදෙනා උයනේ එක්පසෙක පැවිදි සුවයෙන් කල්ගෙවන්නාහු හුන්නෝ වෙත්. ඉක්බිති රජු උයනෙහි හැසිරෙන්නේ. හුන්නා වූ ඒ දෙදෙනා දැක, අතිශයින් පැහැදීම් ඇතිකරන උතුම් රූපශ්‍රීයක් දරන පරිබ්‍රාජිකාව දෙස බලන්නේ පිළිබඳ සිත් ඇත්තේ වීය. හෙතෙම කෙලෙස් වශයෙන් කම්පා වන්නේ පළමුකොට මේ පරිබ්‍රාජිකාව පුළුවුස්නෙමි. මොහුට මැය කවරක් වෙයි දැයි බෝසතුන් වෙත එළඹ පැවිද්ද, මේ පරිබ්‍රාජිකාව තොපට කුමක් වේදැයි විචාළේය. මහරජ, කිසිවක් නොවේ. හුදෙක් එකම පැවිද්දෙන් පැවිදි වූවෝ වෙමු. එහෙත් ගිහිකල මගේ පාදපරිචාරිකාව (භාර්යාව) වූවා යයි. රජු ඒ අසා මැය මොහුගේ කිසිවෙක් නොවේ. තවද ගිහි කල ඔහුගේ පාදපරිචාරිකාව වීය. ඉදින් මම මැය ඉසුරු බලෙන් ගෙන යන්නේ නම් යෙහෙකි. මෙතෙම කවරක් කරන්නේද පළමුකොට ඔහු පරීක්ෂා කරන්නෙමියි සිතා වෙත එළඹ පළමුගාථාව කීවේය.
යො තෙ ඉමං විසාලක්ඛිං පියං සම්මිල්ලභාසිනිං,
ආදාය බලා ගච්ඡෙය්ය කින්නු කයිරාසි බ්රාහ්මණා
ආදාය බලා ගච්ඡෙය්ය කින්නු කයිරාසි බ්රාහ්මණා
1. බ්‍රාහ්මණය, යමෙක් විශාල ඇස් ඇති, මද සිනහ සහිතව කථාකරන ඔබගේ මේ ප්‍රියාවිය බලයෙන් ගෙන යන්නේ නම් කුමක් කරන්නෙහිද?
එහි සමමිල්ල භාසිං යනු මද සිනහ සහිතව කථා කරන්නී වූ. බලා ගච්ඡෙය්ය යනු බලහත්කාරයෙන් ගෙන යන්නේය. කින්නු කයිරාසි යනු බ්‍රාහ්මණය, ඔහුට ඔබ කුමක් කරන්නෙහිද?
ඉක්බිති මහා සත්ත්ව තෙමේ ඔහුගේ කථාව අසා දෙවන ගාථාව කීය.
2. මගේ සිතෙහි කෝපය උපන් නමුත් නොමුදන්නේය. ජීවිත හේතුවෙන්ද නොමුදන්නේය. මහත් වූ වැස්ස දූවිලි වලක්වන්නාක් මෙන් එම කෝපය වහා වළක්වාලමි.
එහි අර්ථය- මහරජ, ඉදින් මැය ගෙනයන කල්හි මගේ ඇතුලත කවර තැනක හෝ කෝපයක් උපදින්නේ නම් එය මගේ ඇතුලත ඉපදී, නමුච්වෙය්ය යම්තාක් මම ජීවත් වෙම්ද ඒ තාක් මවිසින් එය නොමුදන්නේය. ඔහුට ඇතුලත දැඩිව එකට වාසය කිරීමෙන් පිහිටන්නට නොදෙමි. ඉක්බිති යම්සේ උපන් දූවිලි මහත් වූ වර්ෂාව වහා වළක්වයිද එසේ වහාම එය මෛත්‍රී භාවනාවෙන් නිග්‍රහකොට වළක්වන්නෙමි යි.
මහාසත්ත්ව තෙමේ මෙසේ සිංහනාද කළේය. රජු ඔහුගේ කථාව අසාද අඥාන බව නිසා තමාගේ පිළිබඳ සිතුවිල්ල වළක්වන්නට නොහැකි වන්නේ එක්තරා ඇමතියෙකුට “මේ පරිබ්‍රාජිකාව රජමැදුරට පමුණුවය යයි අණ කරවීය. හෙතෙම මැනවයි පිළිගෙන ලොව අධර්මය පවතී. නුසුදුසුය. ආදීන් කියා හඬන්නීවූම ඇය ගෙන ගියේය. බෝධිසත්ත්ව තෙමේ ඇයගේ හඬන ශබ්දය අසා එක්වරක් බලා නැවත නොබැලීය. හඬන්නී වූ වැලපෙන්නී වූ ඇය රජගෙදරටම ගෙන ගියාහුය. ඒ බරණැස් රජුද උයනෙහි ප්‍රමාදවීමක් නොකරම වහා ගෙට ගොස් ඒ පරිබ්‍රාජිකාව කැඳවා මහත් වූ යසසින් සතුටු කළේය. ඇය යසසෙහි අගුණද පැවිද්දෙහි ගුණමද කීවාය. රජු කිනම් ක්‍රමයෙන්ද ඇගේ සිත නොබලන්නේ ඇය එක් කාමරයක දමා (කරවා) සිතීය. මේ පරිබ්‍රාජිකාව මෙබඳු යසස නොකැමති වෙයි.ඒ තාපසයාද මෙබඳු ස්ත්‍රියක් ගෙනයන කල්හි කිපී බැලීම් මාත්‍රයක්ද නොකළේය. පැවිද්දෝ වනාහි බොහෝ මායා ඇත්තෝ වෙති. කිසිවක් යොදවා මට අනර්ථයක් කරන්නේය. පළමුකොට යමි. කුමක් කරමින් සිටින්නේදැයි දනිමි යි. සිටින්නට නොහැකි වන්නේ උයනට ගියේය. බෝධිසත්ත්ව තෙමේ සිවුර මසමින් හුන්නේය. මද පිරිවර ඇති රජු පිය ශබ්දයක් නොකරන්නේ වහා එළඹියේය. බෝධිසත්වත්වයෝ රජු දෙස නොබලා සිවුරම මැසුවේය. රජු, හෙතෙම කිපී මා සමග කථා නොකරයි මේ කූට තාපසයා කෝපය උපදින්නට නොදෙන්නෙමි. උපන් කල්හිද වහාම නිග්‍රහ කරන්නෙමියි පළමුව ගුගුරා දැන් ක්‍රෝධයෙන්ම තදවී මා සමග කථා නොකරයි යි හැඟීමෙන් තෙවන ගාථාව කීය.