සන්තිකෙනිදානකථා
සන්තිකෙ නිදාන - ළඟ හේතුව වනාහි, භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුගේ වෙහෙරෙහි වාසය කරන සේක. භාග්‍යවතුන් වහන්සේ විශාලා මහා නුවර කූටාගාර ශාලාවෙහි වාසය කරන සේක. මෙසේ ඒ ඒ තැන්වල බුදුන් වහන්සේ වාසය කරන කල්හි ඒ ඒ තැන් සන්තිකේ නිදානය යි කියන ලදි. එසේ කියන ලද නමුත් එය ද මුල පටන් මෙසේ දත යුතුය. බෝ මැඬ දී උදාන වාක්‍යය පහළ කොට වැඩසිටි බුදුන් වහන්සේට මෙබදු අදහසක් පහළ විය. මම මේ බෝමැඩ පළඟ සඳහා සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් සසර ගමන් කළෙමි. ඒ කාලය තුළ මම මේ පළඟ සඳහා අලංකාර කළ හිස බොටුවෙන් සිඳ දුනිමි. අඳුනෙන් සැරසූ ඇස් සහ හෘදය මාංශ උපුටා දුනිමි. ජාලිය කුමරු වැනි පුතුන් කණ්හාජිනා කුමරිය වැනි දියණියන් මද්‍රී දේවි වැනි බිරියන් අනුන්ගේ බැල මෙහෙ සඳහා දුනිමි. මේ පළඟ මගේ නො පැරදුනු පළඟයි. බුදු බව ලබාගත් උතුම් පළඟයි. මෙහි වැඩහුන් මගේ සියලු ප්‍රාර්ථනා සඵල විය. තවදුරටත් මෙයින් නො නැගිටිමි යි නොයෙක් කෙළ සිය ගණන් සමවත් සම වදිමින් සත් දිනක් එහි ම වැඩහුන්හ. ඒ සඳහා මෙසේ කියන ලදි. “ඉක්බිති, භාග්‍යවතුන් වහන්සේ එම පළඟෙහි ම නිවන් සුව විඳිමින් වැඩහුන් සේක.”
ඉක්බිති, සමහර දෙවියන්ට බෝසතුන්ට තවමත් බුදු බව සඳහා කළයුතු දේ ඇත. එම නිසා පළඟෙහි ආශාව අත්නොහරිතැ යි සැකයක් ඇති විය. බුදුන් වහන්සේ ඔවුන්ගේ සිතුවිල්ල දැන ඔවුන්ගේ සැකය දුරු කරනු පිණිස අහසට නැඟී යමා මහපෙළහර දැක්වූ සේක. බෝමැඩ දී මේ කළ පෙළහර ද ඤාතීන් හමුවෙහි කළ පෙළහර ද පාටිකපුත්ත සමාගමයෙහි දැක්වූ පෙළහර ද මේ සියල්ල ගණ්ඩම්බ රුක් මුල දී පෑ යමා මහපෙළහර හා සමාන විය.
බුදුන් වහන්සේ මේ පෙළහරින් දෙවියන්ගේ සැක දුරු කොට බෝමැඩින් මඳක් පෙරදිගට නැඹුරු ව උතුරු දිශාවෙහි සි මේ රුක් මුල අසුනෙහි සිට මම සව්නේ නුවණ ලැබුවෙමි. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පිරූ පාරමී ඵල ලැබීමට ස්ථානය වියැ යි නො පියූ ඇසින් බෝරුක බලමින් සතියක් වැඩ සිටියහ. ඒ ස්ථානය අනිමිස චේතිය නම් විය. අනතුරු ව බෝධි වෘක්‍ෂයත් බුදුන් වැඩසිටි ස්ථානයටත් අතර පූර්ව දිශාවෙහි සිට පශ්චිම දිශාවට දික්වූ රුවන් සක්මන මවා එහි සක්මන් කැරෙමින් සතියක් ඉක්මවූහ. ඒ ස්ථානය රතනචංකම චේතිය නම් විය.
සතර වැනි සතියෙහි බෝමැඬින් ඊසාන දිසාවෙහි රුවන් ගෙයක් මැවූහ. එහි පළඟින් වැඩ සිට අභිධර්ම පිටකය විශේෂයෙන් අනනතනය සමන්තපට්ඨානය මෙනෙහි කරමින් සතියක් කල් ගෙවූහ. අභිධම්මිකයෝ මෙසේ කීහ. “රතනඝර නම් රනින් කළ ගෙයක් නො වේ. සත්ත ප්‍රකරණයන් මෙනෙහි කළ ස්ථානය නිසා රතනඝර නම් විය.” මේ දෙයාකාරය ම සුදුසුය. එම නිසා දෙවිදිය ම ගත යුතුයි. මෙම ස්ථානය එතැන් පටන් රතනඝර චේතිය නම් විය. මෙසේ බුදුන් වහන්සේ බෝමළුව සමීපයෙහි ම සති හතරක් කල් යවා පස් වැනි සතියෙහි බෝමැඬ සිට අජපල් නුග රුක වෙත වැඩ එහි දී ද ධර්මය මෙනෙහි කරමින් නිවන් සුව විඳිමින් වැඩ සිටියහ.
එසමයෙහි මාර දෙවි පුත් මෙතෙක් කල් මොහුගේ සිදුරු සොයමින් ලුහු බැන්දේ වී නමුත් මොහුගේ කිසි දෝෂයක් නො දුටිමි. මොහු මගේ බලය ඉක්මවූයේයැ යි නො සතුටු ව මහමග හිඳ කරුණු සොළසක් මුල් කොට බිම රේඛා සොළසක් ඇන්දේය. මම මොහු මෙන් දාන පාරමිතාව නො පිරුවෙමි. එම නිසා මම මොහු සමාන කෙනෙක් නො වීමි යි පළමු වැනි රේඛාව ඇන්දේය. මම මොහු මෙන් ශීල පාරමිතාව, පඤ්ඤා, විරිය, ඛන්ති, සච්ච, අධිෂ්ඨාන, මෙත්තා, උපේක්ෂා යන පාරමිතා නො පිරුවෙමි. එම නිසා මම ඔහු සමාන නො වීමි. එසේ ම මම මොහු මෙන් අන්‍යයන්ට පොදු නො වූ ඉන්ද්‍රියපරෝපරියත්ත ඤාණය, ආසයානුසය ඤාණය, මහා කරුණා සමාපත්ති ඤාණය, යමක ප්‍රාතිහාර්ය ඤාණය, අනාවරණ ඤාණය, සබ්බඤ්ඤුත ඤාණය ලැබීමට දශ පාරමිතාවන් නො පිරීමි. එම නිසා මම ඔහු හා සමාන නො වීමි යි, පිළිවෙලින් සොළොස් රේඛාව ද අඳිමින් හුන්නේය.