1. මහා සීලව ජාතකය (51)
“ආසිංසෙථෙව පුරිසොති” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වසන සේක්, හළ වීරිය ඇති භික්ෂුවක් අරබයා දේශනා කළහ. බුදුරජහු ඒ භික්ෂුව අමතා හළ වීර්යය ඇත්තෙහිදැ යි ඇසූහ. එ සේය ස්වාමීනි, කිමෙක් ද මහණ, මෙබඳු නෛර්යාණික සසුනෙහි පැවිදි ව වීර්යය අත්හළේ කුමක් නිසා ද? පෙර පඬිවරු රාජ්‍යය පිරිහෙන්න හළ ද වීර්යයෙහි පිහිටා නැති වූ සම්පත් උපදවා ගත්තාහුමැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු රජුගේ අග මෙහෙසිය කුස පිළිසිඳ ගත්හ. ඔහුට නම් තබන දිනයෙහි සීලව කුමරා යි නම් තැබූහ. එතුමා සොළොස් වියේදී ම සිප්සතරෙහි පරතෙරට පැමිණි පසු කල පියාගේ ඇවෑමෙන් රාජ්‍යයෙහි පිහිටියේ මහා සීලව කුමරු නම් වූයේය. දැහැමි රජෙක් වූයේය. නගරයෙහි සතර දිසාවෙහි සතරක් ද මැද එකක් ද තම රජ මැදුර ඉදිරියෙහි එකක් ද වශයෙන් දාන ශාලා සයක් කැරවා දුගී මගීන්ට දන් දෙයි. සිල් රකියි. පොහොය කර්ම කරයි. ඉවසීම, මෙත, කරුණාදියෙන් යුත් රජතුමා තම ඇකෙහි හුන් පුතු සතුට කරන්නාක් මෙන් සියලු සතුන් සතුටු කරමින් දැහැමෙන් රාජ්ය්ය කරයි. එතුමන්ගේ ඇමැතියෙක් අන්තඃපුරයෙහි වරදෙහි හැසිර පසු කාලයෙහි ප්‍රකට විය. ඇමැතියෝ රජුට මෙකරුණ සැලකළහ. රජතුමා පිරික්සා ප්රත්යක්ෂව දැන ඒ ඇමැතියා කැඳවා බාලය, ඔබ කළේ වරදකි. මගේ රාජ්‍යයෙහි විසීමට ඔබ සුදුසු නො වේ. තමාගේ ධනය ද අඹුදරුවෝ ද ගෙන වෙනත් තැනකට යව යි පිටුවහල් කළේය. ඔහු කසී රට ඉක්මවා කොසොල් රජුට සේවය කරමින් ක්‍රමයෙන් රජුගේ අභ්‍යන්තර හිතවතකු විය.
දිනක් ඔහු රජුට මෙසේ කීය. දේවයිනි, බරණැස් රාජ්‍යය මී මැස්සන් නැති මී වදයක් සමාන වේ. රජු ඉතා ලාමකය. සුළු හමුදාවක් යොදා බරණැස් රාජ්‍යය ගත හැකිය. රජ ඔහුගේ වචනය අසා මෙසේ සිතීය. බරණැස් රාජ්‍යය අති විශාලය. මොහු සුළු හමුදාවකින් ජය ගත හැකි බව කීය. මොහු ඔත්තුකරුවකු විය හැකියැ යි සිතා ඔබ චර පුරුෂයකුදැ යි ඇසීය. දේවයිනි, මම චර පුරුෂයෙක් නොවෙමි. ඇත්ත ම කියමි. ඉදින්, මගේ වචනය නො අදහන්නේ නම්, මිනිසුන් යවා පිටිසර ගමක් විනාශ කරනු මැනවි. එවිට ඒ ගම් පහරන මිනිසුන් ගෙන තමන් වෙත ගෙන ආ විට කසී රට රජු ඔවුන්ට ධනය දී නිදහස් කරන්නේය. කොසොල් රජු, මොහු ඉතා ශූර ලෙස කියයි. ඔහු විමසමි යි තමාගේ මිනිසුන් යවා පිටිසර ගමක් විනාශ කැර වීය. මේ වැසියෝ කොල්ලකරුවන් අල්ලා රජුට දැක්වූහ. රජ ඔවුන් දැක දරුවනි, කුමක් නිසා ගම විනාශ කරනු ද? දේවයිනි, ජීවත් වීමට මඟක් නැත. එ සේ න්ම මා ළඟට නො පැමිණියේ මන් ද? මෙතැන් පටන් එවැනි දේ නො කරනු යි පවසා ඔවුන්ට ධනය දී නිදහස් කළේය. ඔවුහු ගොස් කොසොල් රජුට මෙපුවත් සැලකළහ. රජ මෙපමණකින් නො සෑහී රට මැද දනව්වක් වැනසීය. ඒ මිනිසුන්ට ද රජ ධනය දී යැවීය. ඔහු මෙතෙකුනු නො සෑහී නැවත මිනිසුන් යවා මහා වීදිය කොල්ල කෑවේය. රජ ඔවුන්ට ද ධනය දී යැවීය. ඉක්බිති, කොසොල් රජ මොහු ඉතා දැහැමි රජෙකැ යි සිතා බරණැස් රාජ්‍යය ගනු පිණිස බල සෙනග රැගෙන ගියේය.
එකල බරණැස් රජුට මතැතකු ඉදිරියට එන කල්හි පවා ආපසු නො හැරෙන හිසෙහි හෙණ පිපිරුණ ද බිය නො වන, සීලව මහරජුගේ කැමැත්ත තිබේ නම් මුළු දඹදිව රාජ්‍යයන් නතු කැර ගැනීමට සමත් පරාජය කළ නො හැකි දක්ෂ දහසක් පමණ යුද සෙබළුන් වෙයි. ඔවුහු කොසොල් රජු එතැ යි අසා රජුන් වෙත එළැඹ දේවයිනි, කොසොල් රජ බරණැස් රාජ්‍යය ගන්නෙමි යි පැමිණෙයි. අපි යමු. අපගේ රාජ්‍යය සීමාව ආක්‍රමණය කළ විගස ඔවුන්ට පහරදී අල්ලා ගනිමු යි කීහ. දරුවනි, මා නිසා අනුන් වෙහෙසන බවක් නැත. රාජ්‍යය කැමැත්තෝ රාජ්‍යය ම ගනිත්වා. නො යවු යි වැළැක්වීය. කොසොල් රජ රාජ්‍ය සීමාව ඉක්මවා දනව් මැදට පිවිසියේය. ඇමැතියෝ නැවතත් රජු වෙත එළැඹ පෙර සේ ම කීහ. රජු පෙර පරිදි ම වැළැක්වීය. කොසොල් රජු පිට නගරයේ සිට රාජ්‍යය දෙනු නැතිනම් යුද්ධය යි සීලව මහරජුට හසුන් යැවීය. රජ ඒ අසා මා සමග යුද්ධයක් නැත. රාජ්‍යය ගනු, යනුවෙන් පිළිහසුන් යැවීය. නැවතත් ඇමතිවරු රජු වෙත එළැඹ දේවයිනි, අපි කොසොල් රජුට අප නුවරට පිවිසෙන්න ඉඩ නො දෙමු. පිට නුවර දී ම ඔවුන්ට පහර දී අල්ලා ගනිමු යි කීහ. රජු පෙර පරිදි ම වළකා සියලු නගර දොරටු හැරදමා ඇමැතීන් දහස සමග මහවාසලෙහි සිහසුන මත හුන්නේය.
කොසොල් රජු මහත් බල සෙනගින් යුතු බරණැස් නුවරට පිවිසියේය. එක ද සතුරකු නුදුටු ඔහු රජ මැදුරට ගොස් දොරවල් නො වැසූ නිවසනයෙහි සරසන ලද අසුනෙහි ඇමැතියන් පිරිවරා හුන් නිදොස් වූ සීලව මහරජුන් දහසක් ඇමැතියන් සමග අල්ලාගෙන තම සේනාවට මෙසේ අණ කළේය. යවු, මේ රජුත් ඇමැතියනුත් සමග පිටිතල දැඩිව බැඳ අමු සොහොනට ගෙන ගොස් ගෙල පමණ සිටින සේ වළ කැන යම් සේ එකකුවත් අතක් පවා එසවිය නො හැකි වේ ද එ සේ පස් දමා වළ දමනු. රාත්‍රියෙහි සිවල්ලු අවුත් මොවුන්ට කළ යුතු දෙය කරන්නාහ. මිනිස්සු රජුගේ අණ අසා රජුත් ඇමැතියන් සමග පිටතල බැඳ එක් කළහ. එකල්හි ද සීලව මහරජතුමා සතුරු රජුට වෛර මාත්‍රයක්වත් වෛර නො කළේය. ඇමැතියන් ද මෙසේ බැඳගෙන යන කල්හි එකකුවත් රජුගේ වචනය ඉක්මවීමට සමතකු නො වීය. සීලව රජුගේ පිරිස මනාව හික්මුණු අය වූහ. ඉක්බිති, රාජ පුරුෂයෝ සීලව රජු අමු සොහොනට ගෙන ගොස් ගෙල වටක් වළ කැන සීලව රජු මැද ද දෙපසෙහි සෙසු ඇමැතියන් ද සිටින සේ වළට බස්වා පස් දමා තද වන සේ කොටා ගියහ. සීලව රජ ඇමැතියන් අමතා දරුවනි, සතුරු රජු කෙරෙහි වෛර නො කොට මෙත් වඩව යි අවවාද කළේය.
ඉක්බිති, මැදියම් රැයෙහි මිනී මස් කන්නෙමි යි සිවල්ලු පැමිණියෝය. ඔවුන් දැක රජ ද ඇමැතියෝ ද එක්වර ම ශබ්ද කළහ. සිවල්ලු බිය වී පලා ගියහ. ඔවුහු නැවතී බලන්නාහු, පසු පසින් කිසිවකු නො එනු දැක නැවතත් පැමිණියහ. එවර ද පෙර සේ මහා ශබ්ද කළහ. මෙසේ තෙවරක් පලාගොස් නැවත බලන්නාහු, ඔවුන් එකකුවත් නො එන බව දැන මොවුන් වදයට පත් කළ වූහ. එය දැන නැවත ශබ්ද කළ ද පලා නො ගියහ. දෙටු සිවලා රජු වෙත ළඟා වූහ. සෙස්සෝ සෙස්සන් වෙත ළඟා වූහ. උපාය දක්ෂ රජතුමා ඔහු ළඟට පැමිණි බව දැන ඩැහැ ගැනීමට ඉඩ දෙන්නාක් මෙන් ගෙල ඔසවා ගෙල ඩැහැගන්නා සමග ම හකු ඇටයෙන් ඇද යන්ත්‍රයක බහන්නාක් මෙන් ගත්තේය. ඇතකුගේ බලයෙන් රජ විසින් හකු ඇටයෙන් ඇද ගෙලෙන් දැඩිව අල්ලාගත් සිවලා තමා මිදීමට නො හැක්කේ මරණ බියෙන් මහ හඬින් කෑගැසීය. සෙසු සිවල්ලු ඔහුගේ මර හඬ අසා එක් පුරුෂයකු විසින් ගන්නා ලද්දේයැ යි ඇමැතින් වෙත ළං විය නො හැකිව මරණ බයෙන් තැතිගෙන පලා ගියහ. රජතුමාගේ හකු ඇටයෙන් තදකොට ගත් සිවලා ඒ මේ අතට දඟලන විට පස් බුරුල් විය. ඒ හිවලා ද මරණ බියෙන් බියපත් ව රජුගේ ඉහළ කොටස පා සතරින් කනින්නේ පස් ඉවත්විය. පස බුරුල් වූ බව දැනගත් පසු රජතුමා හිවලා අතහැර තමාගේ ඇත් බල ඇති ශක්ති සම්පන්න අත ඒ මේ හරවමින් දෙ අත් ඔසවා වළෙහි මුවවිටෙහි එළැඹී සුළඟින් දෙකඩ වූ වලාකුළක් මෙන් පිටතට අවුත් ඇමැතියන් අස්වසා පස් මෑත්කොට සියල්ලන් ගොඩගෙන ඇමැතියන් පිරිවරා අමු සොහොනෙහි සිටියේය.