පුනන්ති වුද්ධා යනු යම් පුද්ගලයෙකු ගැන ඤාණයෙන් වැඩිහිටියෝ ආර්ය ධර්මයෙන් යහපත් ධර්මයෙන් සතුටට පත් වෙත්ද, පිරිසිදු බවට පත්වෙත්ද, සමචරියා යනු යහපත් ප්රතිපත්තියයි. බහුස්සුතා යනු අවබෝධයෙන් බොහෝ ඇසූ පිරූ තැන් ඇති. ඉසයෙ තවුස් සමූහයා. සීලවන්තො. උසස් සීලයෙන් යුක්ත වූවාහු. අරහන්ත මජ්ක්ධෙ රහතුන් මැද ලද යුතු යහපතැයි පණ්ඩිතයෝ කියත්. රහත්හු මා විසින් අවබෝධ කරන ලද මාර්ගය කියා පිළියෙල කරන්නාහු සතුටු කරවන පුද්ගලයා උසස් ධර්මයෙන් පිරිසිදු කරත්ද ඔහුද රහත් කෙනෙක්ම වෙයි.
මෙසේ මහා සත්ත්වයෝ සුදුසු වූ දේශනාවෙන් කුළු ගන්වන්නේ ගාථා අටකින් මංගලයන් කියා ඒ මංගලයන්ටම ස්තුති කරන්නේ අවසාන ගාථාව කීය.
10. නුවණැත්තන් විසින් පසසන ලද සැප ගෙනදෙන්නා වූ මේවා ලොව මංගලයෝ වෙති. නුවණැති මිනිසා ඒවා සේවනය කරන්නේ ය. මංගලයන්ගෙන් තොර කිසිදු සත්‍යයක් නැත.
එහි මංගලෙ යනු ඒ දිට්ඨ-සුත-මුත වශයෙන් කොටස් වූ මංගල කරුණු අතර කිසි එක් මංගලයක් හෝ සත්‍ය නොවේ. නිර්වාණයම එකම පරම සත්‍යයයි.
තවුසෝ ඒ මංගල කරුණු අසා සත් අට දවසක් ඇවෑමෙන් ආචාර්යයන් විමසා එහිම ගියාහුය. රජ ඔවුන් සමීපයට ගොස් විචාළේය. ඔවුහු ඒ රජුට ආචාර්යවරයා විසින් කියන ලද පරිදිම මංගල ප්රශ්නය කියා හිමවතට ගියෝය. එතැන් පටන් ලොව මංගල කරුණු ප්‍රකට වීය. මංගලයන්හි පිහිටා මළ මළ අය දෙව්ලොව පිරවූහ. බෝධිසත්ත්ව තෙමේ බ්‍රහ්ම විහරණයන් වඩා තවුස් සමූහයා ගෙන බඹලොව උපන්නේය.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, දැන් පමණක් නොවේ. මම පෙරද මංගල ප්‍රශ්න කීවෙමියි කියා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි තවුස් සමූහයා බුද්ධපිරිස වීය. මංගල ප්රශ්නය විමසූ ප්‍රධාන අතවැසියා සැරියුත් තෙර විය. ආචාර්යවරයා මම ම වීමි යයි වදාළහ.
16. ඝතපණ්ඩිත ජාතකය (454)
උට්ඨෙහි කණ්හා යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් මළ කෙළෙඹි පුත්‍රයෙකු අරබයා දේශනා කළ සේක. කථා වස්තුව මටටකුණ්ඩලී කථාව හා සමානමය. මෙහි ශාස්තෲන් වහන්සේ ඒ උපාසකයාට උපාසකය කිම? සෝක කරහිදැයි කියා එසේය ස්වාමීනි යයි කී කල්හි උපාසකය, පැරණි පණ්ඩිතයෝ පණ්ඩිතයන්ගේ කථාව අසා මළපුතු වෙනුවෙන් ශෝක නොකළාහුයයි කියා ඔහු විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර දක්වා වදාළ සේක.
අතීතයෙහි උත්තරා පථයෙහි කංස භෝගයෙහි අසිතඤ්ජන නගරයෙහි මහාකංස නම් රජ රාජ්‍යය කරවීය. ඔහුට කංස හා උපකංස යයි පුත්තු දෙදෙනෙක් වූහ. දෙවගබ්භා නම් එක් දියණියක්ද වූවාය. ඇය උපන් දවසෙහි නිමිති කියන්නා වූ බ්‍රාහ්මණයෝ මැයගේ කුසෙහි උපන් පුත්‍රයා කංස ගෝත්‍රය කංස කුලය නසන්නේයයි කීහ. රජු බලවත් සෙනෙහස නිසා දූව නසන්නට නොහැකි වීය. සොහොයුරෝ (කළයුතු දේ) දන්නෝ යයි දිවි ඇති තෙක් සිට කළුරිය කළේය. ඔහු කළුරිය කළ කල්හි කංස රජ වීය. උපකංස යුවරජ වීය. ඔවුහු මෙසේ සිතූහ. ඉදින් අපි සොහොයුරිය නසන්නෙමු නම් ගර්හා කළ යුත්තෝ වන්නෙමු. මැය කිසිවෙකුට නොදී ස්වාමියෙකු නැත්තියක කර පෝෂණය කරමු යයි. ඔවුහු එක්ටැම් ප්‍රාසාදයක් කරවා ඇය එහි වාසය කරවූවාහුය. ඇගේ සේවිකාව නන්දගොපා නම් වූවාය. අන්ධක වෙණහු නම් ඇගේ ස්වාමී වූ දාසයා ඇයට ආරක්ෂාව කළේය.