අවිදූරෙනිදානකථා
බෝසතුන් තුසිද දෙව්ලොව වසන කල්හි බුදුන් වහන්සේ පහළ වීම පිළිබඳ ආන්දෝලනය ඇති විය. ලෝකයෙහි ආන්දෝලන තුනකි. කල්පය විනාශ වීමේදී ඇතිවන ආන්දෝලනය, බුදුන් වහන්සේ නමක් පහළ වීමේදී ඇතිවන ආන්දෝලනය, සක්විති රජ කෙනකු පහළ වීමේදී ඇතිවන ආන්දෝලනය වශයෙනි. ලෝක විනාශයට වසර ලක්ෂයක් තිබිය දී ලෝකබ්යුහ නම් කාමාවචර දෙවියෝ හිස කෙස් විසුරුවා හැඬූ මුහුණින් යුතුව අතින් කඳුළු පිසමින් රතු වස්ත්ර හැඳ ඉතා අප්රියජනක වෙස් දරමින් මිනිසුන් අතර හැසිරෙමින් මෙසේ දන්වත්. නිදුකාවරුනි, මෙයින් වසර ලක්ෂයක් ඇවෑමෙන් ලෝක විනාශය වන්නේය. මහමුහුද සිඳී යන්නේය. මේ පොළොව හා මහාමේරු පර්වත රාජයා දැවී විනාශ වන්නේය. නිදුකාවරුනි, මෛත්රිය වඩව්. පීඩිතයන් කෙරෙහි දයාව දක්වව්. සුඛිතයන් කෙරෙහි සතුටු වව්. ලෝක ධර්මයෙහි මැදහත් වව්. නිදුකාවරුනි. මව්පියන්ට උවටැන් කරව්. කුල දෙටුවන්ට ගරු කරව්. මේ ලෝක විනාශයේ ආන්දෝලනයයි. බුදුන් වහන්සේ ලොව පහළ වීමට වසර ලක්ෂයක් තිබියදී ලෝක පාලක දෙවිවරු, නිදුකාවරුනි, මෙයින් ලක්ෂයක් අවුරුදු ගත වූ පසු බුදුන් වහන්සේ ලොව පහළ වන්නේයැ යි ඝෝෂාන කැරෙමින් ලොව ඇවිදිත්. මේ බුද්ධ ආන්දෝලනයයි. සක්විති රජ ලොව පහළ වීමට සියවසක් තිබියදී දෙවියෝ, ජනයිනි, මෙයින් සියවසක් ගිය පසු සක්විති රජෙක් පහළ වන්නේයැ යි ඝෝෂා කැරෙමින් ඇවිදිත්. මේ සක්විති ඝෝෂණයයි. මේ ත්රිවිධ ඝෝෂණ ඉතා මහත් වෙයි.
මෙයින් බුද්ධ ඝෝෂණය ඇසූ දෙවියෝ එක්රැස් ව අසවල් සත්ත්වයා බුදු වන්නේයැ යි නියම වශයෙන් දැන ඔහු වෙත එළැඹ ආයාචනා කරත්. එසේ කරන්නේ ද පෙර නිමිති පහළ වූ පසුය. එක එක සක්වලට අයත් චතුර්මහාරාජ, සක්ක, සුයාම, සන්තුසිත, පරනිර්මිත වසවර්ති වැසි දෙවියෝ මහා බ්රහ්මයන් සමග එක් සක්වලකට රැස්වී තුසිත භවනයෙහි වෙසෙන බෝසතුන් වෙත ගොස් නිදුකාණෙනි, ඔබ විසින් දස පෙරුම් දම් පුරන ලද්දේ, ශක්ර සම්පත්, මාර, බ්රහ්ම, සක්විති සම්පත් ආදිය සඳහා නො වේ. හුදෙක් ලෝකයා සසරින් එතැර කිරීමට බුද්ධත්වය පතමින් පුරන ලද්දේය. නිදුකාණෙනි, දැන් ඔබට බුදු බව සඳහා කාලය යි අයැද සිටියහ.
ඉක්බිති, බෝසතාණෝ දෙවියන්ට ප්රතිඥා නො දී කාලය, දීපය, දේශය, කුලය, මව, ආයු කාලය යන පස් මහ බැලුම් බැලූහ. එහි දී පළමු කොට කාලය බැලූහ. මනුෂ්යය ආයුෂ ලක්ෂයකට වඩා වැඩි කාලය සුදුසු කාලය නො වේ. එකල්හි මිනිසුන්ට ඉපදීම, මහලු වීම, මරණය පිළිබඳ නො පෙනේ. බුදුවරුන්ගේ ධර්ම දේශනා අනිච්ච ආදී ත්රිලකුණෙන් නො මිදුනේ වෙයි. ඔවුහු ත්රිලකුණු නො හඳුනත්. එම නිසා තථාගත ධර්මය සැදැහැවෙන් ඇසිය යුතු දහමක් ලෙස නො සිතත්. එය ධර්මාවබෝධය පිණිස නො වේ. එම නිසා මේ සුදුසු කාලය නො වේ. වසර සියයට අඩු කාලය ද සුදුසු කාලය නො වේ. මක් නිසා ද යත්, එකල මිනිසුන්ට කෙළෙස් උත්සන්න වේ. කෙළෙස් උත්සන්න සත්ත්වයින්ට දෙන අවවාද සුදුසු දේ නො පිහිටයි. දියෙහි දඬුයෙන් ඇඳි ඉරක් මෙන් වහා අමතක වේ. එහෙයින් සිය වසින් අඩු කාලය ද සුදුසු කාලය නො වේ. මේ නිසා වසර ලක්ෂයට අඩු කාලයක් වසර සියයට වැඩි කාලයක් සුදුසු ආයු කාලය වේ. බෝසතුන් මෙලොව පහළ විය යුතු කාලය සියවස් ආයු කාලය බව දැනගත්හ.
අනතුරු ව දීපය බලන බෝසතාණෝ පිරිවර දීප සහිත සතර මහාද්වීප බලා මහාද්වීප තුනෙක බුදුවරු නො උපදිති යි දැන ජම්බුද්වීපයෙහි ම උපදිය යුතුයැ යි දීපය දුටහ.
දඹදිව වනාහි යොදුන් දශ දහසක් පමණය. කවර නම් පෙදෙසක සම්බුදුවරු උපදිත්දැ යි ප්රදේශය බලන්නාහු. දඹදිව මධ්යම ප්රදේශය දුටහ. මධ්යම ප්රදේශය නම් පෙර දිගින් කජංගල නම් නියම් ගම විය. ඉන් ඔබ්බෙහි මහාසාල නම් විය. එතැන් පටන් ප්රත්යන්ත ජනපද හෙවත් පිටිසර ප්රදේශයි. එයින් මෑත මධ්යම ප්රදේශයයි. පුබ්බදක්ඛි දිශාවෙන් හෙවත් ගිනිකොණින් සළලවතී නම් ගඟ වෙයි. එතැන් සිට ප්රත්යන්තර ජනපදයි. ඉන් මෑත මධ්යම ප්රදේශයයි. දකුණු දිශාවෙහි සේතකණ්ණික නම් නියම්ගම වෙයි. එතැන් සිට ප්රත්යන්ත ජනපදයි. ඉන් මෑත මධ්යම ප්රදේශයයි. බටහිර දිසාවෙන් ථූන නම් බ්රාහ්මණ ගමයි. එතැන් සිට ප්රත්යන්ත ජනපදයයි. ඉන් මෑත මධ්යම ප්රදේශයයි. උතුරු දිශාවෙන් උසීරද්ධජ නම් පර්වතය වේ. එතැන් පටන් ප්රත්යන්ත ජනපදයයි. ඉන් මෑත මධ්යම ප්රදේශයයි. මේ විනයෙහි කියන ලද මධ්යම ප්රදේශයයි. එම ප්රදේශය දිගින් යොදුන් තුන්සියයකි. පළලින් දෙසිය පනස් යොදුනකි. වට ප්රමාණයෙන් නවසිය යොදුනකි. මේ දේශයෙහි බුදු, පසේබුදු, අගසව්, මහසව්, අසූමහසවු සහ සක්විති රජවරු ද අනෙක් මහේශාක්ය රජ, බමුණු, ගැහැවි ආදී ප්රභූ ජනයෝ ද උපදිත්. දැන් එහි කපිලවත්ථු නම් නුවරක් ඇත. මා එහි ඉපදිය යුතුයැ යි බෝසතාණෝ තීරණය කළහ.