4. සංඛ ජාතකය (442)
බහුස්සුතො යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයෙහි වාසය කරන සේක්, සියලු පිරිකර දීම අරබයා දේශනා කල සේක. සැවැත්නුවර එක් උපාසකයෙක් බුදුරදුන්ගේ ධර්මදේශනාව අසා පැහැදුණු සිත් ඇත්තේ හෙට සඳහා ආරාධනා කොට තමාගේ නිවස දොරටුවෙහි මණ්ඩපයක් කරවා අලංකාර කොට දෙවන දවස්හි කල් දැන්වීය. බුදුරජාණෝ පන්සියයක් භික්ෂූන් සහිතව එහි ගොස් පනවන ලද උතුම් ආසනයෙහි හුන් සේක. උපාසකයා බුද්ධප්රමුඛ භික්ෂු සංඝයාට මහදන් දී නැවත හෙට සඳහා යයි. මෙසේ සත්දිනක් ආරාධනාකොට මහදන් පවත්වා සත්වන දවසෙහි සියලු පිරිකර දානයක් දුන්නේය. ඒ දානය දෙන්නේ පාවහන් දීම උසස්කොට දුන්නේය. බුදුරදුන්ට දුන් පාවහන් යුවල දහසක් අගනේ වීය. අග්රශ්රාවකයන්ට පන්සියයක් අගනා ඒවාද සෙසු පන්සියයක් භික්ෂූන්ට සියයක් අගනා ඒවාදැයි දුන්නේය. මෙසේ හෙතෙම සියළු පිරිකර දානය දී තමාගේ පිරිස සමග භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහි හුන්නේය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මිහිරි හඬින් ඔහුට අනුමෝදනා කරන්නේ උපාසකය, ඔබගේ සියලු පිරිකර දානය මහත් වූවකි. සතුටුසිත් ඇත්තේ වෙහි. පෙර බුදුන් නො උපන් කල්හි එසේ බුදුන්ට එක් පාවහන් යුවලක් දී නැව බිඳී මුහුදෙහි පිහිටක් නොමැති කල්හි පාවහන් දීමේ ආනිසංසයෙන් පිහිටක් ලැබුවාහුය. තොප වනාහි බුද්ධප්රමුඛ භික්ෂු සංඝයාට සියලු පිරිකර දානයක් දුන්නේය. ඒ ඔබට පාවහන් දානය කුමක් හෙයින් පිහිටක් නොවන්නේදැයි කියා ඔහු විසින් අයදින ලද්දේ අතීත ප්රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි මේ බරණැස්නුවර මොලිනී නම් විය. මෝලිනී නගරයෙහි බ්රහ්මදත්ත රජු රාජ්යය කරවන කල්හි සංඛ නම් වූ පොහොසත් වූ මහත් ධනය ඇති බ්රාහ්මණයා නගරයේ සිව් දොරටුවලද නගරය මැදද තමා වසන ගෙදොරදැයි ස්ථාන සයක දන්ශාලා කරවා දිනපතා සය ලක්ෂයක් වියදම් කරමින් දිළින්දන්ටද මගියන්ටද මහදන් පැවැත්වීය. හෙතෙම එක් දිනයක (මෙසේ) සිතීය. මම ගෙයි ධනය ක්ෂය වූ කල්හි දන් දෙන්නට නොහැකි වන්නෙමි. ධනය නොපිරිහුන කල්හිම නැවෙන් ස්වර්ණ භූමියට ගොස් ධනය ගෙන එන්නෙමියි හෙතෙම නැවක් බඳවා බඩු පුරවා අඹුදරුවන් අමතා යම්තාක් මම පැමිණෙමිද ඒ තාක් මගේ දානය නොසිඳ පැවැත්වුව මැනව යයි කියා දාස කම්කරුවන්ගෙන් පිරිවරන ලද්දේ කුඩයක් ගෙන පාවහන් මත නැගී මධ්යාහ්න සමයෙහි පටුන්ගමට අභිමුඛ වූයේ පිටත්වීය. එකල්හි ගන්ධමාන පර්වතයෙහි එක් පසේබුදුනමක් විමසා බලා ධනය ගෙනඒම සඳහා යන්නා වූ ඔහු දැක. මහාපුරුෂයා ධනය ගෙනඒමට යයි. මොහුට මුහුදේදී අනතුරක් වන්නේද නැත්දැයි විමසා බලා වන්නේයයි දැන මෙතෙම මා දැක කුඩයද පාවහනද මට දී පාවහන් දීමේ විපාකයෙන් මුහුදෙහි නැව බිඳුන කල්හි පිහිටක් ලබන්නේය. මොහුට අනුග්රහ කරන්නෙමියි අහසින් අවුත් ඔහු සමීපයෙහි බැස සැඩසුළං-අව් ඇති, අඟුරු පැතුරුණාක් වැනි වූ උණු වැලි මඩින්නේ ඔහුට අභිමුඛ වී පැමිණියේය. හෙතෙම උන්වහන්සේ දැක පුණ්යක්ෂෙත්ර වූ පසේබුදුන් මා වෙත පැමිණියේය.
මා විසින් අද මෙහි බිජු රෝපණය කරන්නට වටී යයි සතුටු සිත් ඇත්තේ වේගයෙන් උන්වහන්සේ වෙත එළඹ වැඳ ස්වාමීනි, මට අනුග්රහ පිණිස මාර්ගයෙන් මදක් ඉවත්වී මේ ගසමුලට පැමිණෙන්න යයි කියා උන්වහන්සේ ගසමුලට පැමිණෙන කල්හි ගස මුල වැලි ඔසවා (අතුරා) උතුරුසළුව පනවා පසේබුදුන් හිඳුවා වැඳ සුවඳ කැවූ වතුරෙන් පා දෝවනය කර සුවඳ තෙල් ගල්වා ඔහුගේ පාදයන්ගෙන් මුදා ස්වාමීනි, මේ පාවහන් මත නැගී කුඩය මත්තෙහි කොට වඩින්නැයි කුඩයද පාවහනද දුන්නේය. උන්වහන්සේ ඔහුට අනුග්රහ පිණිස එය ගෙන ප්රසාදය වැඩීම පිණිස ඔහු දකිද්දීම අහසට පැන නැගී ගන්ධමාදන පර්වතයටම වැඩි සේක. බෝසත් තෙමේද ඒ දැක අතිශයින් පැහැදුන සිත් ඇතිව ඇත්තේ පටුනට ගොස් නැව් නැංගේය. ඉක්බිති ඔහුට මහමුහුදට පිළිපන් සත්වන දවස්හි නැව සිදුරු විය. ජලය ඉසින්නට නොහැකි වූහ. මහජනයා මරණ බියෙන් බියපත් වූවේ තම තමාගේ දෙවියන් නමස්කාර කර මහඬින් කෑගැසූහ. මහාසත්ත්ව තෙමේ එක් උපස්ථායකයෙකු ගෙන්වාගෙන සියළු සිරුරු තෙල් ගල්වා ගිතෙල් සමග උක්සකුරු කුඩු ඇති තාක් කා ඔහුටද කවා ඔහු සමග කුඹගස මතට නැගී අපගේ නගරය මේ දෙසැයි දිශාව සලකා මසු-කැසුබු ආදීන්ගේ උවදුරින් තමා මුදවන්නේ ඔහු සමඟ ඉස්බක් (රියන් 140ක් පමණ දුර) ඉක්මවා පැන්නේය. මහජනයා විනාශයට පැමිණියේය. මහාසත්ත්ව තෙමේ උපස්ථායකයා සමග මුහුද තරණය කරන්නට පටන් ගත්තේය. ඔහු තරණය කරද්දීම සත්දවසක් ඉක්මුණාහ. හෙතෙම ඒ කාලයෙහි ලුණුදියෙන් මුව සෝදා පෙහෙවස් සමාදන් වූවෙකුම වීය.
එකල්හි ලෝකපාලක සතරවරම් දෙවිවරුන් විසින් ‘ඉදින් නැව සිදුන කල්හි තෙරුවන් සරණගිය හෝ සීලයෙන් යුක්තවූ හෝ මව්පියන් දෙවියන් මෙන් සලකන්නාවූ හෝ යම් මනුෂ්යයෝ තුමූ දුකට පත්වූවාහු වෙත්ද ඔවුන් රකින්නේ යයි මණිමේඛලා නම් දෙව්දුවක් මුහුදෙහි ආරක්ෂාව පිණිස තබන ලද්දී වෙයි. ඇය සිය ඉසුරින් සත්දිනක් පමා වී සත්වන දවස්හි මුහුද බලන්නී සිල් පැවැත්මෙන් යුක්ත වූ සංඛ බ්රාහ්මණයා දැක මුහුදට වැටුන මොහුගේ සත්වන දවසයි. ඉදින් හෙතෙම මැරෙන්නේ නම් අතිශයින් ගැරහිය යුත්තියක වන්නෙමියි තැතිගත් සිත් ඇත්තී එක් රන් පාත්රයකට නොයෙක් අග්ර වූ රස ඇති දිව්යමය භෝජන පුරවා වාත වේගයෙන් ඔහු වෙත ගොස් ඔහු ඉදිරියේ අහස්හි සිට බ්රාහ්මණය, ඔබ සත්දිනක් ආහාර රහිතය. මේ දිව්යමය ආහාර අනුභව කරවයි කීය. හෙතෙම ඇය බලා ඔබේ බත් ඉවත් කරව. මම පෙහෙවස් සමාදන් වූයෙමියි කීය. ඉක්බිති ඔහුගේ පිටුපසින් එන්නා වූ උපස්ථායකයා දෙව්දුව නොදැක ශබ්දය පමණක් අසා මේ බ්රාහ්මණයා ස්වභාවයෙන්ම සියුමැලිය. දින හතක් ආහාර නැති නිසා දුකට පත් වූයේ මරණ බියෙන් වැලපෙතැයි සිතමි. ඔහු අස්වසමැයි සිතා පළමු ගාථාව කීවේය.