6. තෘෂ්ණොත්පාද සූත්‍ර වර්ණනාව
හයවන සූත්‍රයෙහි තණ්හුප්පාදා යන මෙහි මේවා කෙරෙහි උපදී යන අරුතින් උප්පාදා නමි. කුමක් උපදී ද? තණ්හාවයි. තණ්හාවේ ඉපදීම තණ්හුප්පාදා නම් වේ. තණ්හාවට වස්තු තණ්හාවට කරුණු යන අර්ථයි. යත්ථ යනු යමක් නිමිතිකොට. උපපජ්ජමානා යනු උපදින ස්වභාවය. චීවරහෙතු යන මෙහි මනාප වූ චීවරයක් ලබන්නෙමියි චීවර කාරණයෙන් (හේතුවෙන්) උපදී. සෙසු පදයන්හිද මේ ක්‍රමයමයි. ඉති භවාභවහෙතු යන මෙහි වනාහි ‘ඉති’ යනු නිදර්ශන අර්ථයෙහි නිපාතයකි. චීවරාදි හේතු යම්සේ ද එසේ යන අර්ථයි. මෙය කරණකොට නිරෝගී බව වෙයි යන කරුණු ඉදිරිපත් කොට ප්‍රණීත ගිතෙල් වෙඬරු ආදිය අදහස් කරන ලදී. සම්පත්ති භවයන්හි ප්‍රණීත වඩා ප්‍රණීත දෙය භවාභව යයි කියති. නැතහොත් ‘භවො’ යනු සම්පත්තියයි. ‘අභවො’ යනු විපත්තියයි. ‘භවො’ යනු වර්ධනයයි. ‘අභවො’ යනු හානියයි. ඒ නිමිති කොටගෙනත් තණ්හාව උපදියි යන අරුතින් ‘භවාභව හේතු වා’යි කියන ලදී.
ගාථා - මුලින් කියන ලද අර්ථමය. එහෙත් තණ්හාදුතියො යනු තණ්හා සහායකයාය. මේ සත්ත්වයා මුලක් නොපෙනෙන සංසාරයෙහි සැරිසරන්නේ තනිවම සැරිසැරීමක් නොකරයි. තණ්හාව වනාහි දෙවැන්නියකොට සහායිකාව කොට ලැබගෙනම සැරිසරයි. එය එසේමය. බෑවුමකට වැටීම ගැන නොසිතා මීපැණි ගන්නා වූ වැද්දකු මෙන් නොයෙක් දොස් ඇති කුලයන්හි භවයන්හි අනුසස්ම දක්වන්නී ඈ අයහපත නමැති දැලෙහි සැරිසරවයි. එතමාදීනවං ඤත්වා යනු අතීත අනාගත වර්තමාන ස්කන්ධයන්හි මේ ආත්මය හා මතු ලබන ආත්මයදැයි යන නම් ලත් මේ ආදීනවය දැන. තණ්හා දුක්ඛස්ස සම්භවං යනු මේ තණ්හාව සංසාර දුකෙහි හටගැනීම, ප්රභවය, කාරණයයි දැන. මෙපමණකින් එක් භික්ෂුවකගේ විදසුන් වඩා රහත්බවට පත්වීම දක්වන ලදී. දැන් ඒ ක්ෂීණාශ්රවයන් වහන්සේට ස්තුති කරමින් ‘වීතතණ්හො’ යනාදිය වදාළහ. මෙහි යමක් නො කියන ලද ද එය මුලින් කියන ලද අයුරින්මය.
සයවන සූත්‍රයයි.
7. සබ්‍රහ්මක සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයෙහි සබ්රහ්මකානි යනු ශ්‍රේෂ්ඨයන් සහිත. යෙසං යනු යම් යම් කුලයන්ට (පවුලට) අයත් වූ පුත්තානං යනු පුතුන් විසින්, පූජිතා යන ක්‍රියා ශබ්ද යෝගය ඇති හෙයින් මෙය කරණ විභක්ති අර්ථයෙහි සාමි වචනයයි හෙවත් ඡට්ඨි විභක්ති වචනයයි. අජ්ඣාගාරෙ යනු තමන්ගේ නිවසෙහි. පූජිතා හොන්ති යනු නිවසෙහි සිටින තැනැත්තා විසින් (මව්පියෝ) පෝෂණය කරන ලද්දාහු මෙන් මනාප වූ කය වචන දෙකින් (මව්පියන් වෙත) එළඹ සිටියේ වෙයි. මෙසේ මව්පියන් පුදන කුල බඹුන් සහිත යයි ප්‍රශංසා කොට මත්තෙහිත් ඒ පවුල්වලට ප්‍රශංසා කළයුතු බව දක්වමින් ‘සපුබ්බදෙවතානි’ යනාදිය වදාළහ.
එහි ‘බ්රහ්මා’ යනාදිය ඒ පවුල්වල බ්‍රහ්ම ආදී ස්වභාවය සිදුකිරීම පිණිස කියන ලදී. මේ එහි අර්ථ පැහැදිලි කිරිමයි. බ්‍රහ්ම යනු ශ්‍රේෂ්ඨ වචනයකි. මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන භාවනාවෝ සතර බ්‍රහ්මයා විසින් යම්සේ දුරු නොකරන ලද්දාහු වේ ද මෙසේ මව්පියන් විසින් පුතුන් කෙරෙහි භාවනාවෝ සතර දුරු නොකරන ලද්දාහු වෙති. ඒවා ඒ ඒ කාලයෙහි දතයුතුය. දරුවා කුසෙහි සිටින කල්හි කවදා නම් නිරෝගී පිරිපුන් අඟපසඟ ඇති පුතෙකු දකින්නෙමුදැයි කියා මව්පියන්ට මෛත්‍රී සිත උපදී. ළදරුවා උඩුකුරුව නිදනවිට උකුණන් විසින් හෝ මකුණන් විසින් හෝ දෂ්ට කරන ලදුව හෝ දුකසේ නිදන නිසා හෝ පීඩාවට පත්වූයේ හඬයි ද කෑගසයිද එවිට දරුවන්ගේ හඬ අසා මව්පියන්ට කරුණාව උපදී. ඒ මේ අත දුවමින් සෙල්ලම් කරන කාලයෙහි ඇලුම් කළයුතු වයසෙහි හෝ සිටින කල්හි දරුවා දැක මව්පියන්ගේ සිත ගිතෙලෙහි දැමූ සියක්වර පිරිසිදු කළ කපු පුළුන් රොදක් මෙන් මොළොක් වේද සතුටු වේද ප්‍රමුදිත වේද එවිට දෙමව්පියන්ට මුදිතාව ලැබේ. යම්කලෙක ඔවුන්ගේ පුත්‍රයා බිරිඳක් කැඳවාගෙන වුත් වෙන් වූ ගෙයක වාසය කරයි ද එකල්හි දැන් අපගේ පුතුට තමාගේ ස්වභාවයෙන් ජීවත්වන්නට හැකියයි මව්පියන්ට (ඔවුන් කෙරෙහි) මැදහත් බව උපදී. මෙසේ එකල උපේක්ෂාව ලැබේ. මෙසේ මව්පියන්ට පුතුන් කෙරෙහි සුදුසු කාලයෙහි සතරාකාර බ්‍රහ්ම විහාරය ලැබීම් වශයෙන් බ්‍රහ්මයාට සමාන පැවතුම් ඇති බැවින් ‘බ්‍රහ්මාති භික්ඛවෙ මාතාපිතුන්නං එතං අධිවචනං’ ‘මහණෙනි, බ්‍රහ්ම යන මෙය මව්පියන්ට යෙදෙන නමකි යනුවෙන් කියන ලදී.
පුබ්බදෙවා යන මෙහි දෙවියෝ නම් සම්මුති දේව, උප්පත්ති දේව, විසුද්ධි දේව යනුවෙන් තුන්ආකාර වෙති. ඔවුන් අතුරින් සම්මුති දේව නම් ක්ෂත්රිය රජවරුය. ඔවුහු දෙවියාය දේවිය යයි ලෝකයෙහි ව්‍යවහාර කරනු ලැබෙත්. දෙවියන් මෙන් ලෝකයාට නිග්‍රහ කිරීමට අනුග්‍රහ කිරීමට සමත් වූවෝම වෙත්. චාතුර්මහා රාජිකයේ පටන් භවාග්‍රය තෙක් උපන් සත්ත්වයෝ උත්පත්ති දේව නම් වෙති. සියලු කෙලෙසුන් කෙරෙන් විශුද්ධ වූ හෙයින් රහතන් වහන්සේලා විශුද්ධි දේව නම් වෙති. මේ එහි වචනාර්ථයයි. ‘දිබ්බන්ති කීළන්ති ලළන්ති ජොතන්ති පටිපක්ඛං ජයන්තිචාති දෙවා.’ ක්‍රීඩා කරත්, බබළත්, විරුද්ධ පක්ෂය පරාජයකොට ජයගනිත් යන අරුතින් දේව නම් වේ. ඔවුන් අතරින් විසුද්ධි දෙවියෝ සියල්ලන්ට වඩා ශ්‍රේෂ්ඨය. උන්වහන්සේලා අනුවණ ජනතාව විසින් කරන ලද අපරාධය ගණනකට නොගෙන ඒකාන්තයෙන්ම ඔවුන්ගේ අයහපත නැතිවීමත් යහපත ඇතිවීමත් කැමති වූවාහුම කියන ලද පරිදි බ්‍රහ්ම විහාරයෙහි යෙදීමෙන් අර්ථය පිණිස, හිත පිණිස, සැප පිණිස යම්සේ පිළිපදිත් ද දන්දීමට සුදුසු බැවින් උන්වහන්සේලා වෙත ඒ දන් දෙන්නවුන්ට මහත්ඵල මහානිසංස ගෙන දෙත් ද එසේම මව්පියෝ ද පුතුන්ගේ අපරාධය ගණන් නොගෙන ඒකාන්තයෙන්ම ඔවුන්ගේ අයහපත නැතිවීමත් යහපත ඇතිවීමත් කැමති වූවාහුම කියන ලද ආකාරයෙන්ම සතරාකාර බ්‍රහ්ම විහාරය ලැබීම් වශයෙන් අර්ථය පිණිස, හිත පිණිස, සැප පිණිස පිළිපදින්නාහු පරම දක්ෂිණාර්භයන් (දන්දීමට වඩාත්ම සුදුස්සන්) වී තමන් වෙත උපකාර කරන ලද හා කරන්නන්ට මහත්ඵල බව ද මහානිසංස බව ද ගෙන එත්. සියලු දෙවියන්ට වඩා පළමුකොට දරුවන්ට උපකාරවත් බැවින් දෙමාපියෝ පළමුකොටම දෙවියෝ වෙත්. පූර්ව දේ වූ දෙමව්පියන් නිසා දරුවෝ පළමුව අනිත් දෙවිවරුන් දෙවිවරුන් ලෙස දැනගනිති. (ඒ දෙවිවරුන්ගේ) සිත් ගනිති. ඇසුරු කරති. සිත්ගන්නා විධිය දැන එසේ පිළිපදින්නාහු ඒ ප්‍රතිපත්තියෙන් ඵලය අවබෝධ කරති. එහෙයින් ඔවුහු පසු දෙවිවරු නම් වෙති. එහෙයින් ‘පුබ්බදෙවාති භික්ඛවෙ මාතාපිතුන්නං එතං අධිවචනං’ ‘මහණෙනි, පූර්වදේවතා යන මෙය මව්පියන්ට යෙදෙන නමකියි කියන ලදී.