දූරෙනිදාන කථා
එහි දූරේ නිදාන - ඈ හේතුව නම් සාරාසංඛ්ය කල්ප ලක්ෂයක් මතුයෙහි අමරවතී නම් නගරයක් විය. එහි සුමේධ නම් බමුණෙක් වාසය කළේය. ඔහු මව්පිය දෙපසින් ම කුලවන්ය. පිරිසිදු මව් කුස ඇත්තේය. සත් කුල පරපුර දක්වා ම කුලය නිසා නින්දා නො ලද්දේය. පැහැපත්ය. දැකුම්කළුය. රූපත්ය. පැහැපත් ඡවි වර්ණයෙන් යුක්තය. ඔහු අන් ශිල්පාදියක් නො ඉගෙන බමුණු දහම ම උගත්තේය. සුමේධ ළදරු වියේ සිටියදී ම මව්පියෝ මිය ගියහ. ඔහුගේ භාණ්ඩාගාරික ඇමැති, ලේකම් පොත ගෙනවුත් කුමරුනි, මෙපමණ මව්ට අයත් ධනය ය. මෙපමණ පියා සතු ධනය ය. මෙපමණ මුතුන් මීමුතුන් සතු ධනය ය. මේ මහත් ධනය පරිභෝග කරනු මැනවි යි කීය. සුමේධ පණ්ඩිතයෝ මෙසේ සිතී. මේ සා මහත් ධනය රැස් කළ මගේ මව්පිය මීමුත්තෝ පරලොව යන්නාහු, කහවණුත් පමණකුදු රැගෙන නො ගියාහුය. මා ඒ ධනය ගෙනයා හැකි ක්රමයක් කළ යුතුය යි රජුන් දැනුවත් කොට නුවර බෙර හසුරුවා මහජනයාට ධනය දන් දී තවුස් පැවිද්දෙන් පැවිදි විය. මේ සිද්ධිය වඩාත් පැහැදිලි කිරීම සඳහා මෙහි දී සුමේධ කථා පුවත කිව යුතුය. මේ කථා පුවත බුද්ධ වංසයෙහි සවිස්තර ව කීව ද ගාථාවලින් පමණක් කී නිසා මනාව ප්රකට නො වේ. එම නිසා අපි එපුවත අතරතුර ගාථා දක්වමින් කියමු.
සුමෙධ කථා
සාරාසංඛ්යය කල්ප ලක්ෂයක් මතුයෙහි දශාකාර ශබ්දයෙන් තොර නො වූ අමරවතී නමින් ද අමර නමින් ද වූ නගරයක් විය. ඒ සඳහා බුද්ධ වංසයෙහි කියන ලදි.
“සාරාසංඛ්ය කල්ප ලක්ෂයක් මතුයෙහි සිත්කළු, දැකුම්කළු, දශවිධ ශබ්දයෙන් තොර නො වූ, ආහාර පාන සුලභ වූ අමර නම් නගරයක් විය.”
එහි දශවිධ ශබ්දයෙන් තොර නො වූ යනු ඇත්, අස්, රිය, බෙර, මිහිඟු බෙර, වීණා ශබ්දය, ගීත ශබ්ද, හක් නාදය, තාලම් ශබ්දය හා කනු, බොනු, අනුභව කරනු යන මේ දශවිධ ශබ්දයෙන් තොර නො වීය. මේ ශබ්දයන්ගෙන් එක් කොටසක් පමණක් ගෙන බුද්ධ වංසයෙහි,
“ඇත් හඬ, අස් හඬ, බෙර හඬ, සක් හඬ, රථ හඬ හා කනු බොනු යි ආහාරපානයෙන් ඝෝෂිත වූයේය.”
බුද්ධ වංසයෙහි මේ ගාථා කියා,
ඒ නගරය සියලු නගරාංගයෙන් යුක්තය. සියලු කැමැති දෙයින් පිරුනේය. සත් රුවනින් යුක්ත විය. නොයෙක් දෙයින් ගැවසුණි. දෙව් නුවරක් මෙන් පොහොසත් විය. පින් කළවුන්ට වාස භවනයක් විය.
ඒ අමරවතී නගරයෙහි නොයෙක් කෙළ ගණන් තැන්පත් ධනය ඇති, බොහෝ ධනය හා ධාන්යය ඇති සුමේධ නම් බමුණෙක් විය.
එහෙයින් බුද්ධ වංසයෙහි කියන ලදි.
“ධ්යාන වඩන්නකු විය. හේ වේද මන්ත්ර ධරන්නෙකි. ත්රිවේදයෙහි පරතෙරට ගියේය. ග්රන්ථ දසදහසකින් යුත් ලක්ෂණ ශාස්ත්රයෙහි ද පුරාවෘත පිළිබඳ ඉතිහාසයෙහි ද සියලු බමුණු දහමෙහි ද පරතෙරට ගියේය.”
එක් දිනක් ඒ සුමේධ පණ්ඩිත තෙම උතුම් මතුමහළෙහි රහසිගත ව පලක් බැඳ හිඳ මෙසේ සිතීය. නැවත භවයක පිළිසිඳ ගැනීම නම් දුකකි. ඉපදුණු භවයන්හි මරණය ද දුකකි. මම ද ඉපදීම ස්වභාව කොට ඇත්තෙමි. මහළු වීම ස්වභාව කොට ඇත්තේ වෙමි. රෝග ස්වභාව කොට ඇත්තේ වෙමි. මරණය ස්වභාව කොට ඇත්තේ වෙමි. එබඳු වූ මවිසින් ඉපදීමක් නැති, මහළු වීමක් නැති, ලෙඩ වීමක් නැති, සැපදුක දෙකින් තොර වූ, සිසිල් වූ අමාමහ නිවන සෙවිය යුතුය. ඒකාන්තයෙන් සසරින් මිදී නිවනට පමුණුවන ඒකායන මාර්ගයක් විය යුතුය. එහෙයින් බුද්ධ වංසයෙහි කියන ලදි.
“එදා මම විවේකීව මෙසේ සිතීමි. පුනර්භවය දුකකි. එසේ ම මරණය ද දුකකි.
මම ද නැවත ඉපදීම, මහළු වීම, ලෙඩ වීම ස්වභාව කොට ඇත්තෙමි. එම නිසා නො දිරන, නො මැරෙන, බිය නැති නිවන සොයන්නෙමි.
නොයෙක් කුණු කසලින් පිරුණු මේ අසුබ ශරීරය පිළිබඳ ආසා බලාපොරොත්තු අත්හැර යන්නෙහි නම් මැනවි.
ඒ ඒකායන නිවන් මඟ ඇත. ඒ නිවන් මඟ මම සොයමි.”
සුමේධ පණ්ඩිතයෝ වඩ වඩාත් ගැඹුරින් මෙසේ සිතූහ. ලොවෙහි දුකට ප්රතිපක්ෂ වූ සැප නම් සංකල්පයක් ඇත. එසේ ම භවය ඇති කල්හි විභවයක් - නිවනක් තිබිය යුතුය. උණුසුම ඇති කල්හි ප්රතිපක්ෂ සීතල ද පවතී. එසේම රාගාදී ගිනි ඇති කල්හි සංසිඳවන නිවන ද විය යුතුය. ලෝකයෙහි පවිටු ලාමක ධර්මයන්ට විරුද්ධ වූ යහපත හා නිවරද ඇත්තේය. එමෙන් පවිටු පුනර්භවය ඇති කල්හි ඊට ප්රතිපක්ෂ වූ උපතක් නැති නිර්වාණය විය යුතුය.
එහෙයින් බුද්ධ වංසයෙහි කියන ලදි.
“යම් සේ දුක ඇති කල්හි ඊට ප්රතිපක්ෂ සැපය ද වේ. සසර ඇති කල්හි නිවන ද කැමැති විය යුතුය.
යම් සේ උණුසුම ඇති කල්හි ඊට විරුද්ධ වූ සීතල ද පවතී. එමෙන් ත්රිවිධ අග්නි ඇති කල්හි නිවන ද කැමැති විය යුතුය.
යම් සේ පාපය ඇති කල්හි කුසලය ද ඇත. එමෙන් ඉපදීම ඇත්තේ නම්, එහි පැවැත්ම ද නිවන ද කැමැති විය යුතුයි.”
සුමේධ පණ්ඩිතයෝ තව තවත් සිතූහ. යම් සේ අසූචියෙහි ගොඩක ගිලුණු මිනිසා පස්වන් පියුමෙන් ගැවැසුණු මහා විලක් දුර තිබෙනු දැක කවර මඟකින් එහි යා යුතුදැ යි, ඒ මහා විල සෙවිය යුතුය. ඔහු නො සොයන්නේ නම් මහා විලෙහි දොසක් නො වේ. ඔහුගේ ම දෝෂය යි. එමෙන් කෙළෙස් මළ සෝදා හරින අමා මහ නිවන නම් මහා විල පවතිද්දීත් ඒ මඟ නො සොයා නම්, ඒ අමා මහනිවන් විලේ දෝෂයක් නොව, මිනිසාගේ ම දෝෂයයි. තව ද සොරුන් විසින් වට කැරගත් මිනිසකුට පැන යා හැකි මඟක් තිබියදීත් පැන නො යන්නේ නම්, ඒ මඟෙහි දොසක් නොව, මිනිසාගේ ම දෝෂයකි. එමෙන් කෙළෙසින් පිරිවැරුණු මිනිසා ශාන්ත නිවන් මඟ ඇති කල්හිත් එය නො සෙවීම මඟෙහි දෝෂයක් නොව, මිනිසාගේ ම දෝෂයකි. යම් සේ රෝගයකින් පෙළෙන මිනිසා රෝගයට පිළියම් කළ හැකි වෙදකු සිටියදී ඔහු ළඟට ගොස් රෝගයට ප්රතිකාර කැරවා නො ගැනීම, වෛද්යවරයාගේ වරද නොවේ. එමෙන් කෙළෙස්වලින් පෙළෙන මිනිසා කෙලෙස් සංසිඳවීමේ මඟ දන්නා අයකු සිටින කල්හි ඒ ගුරුවරයා නො සෙවීම, ඔහුගේ ම දෝෂයයි. එහෙයින් කියන ලදි.