16. ඝතපණ්ඩිත ජාතකය (454)
උට්ඨෙහි කණ්හා යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් මළ කෙළෙඹි පුත්‍රයෙකු අරබයා දේශනා කළ සේක. කථා වස්තුව මටටකුණ්ඩලී කථාව හා සමානමය. මෙහි ශාස්තෲන් වහන්සේ ඒ උපාසකයාට උපාසකය කිම? සෝක කරහිදැයි කියා එසේය ස්වාමීනි යයි කී කල්හි උපාසකය, පැරණි පණ්ඩිතයෝ පණ්ඩිතයන්ගේ කථාව අසා මළපුතු වෙනුවෙන් ශෝක නොකළාහුයයි කියා ඔහු විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර දක්වා වදාළ සේක.
අතීතයෙහි උත්තරා පථයෙහි කංස භෝගයෙහි අසිතඤ්ජන නගරයෙහි මහාකංස නම් රජ රාජ්‍යය කරවීය. ඔහුට කංස හා උපකංස යයි පුත්තු දෙදෙනෙක් වූහ. දෙවගබ්භා නම් එක් දියණියක්ද වූවාය. ඇය උපන් දවසෙහි නිමිති කියන්නා වූ බ්‍රාහ්මණයෝ මැයගේ කුසෙහි උපන් පුත්‍රයා කංස ගෝත්‍රය කංස කුලය නසන්නේයයි කීහ. රජු බලවත් සෙනෙහස නිසා දූව නසන්නට නොහැකි වීය. සොහොයුරෝ (කළයුතු දේ) දන්නෝ යයි දිවි ඇති තෙක් සිට කළුරිය කළේය. ඔහු කළුරිය කළ කල්හි කංස රජ වීය. උපකංස යුවරජ වීය. ඔවුහු මෙසේ සිතූහ. ඉදින් අපි සොහොයුරිය නසන්නෙමු නම් ගර්හා කළ යුත්තෝ වන්නෙමු. මැය කිසිවෙකුට නොදී ස්වාමියෙකු නැත්තියක කර පෝෂණය කරමු යයි. ඔවුහු එක්ටැම් ප්‍රාසාදයක් කරවා ඇය එහි වාසය කරවූවාහුය. ඇගේ සේවිකාව නන්‍දගොපා නම් වූවාය. අන්‍ධක වෙණහු නම් ඇගේ ස්වාමී වූ දාසයා ඇයට ආරක්‍ෂාව කළේය.
එකල්හි උත්තර මධුරාවෙහි මහා සාගර නම් රජ රාජ්‍යය කරවයි. ඔහුට සාගර යයිද උපසාගර යයිද පුත්තු දෙදෙනෙක් වූහ. පියා ඇවෑමෙන් ඔවුන් අතර සාගර රජ වීය. උප සාගර යුවරජ වීය. ඔහු උපකංසගේ යහළුවෙකි. එකම ගුරු කුලයෙහි එකට උගන්නා ලද ශිල්ප ඇති ඔහු සොහොයුරාගේ අන්තඃපුරයෙහි ද්‍රෝහී වී අල්ලාගනු ලබන්නේ පලාගොස් කංස භෝගයෙහි උපකංස සමීපයට ගියේය. උපකංසයා කංස රජුට දැක්වීය. රජ ඔහුට මහත් වූ සම්පත් දුන්නේය. ඔහු රජුට උපස්ථාන පිණිස යන්නේ දේවගබ්භා කුමරියගේ එක්ටැම් පහය දැක මේ කවරෙකුගේ නිවාසයක් දැයි විමසා ඒ කරුණ අසා දේවගබ්භා පිළිබඳව බැඳුන සිත් ඇත්තේ වීය. දෙවගබ්භා කුමරියද එක් දිනක් උපකංස සමග රජුට උපස්ථාන පිණිස යන ඔහු දැක මොහු කවරෙක්දැයි විමසා මහාසාගර රජුගේ පුත් උපසාගර නම් යයි නන්‍දගෝපා වෙතින් අසා ඔහු පිළිබඳව බැඳුන සිත් ඇත්තී වූවාය. උපසාගර තෙමේ නන්‍දගෝපාවට අත්ලස් දී සොහොයුරිය, මට දේවගබ්භාව දක්වන්නට හැක්කෙහිදැයි කීය. ඇය ස්වාමීනි, මෙය බැරෑරුම් දෙයක් නොවේ යයි කිය ඒ කාරණය දේවගබ්භා කුමරියට දැන්වූවාය. ඇය ස්වභාවයෙන්ම ඔහු පිළිබඳ බැඳුන සිත් ඇත්තී ඒ වචනය අසා මැනවැයි පිළිගත්තීය. නන්‍දගෝපා තොමෝ උපසාගරට සළකුණක් දී රාත්‍රී කාලයෙහි ඔහු ප්‍රාසාදයට නංවාලීය. ඔහු දේවගබ්භා කුමරිය සමග සංවාසයෙහි යෙදුනේය. ඉක්බිති ඔවුන්ගේ නැවත නැවත එක්ව විසීමෙන් දේවගබ්භාව ගැබක් ලැබුවාය.
මෑත කාලයෙහි ඇයගේ ගැබ් පිහිටීම ප්‍රකට වීය. සොහොයුරෝ නන්‍දගෝපාවගෙන් විමසූහ. ඇය අභය ඉල්වා ඒ වෙනස කීවාය. ඒ අසා සොහොයුරිය නසන්නට නොහැකිය. ඉදින් දුවක් උපදින්නනේද ඇයද නොනසමු. ඉදින් පුත්‍රයෙක් වන්නේද නසන්නෙමුයි සිතා දේවගබ්භාව උපසාගරටම දුන්නාහුය. ඇය පිරිපුන් ගැබ් ඇත්තී දුවක් වැදුවාය. සොහොවුරෝ ඒ අසා තුටුපහටු වූවාහු ඇයට අඤ්ජනදේවී යයි නම් කළාහුය. ඔවුන්ට ගොවඩ්ඪමාන නම් ගොදුරු ගමක් දුන්හ. උපසාගරයා දේවගබ්භාව ගෙන ගොවඩ්ඪමාන ගමෙහි වාසය කළේය. දේවගබ්භාවට නැවතද ගැබක් පිහිටියේය. නන්‍දගෝපාද එදවසම ගැබක් ලැබුවාය. ඇයගේ ගැබ් පිරිපුන් කල්හි එක්දිනම දේවගබ්භාව පුතෙකු වැදුවාය. නන්‍දගෝපාව දුවක වැදුවාය. දේවගබ්භා තොමෝ පුතුගේ නැසීමේ බියෙන් පුතු නන්‍දගෝපා වෙත රහසින් යවා ඇගේ දුව ගෙන්වා ගත්තාය. ඇය වැදූ බව සොහොයුරන්ට දැන්වූවාහුය. ඔවුහු වැදුවා පුතෙක්ද දුවෙක්දැයි විමසා දුවක යයි කී කල්හි එසේනම් පෝෂණය කරවයි කීවාහුය. ඒ උපායෙන් දේවගබ්භා තොමෝ පුතුන් දසදෙනෙක් වැදුවාය. නන්‍දගෝපා දූවරුන් දසදෙනෙක් වැදුවාය. පුත්‍රයෝ නන්‍දගෝපා වෙත වැඩෙත්. දූවරු දේවගබ්භා වෙත වැඩෙත්. ඒ වෙනස කවරෙක් හෝ නොදනී. දේවගබ්භාගේ වැඩිමහල් පුතා වාසුදේව නම් වීය. දෙවැන්නා බලදේව නම් වීය. තෙවැන්නා චන්‍දදේව නම් වීය. සිව්වැන්නා සූරියදේව නම්ද පස්වැන්නා අග්ගිදේව නම්ද සවැන්නා වරුණදේව නම්ද සත්වැන්නා අර්ජුන නම්ද අටවැන්නා පජ්ජුන ද නවවැන්නා ඝත පණ්ඩිත ද දසවැන්නා අංකුර නම්ද වූහ. ඒ අන්‍ධක වෙණ්හු දාස පුත්‍රයෝ දස සොහොවුරෝ යයි ප්‍රකට වූහ.