1. චතුද්වාර ජාතකය (439)
චතුද්වාර මිදං නගරං යනු මේ ගාථාව ශාස්තෘන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වාසය කරන සේක් එක් දුර්වච භික්‍ෂුවක් අරභයා දේශනා කළ සේක. වර්තමාන කථාව නවවන නිපාතයේ පළමු ජාතකයෙහි විස්තර කරන ලද්දේමය. මෙහිදී ශාස්තෘන් වහන්සේ ඒ භික්‍ෂුවට “තොප දූර්වච වෙහි යනු සත්‍යදැ” යි විචාරා ස්වාමීනි, සත්‍යයයි කි කල්හි භික්‍ෂුව, තෝ පෙරද නපුරු වචන ඇති හෙයින් පණ්ඩිතයන්ගේ වචනය නොකොට උරචක්‍රයක් (පපුව මත තැබූ විට කැරකැවෙමින් කැපෙන ආයුධයක්) ලද්දේ යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි කස්සප බුදුරදුන්ගේ කාලයෙහි බරණැස් නුවර අසූකෙළක් ධනය ඇති සිටුවරයෙකුගේ මත්තවින්දක නම් පුතෙක් විය. ඔහුගේ මව්පියෝ සෝවාන් වූවාහු වෙති. ඔහු වනාහි දුස්සීලය. ශ්‍රද්ධාව නැත්තෙකි. ඉක්බිති මෑත කාලයෙහි පියා කළුරිය කළ කල්හි මව ඔහුට පවුලක් (පිළිබඳ) විචාරන්නී කීය. දරුව, ඔබ විසින් දුලබ වූ මිනිසත් බව ලබන ලදි. දන් දෙව - සිල් රකුව. උපෝසථ කර්මය කරව. ධර්මය අසවයි. මෑණියනි, මට දානාදීන්ගෙන් වැඩක් නැත. මට කිසිවක් නොකියව. මම කම් වූ පරිදෙන් මිය පරලොව යන්නෙමි යි මෙසේ කියන්නා වූ ඔහුට එක් පුන් පසළොස්වක පොහෝ දිනක මව කීවාය. දරුව, අද සොඳුරු මහපොහොය දිනයකි. අද පෙහෙවස් සමාදන් වී විහාරයට ගොස් මුළු රෑ බණ අසා එව. මම තොපට දහසක් දෙමි යනුවෙනි. හෙතෙම මැනවයි මුදල් ආශාවෙන් පෙහෙවස් සමාදන් වී අනුභව කරන ලද උදේ ආහාරය ඇත්තේ විහාරයට ගොස් දවස ගෙවා රාත්‍රියෙහි යම් සේ එක් බණ පදයකුදු කණට නොඇසේද එවැනි එක් පෙදෙසක නින්දට වැටී දෙවන දවස්හි උදෑසනම මුහුණ සෝදා ගෙට ගොස් හුන්නේය.
මොහුගේ මව වනාහි අද මගේ පුතා බණ අසා උදෑසනම ධර්මදේශනා කළ තෙරුන් කැඳවාගෙන එන්නේය යයි කැඳ හා කෑ යුතු දේ, බුදිය යුතු දේ සූදානම් කර ආසනයක් පනවා ඔහුගේ පැමිණීම අපේක්‍ෂා කරන්නී ඔහු හුදකලාව පැමිණෙනු දැක දරුව, ධර්මදේශක භික්‍ෂුව ඔබ විසින් කැඳවාගෙන නොඑන ලද්දේ දැයි කියා “මට ධර්ම කථිකයෙකුගෙන් වැඩක් නැතැ”යි කී කල්හි එසේනම් කැඳ බොවයි කීය. හෙතෙම (කියනුයේ) තොප විසින් මා හට දහසක් (දෙමැයි) පොරොන්දු විය. පළමුකොට එය මට දෙව. පසුව බොමියි කීය. දරුව බොව. පසුව ගන්නෙහි යයි. ගෙනම බොන්නෙමියි. ඉක්බිති ඔහුගේ මව සහසක පොදිය ඉදිරියෙන් තැබීය. හෙතෙම කැඳ බී දහසින් බැඳි පොදිය ගෙන වෙළදාම් කරන්නේ නොබෝ කලකින්ම විසිලක්‍ෂයක් උපදවීය. ඉක්බිති ඔහුට මෙසේ සිත් වීය. නැවක් ගෙන වෙළදාම් කරන්නෙමියි. හෙතෙම නැවක් ගෙන මෑණියෙනි, මම නැවෙන් වෙළදාම් කරන්නෙමි යි කීය. ඉක්බිති ඔහුට මව (කියනුයේ) දරුව තෝ එකම පුතුය. මේ ගෙයි ධනය බොහෝය. මුහුද බොහෝ ආදීනව ඇත්තීය. නොයවයි වලක්වාලීය. හෙතෙම මම යන්නේම වෙමි. මා වළක්වාලන්ට නොහැකියයි කියා දරුව, මම වළක්වන්නෙමියි මව විසින් අත්හි ගන්නා ලද්දේ අත මුදවා මුවට පහරදී හෙලා අතරට කර ගොස් නැවෙන් මුහුදට ගියේය.
නැව සත්වන දවස්හි මිත්තවින්දක ඇසුරුකොට මුහුද ම නිසලව සිටියේය. කාලකණ්ණියා කවරෙක්දැයි විමසන සීට්ටුව මිත්ත වින්‍දකයාගේම අතෙහි තෙවරක් වැටුණේය. ඉක්බිති ඔහුට පහුරක් දී මේ එකෙකු නිසා බොහොමයක් විනාස නොකෙරෙත්වායි ඔහු මුහුදෙහි දැමුවේය. එකෙනෙහිම නැව වේගයෙන් මුහුදට ගියේය. ඔහු පහුරෙහි වැතිර එක් දිවයිනකට පැමිණියේය. එහි පළිඟු විමනයෙහි ප්‍රේතීන් සතර දෙනෙකු දුටුවේය. ඈලා සත් දවසක් දුක් අනුභව කරත්. සත් දවසක් සැප අනුභව කරත්. හෙතෙම ඈලා සමග සත්දිනයක් දිව්‍ය සම්පත් අනුභව කළේය. ඉක්බිති ඔහුට දුක් අනුභව කිරීම සඳහා යන්නා වූ ඈලා ස්වාමීනි, අපි සත්වන දිනයෙහි පැමිණෙන්නෙමු. යම්තාක් අපි පැමිණෙමුද ඒ තාක් උකටලී නොවන්නේ මෙහිම වසවයි කියා ගියාහුය. හෙතෙම තෘෂ්ණාවෙහි වසඟ වූවෙක් වී ඒ ලෑල්ලෙහිම වැතිර නැවත මුහුද මතින් යන්නේ වෙනත් දිවයිනකට පැමිණ එහි රිදී විමානයක ප්‍රේතියන් අටදෙනෙකු දැක, මේ ක්‍රමයෙන්ම වෙනත් දිවයිනක මැණික් විමානයක සොළොස් දෙනෙක්දැයි. වෙනත් රන් විමානයක දෙතිසක් ප්‍රේතියන් දැක ඈලා සමග දිව්‍ය සම්පත් අනුභව කර ඈලාද දුක් අනුභව කරන්නට ගියකල්හි නැවත මුහුද මතින් යන්නේ පවුරින් වටකරන ලද දොරටු සතරක් ඇති එක් නගරයක් දුටුවේය. එය උස්සද නිරයයි. බොහෝ නිරි සතුන්ට තමා කළ කර්මයන් අනුභව කරන තැන වූ එය මිත්ත වින්‍දකයාට අලංකාර කර සරසන ලද නගරයක් මෙන් වැටහී ගියේය.