2. කණ්හ ජාතකය (440)
කණෙහා වතා යං පුරිසො යනු මේ ගාථාව ශාස්තෘන් වහන්සේ කිඹුල්වත ඇසුරුකොට නිග්‍රොධාරාමයේ වාසය කරන සේක් සිනා පහළකිරිම අරබයා දේශනා කළ සේක. එකල්හි ශාස්තෘන් වහන්සේ සවස් සමයෙහි නිග්‍රෝධාරාමයෙහිදී භික්‍ෂු සංඝයා විසින් පිරිවරන ලද්දේ සක්මනෙහි හැසිරෙන්නේ එක් පෙදෙසෙක්හිදී මදසිනා පහළ පහළ කළ සේක. ආනන්‍ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේගේ සිනා පහළ කිරීමට කවර හේතුවක්ද? කවර ප්‍රත්‍යයක්ද? තථාගතයෝ හේතුරහිතව සිනා පහළ නොකරති යි පළමුකොට විමසමුයි ඇඳිළි බැඳ සිනහවට කරුණු විමසීය. ඉක්බිති ශාස්තෘන් වහන්සේ ඔහුට (වදාරනුයේ) ආනන්‍දය පෙර කණ්හ නම් තවුසෙක් විසීය. ඉපිදවූ ධ්‍යාන ඇති ධ්‍යානයෙහි ඇළුණු හෙතෙම මෙම භූමිප්‍රදේශයෙහි වාසය කළේය. ඔහුගේ සිල් තෙදින් ශක්‍ර භවනය කම්‍පා වී යයි. සිනහවට කරුණ කියා ඒ ප්‍රවෘත්තිය අප්‍රකට හෙයින් තෙරුන් විසින් අයදනා ලද්දේ අතීත ප්‍රවාත්තිය ගෙනහැර වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරවන කල්හි බරණැස් නුවර අසූකෙළක් ධනය ඇති පුතුන් නැති බ්‍රාහ්මණයෙකු විසින් සිල් සමාදන් වී පුත්‍රයන් ප්‍රාර්ථනා කළ කල්හි බෝධිසත්ව තෙමේ ඒ බැමිණියගේ කුසෙහි උපන්නේය. කළුපැහැ ඇති හෙයින් නම් තබන දිනයේදී ඔහුට කණ්හ යයි නම් කළාහුය. හෙතෙම සොළොස්වයස් කල්හි මැණික් ප්‍රතිමාවක් මෙන් රූපශ්‍රීයෙන් අගතැන්පත් වූයේ පියා විසින් ශිල්ප ඉගෙනීම සඳහා යවන ලද්දේ තක්‍ෂිලාවෙහිදී සියළු ශිල්පයන් උගෙන පෙරළා පැමිණියේය. ඉක්බිති පියා ඔහුව සුදුසු බිරිඳක හා එක් කරවීය. හෙතෙම මෑත කාලයෙහි මව්පියන් ඇවෑමෙන් සියළු සම්පත් පිළිපැද්දේය. ඉක්බිති එක් දවසක් භාණ්ඩාගාර බලා උසස් පළඟක (ආසනයක) හුන්නේ රන්පට ගෙන්වා මෙපමණක් ධනය අසවලා විසින් උපදවන ලදි. මෙපමණක් අසවලා විසින් යයි පෙර නෑයන් විසින් රන්පටෙහි ලියන ලද අකුරු දැක සිතීය. එකෙකුදු මෙය ගෙන ගියේ නොවෙයි. ධනය හා බඩු පොදි බැඳගෙන පරලොව යන්නට නොහැක. පස් වැදෑරුම් යුක්ති සහගත බැවින් දන්දීම අසාර වූ ධනයට සාරය වේ. බොහෝ රෝගයන්ට සාධාරණ නිසා අසාර වූ ශරීරයට සිල්වතුන් කෙරෙහි පිදීම් ආදී කටයුතු සාරය වේ. අනිත්‍ය බැවින් මඩනා ලද ජීවිතයම අනිත්‍යාදී වශයෙන් විදර්ශනාවෙහි යෙදීම සාරයයි. එහෙයින් අසාර වූ සම්පතින් සාරය ගැනීම පිණිස දන් දෙන්නෙමි යි.
හෙතෙම අසුනින් නැගී සිට රජු සමීපයට ගොස් රජුගෙන් විමසා මහදන් පැවැත්වීය. සත්වන දිනය තෙක් ධනය ක්‍ෂය නොවනු දැක මට ධනයෙන් කවර ප්‍රයෝජනයක්ද? යම්තාක් ජරාව (මා) අභිභවනය නොකරයිද එකල්හි පැවිදි වී අභිඥාවන්ද සමාපත්තීන්ද උපදවා බඹලොව පිහිටකොට ඇත්තෙක් වන්නෙමි යි සිතා නිවසෙහි සියළු දොරටු හරවා “මා විසින් දෙන ලදි. ගෙන යත්වායි අසූචිය මෙන් පිළිකුල් කරන්නේ වස්තුකාමය හැර මහජනයා හඬද්දී වැලපෙද්දී නගරයෙන් නික්ම හිමවත පෙදෙසට පිවිස තවුස් පැවිද්දේන් පැවිදි වී තමාගේ වාසය පිණිස සිත්කළු බිම්කඩක් බලන්නේ මෙතැනට පැමිණ මෙහි වසන්නෙමියි එක් තියඹරා ගසක් ගොදුරු ගම කොට අධිෂ්ඨාන කර ඒ ගස මුලහිම වාසය කළේය. ග්‍රාමාන්ත සෙනසුන හැර වනවාසියෙක් වීය. පන්සලක් නොකොට රුක්ඛමූලිකයෙක් විය. එළිමහනේ වසන්නෙක් වීය. නොනිදා හිඳගැන්ම පමණක් කරන්නෙක් වූයේ ඉදින් නිදනු කැමැත්තේ වීද පොළොවෙහිම නිදයි. දන්තමූසලිකයෙක් වී ගින්නෙහි නොපිසන දේම කයි. පොත්තෙන් දහයියාවෙන් වටකරනා ලද කිසිවක් නොකයි. එක් දවසක්හි එක් වරක්ම කයි. එක් අසුනක පමණක් හිඳගන්නෙක් විය. ඉවසීමෙන් පොළොව ජලය ගින්න හා සුළඟ හා සමවී එපමණක් මේ ධුතාංගයන් සමාදන් වී පවතී. මේ ජාතකයේදී බෝසත් තෙමේ අතිශය අල්පේච්ඡ වීය. හෙතෙම නොබෝ කලකින්ම අභිඥාවන්ද සමාපත්තීන්ද උපදවා ධ්‍යාන නැමති ක්‍රීඩාව කෙළින්නේ එහිම වසයි. ලොකු කුඩා ගෙඩි පිණිසද අන්තැනක නොයයි. ගස ගෙඩි හටගත් කල්හි ගෙඩි කයි. මල් පිපුන කල්හි මල්ද කොළ සහිත කාලයෙහි කොළද කයි. කොළ නැති කල්හි ගැලවුන පොත්ත කයි. මෙසේ අතිශයින්ම ලද දෙයින් සතුටුවූයේ වී මෙතන්හි බොහෝ කාලයක් වාසය කළේය.