15. මහාමංගල ජාතකය (453)
කිංසු නරො යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් මහාමංගල සූත්‍රය අරභයා දේශනා කළ සේක. රජගහනුවර කිසියම් කටයුත්තක් සඳහා නගර ශාලාවෙහි රැස්වූ මහජනයා මැද එක් පුරුෂයෙක් අද මට මඟුල් කටයුත්තක් ඇතැයි නැගිට ගියේය. අනිකෙක් ඔහුගේ වචනය අසා මොහු මඟුල යයි කියා ගියේය. මේ මංගල නම් කිමැයි කීය. අනිකෙක් කියනුයේ ශුභ වූ රූප දැකීම මංගල නම් වේ. ඇතැම් කෙනෙක් කල් ඇතිවම නැඟිට මුළුමනින්ම සුදු වූ ගොනෙකු බලයි. ගැබිණි වූ ස්ත්‍රියක් හෝ රෝහිත මසෙකු හෝ දියෙන් පිරි කලයක් හෝ වෙඬරු හෝ ගිතෙල් හෝ සුදු වස්ත්‍රයක් හෝ කිරිබත් හෝ බලයි. මෙයින් මත්තෙහි මංගලයක් නම් නැතැයි කීය. ඇතැම්හු ඔහු විසින් කියන ලද්දට සතුටු වූහ. අනිකෙක් මෙය මංගල නොවේ. ඇසූ ශුභ දෙයම මංගල නම් වේ. ඇතැම් කෙනෙක් කියන්නවුන්ගේ ‘පිරුණි’ යයි වචනය අසයි. වැඩේවායි වඩනු ලැබේවායි අසයි. අනුභව කරව, කව යි කියන්නවුන්ද අසයි. මින් මත්තෙහි මංගලයක් නම් නැතැයි කීය. ඇතැම්හු ඔහු විසින් කියන ලද මනාව කියන ලදැයි සතුටු වූහ. අනිකෙක් මෙය මංගල නම් නොවේ. ශුභ වූ දෙය නාසය-දිව-සිරුර යන ඉඳුරන්ගෙන් ස්පර්ශ කිරීමම මංගල නම් වේ. ඇතැම් කෙනෙක් කල් ඇතිවම නැගිට පොළොව ස්පර්ශ කරයි. කොළ පැහැති තණකොළද තෙතගොමද පිරිසිදු සළුවද රෝහිත මසුද රන්රිදීද බොජුනද ස්පර්ශ කරයි. මින් මත්තෙහි මංගල නම් වූවක් නැතැයි කීය. ඇතැම්හු ඔහු විසින් කියන ලද දෙයද මොනවට කියන ලදැයි සතුටු වූහ. මෙසේ දුටු දේ මංගල යයි කියන්නෝද, ඇසූ දේ මංගල යයි කියන්නෝද ස්පර්ශ කළ දේ මංගල යයි කියන්නෝදැයි තෙපිරිසක් වී ඔවුනොවුන් අවබෝධ කරවීමට නොහැකි වූහ. බූමාටු දෙවියෝ ආදී කොට බඹලොව දක්වා මංගලය නම් මෙයැයි ඇති අයුරින් නොදත්තාහුය.
ශක්‍රයා සිතීය. මේ මංගල ප්‍රශ්නය දෙවියන් සහිත ලෝකයෙහි භාග්‍යවතුන් වහන්සේගෙන් අනිකෙක් කියන්නට සමර්ථ වන්නේ නම් නැත. භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ ප්‍රශ්නයක් විමසන්නෙමි යි. හෙතෙම රාත්‍රී භාගයෙහි ශාස්තෲන් වහන්සේ වෙත එළඹ වැඳ ඇඳිලි බැඳ “බහූදෙවා මනුස්සාච” ආදී වශයෙන් ප්‍රශ්නයක් විචාළේය. ඉක්බිති ශාස්තෘන් වහන්සේ දොළොස් ගාථාවකින් අටතිසක් මංගල කරුණු වදාළ සේක. මංගල සූත්‍රය දේශනා කරන කල්හි කෙළ ලක්‍ෂයක් පමණ දෙවියෝ රහත් බවට පත්වූහ. සෝවාන් වූවන්ගේ ගණන් පිළිවෙලක් නම් නැත. ශක්‍රයා මංගලය අසා සිය වාසස්ථානයටම ගියේය. ශාස්තෲන් වහන්සේ විසින් මංගල කරුණු කී කල්හි දෙවියන් සහිත ලෝකයා මනාව දේශනාකරන ලදැයි සතුටු වීය. එකල්හි දම්සභා මණ්ඩපයෙහි තථාගතයන් වහන්සේගේ ගුණකථාව උපදවූහ. ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ අන්‍යයන්ට විෂය නොවූ මංගල ප්‍රශ්නය දෙවියන් සහිත ලෝකයාගේ සිත ගෙන කුකුස් සිඳුවා අහස් තලයෙහි සඳ නංවන්නාක් මෙන් වදාළ සේක. ඇවැත්නි, තථාගතයන් වහන්සේ මෙසේ මහා ප්‍රඥා ඇති සේක. බුදුරජු පැමිණ මහණෙනි, දැන් කවරනම් කථාවෙකින් හුන්නාහුදැයි විමසා මෙනම් වූවකැනැයි කී කල්හි මහණෙනි, දැන් සම්බුද්ධත්ත්‍වයට පත්වූ මගේ මංගල ප්‍රශ්න කීම පුදුමයක් නොවේ. ඒ මම බෝසත් චර්යාවෙහි හැසිරෙන්නේද දෙව්මිනිසුන්ගේ සැකය සිඳ මංගල ප්‍රශ්නය කීවෙමියි අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පෑවේය.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි බෝධිසත්ව තෙමේ එක් නියම්ගමක සම්පත්වලින් යුත් බමුණෙකුගේ කුලයෙහි උපන්නේය. ඔහුට රක්ඛිත කුමාරයා යයි නම් කළාහුය. ඔහු සුදුසු වයසට පැමිණියේ තක්‍ෂිලාවෙහිදී ඉගෙන ගන්නා ලද ශිල්ප ඇත්තේ කරන ලද බිරිඳක් සරණපාවා ගැනීම් ඇත්තේ මව්පියන් ඇවෑමෙන් රුවන් බැලීම කොට (සම්පත් බලා) සංවේගයට පත් සිත් ඇත්තේ මහදන් පවත්වා කාමයන් හැර හිමවත පෙදෙසෙහි පැවිදි වී ධ්‍යාන හා අභිඥාවන් උපදවා වන මුල් ගෙඩි ආහාර කර ඇත්තේ එක් පෙදෙසක වාසය කෙළේය. ක්‍රමයෙන් ඔහුගේ පිරිවර මහත් වීය. පන්සියයක් අතවැසියෝ වූහ. ඉක්බිති එක් දවසක් තාපසයෝ බෝධිසත්ත්‍වයන් වෙත එළඹ වැඳ ආචාර්යයන් වහන්ස, වැසි කාලයෙහි හිමාලයෙන් බැස ලුණු ඇඹුල් සෙවීම පිණිස ජනපද චාරිකාවෙහි යමු. මෙසේ අපගේ ශරීරයද ස්ථිර වූවක් වන්නේය. සක්මන් කිරීමද කළේ වන්නේ යයි කීවාහුය. ඔවුන්ට එසේ නම් තෙපි යව්. මම මෙහිම වසන්නෙමියි. කී කල්හි ඔහු වැඳ හිමවතින් බැස චාරිකාවෙහි හැසිරෙන්නාහු බරණැසට පැමිණ රජ උයනෙහි විසුවාහුය. ඔවුන්ට මහත් වූ සත්කාර සම්මාන වීය. ඉක්බිති එක් දවසක් බරණැස් නුවර නගර ශාලාවෙහි රැස් වූ මහජනයා අතර මංගල ප්‍රශ්නය උපන්නේය. සියල්ල වර්තමානයෙහි මෙන්ම දතයුතුයි.