7. සෞචෙය සූත්ර වර්ණනාව
සත්වන සූත්රයෙහි සොචෙය්යානි යනු පිරිසිදුකම්ය. කායසොචෙය්යං යනු කාය සුචරිතය. වචී සොචෙය්ය යනු වචී සුචරිතයමය. මනෝ සොචෙය්ය යනු මනෝ සුචරිතයමය. එහෙයින් ‘තත්ථ කතමං කාය සොචෙය්යං? පාණාතිපාතා වේරමණී’ ‘එහි කයේ පිරිසිදුකම කුමක් ද? සතුන් මැරීමෙන් වැළකීම’ යනාදිය දෙසන ලදී.
ගාථාවෙහි - සහමුලින් දුරු වූ සියලු ම කාය දුශ්චරිත ඇති බැවින් කයින් පිරිසිදුය යනුවෙන් කායසුචි නමි. සොචෙය්යසම්පන්නං යනු සන්සිඳුවන ලද කෙලෙස් ඇති බැවින් සුපිරිසිදු වූ පිරිසිදුකමින් යුක්ත වූ. ඉතිරිය කියන ලද ක්රමයෙන්ම ය.
සත්වන සූත්රයයි.
8. මෞනෙය සූත්ර වර්ණනාව
අටවන සූත්රයෙහි මොනෙය්යාති යන මෙහි මෙලොව ද පරලොව ද තමාගේ යහපත ද අනුන්ගේ යහපත ද දනී යන අරුතින් මුනි නම් වේ. කල්යාණ පෘථග්ජනයා සමග ශෛක්ෂ (හික්මෙන) පුද්ගලයන් සත්දෙනා ද රහතන් වහන්සේ ද මුනි නම් වෙයි. මෙහි වනාහි රහතන් වහන්සේ අදහස් කරන ලදී. මුනිවරයාගේ ස්වභාවය (පැවැත්ම) මුනිභාවයයි (එනම් මොනෙය්යයි). රහතන් වහන්සේගේ කාය-වවී මනෝ සමාචාරයන්ය.
නැතහොත් මුනිභාවය ඇතිකරන මොනෙය්ය ප්රතිපදා ධර්ම මොනෙය්ය නමි. මේ ඒවායේ විස්තරය යි -
එහි කාය මොනෙය්ය යනු කුමක්ද? ත්රිවිධ කාය දුශ්චරිතයන්ගේ ප්රහාණය කාය මොනෙය්යය. ත්රිවිධ කාය සුචරිතය කාය මොනෙය්යය. කය අරමුණු කොට (අනිත්යාදී වශයෙන්) පැවති ඤාණය කාය මොනෙය්යය. කය පිරිසිඳ දැනීම කාය මොනෙය්යය. කය පිරිසිඳ දැනීම සමග එකට යෙදුණු මාර්ගය කාය මොනෙය්යය. කයෙහි ඡන්දරාගය දුරුකිරීම කාය මොනෙය්යය. කාය සංස්කාර (ආශ්වාස-ප්රශ්වාස) නිරෝධයෙන් ලබන චතුර්ථධ්යාන සමාපත්තිය කාය මොනෙය්යය.
එහි වචී මොනෙය්ය යනු කුමක් ද? සිවු වැදෑරුම් වචී දුශ්චරිතයන්ගේ ප්රහාණය වචී මොනෙය්යය. සිවුවැදෑරුම් වචී සුචරිතය වචී මොනෙය්යය. වචනය අරමුණු කොට (අනිත්යාදි වශයෙන්) පැවති ඤාණය වචී මොනෙය්යය. වචනය පිරිසිඳ දැනීම වචී මොනෙය්යය. වචනය පිරිසිඳ දැනීම සමග එකට යෙදුණු මාර්ගය වචී මොනෙය්යය. වචනයෙහි ඡන්දරාගය දුරුකිරීම වචී මොනෙය්යය. වචී සංස්කාර (විතක්ක-විචාර) නිරෝධයෙන් ලබන ද්විතීය ධ්යානය වවී මොනෙය්යය.
මනෝ මොනෙය්ය යනු කුමක් ද? ත්රිවිධ මනෝ දුශ්චරිතයන්ගේ ප්රහාණය මනෝ මොනෙය්යය. ත්රිවිධ මනෝ සුචරිතය මනෝ මොනෙය්යය. මනස අරමුණුකොට (අනිත්යදී වශයෙන්) පැවති ඤාණය මනෝ මොනෙය්යය. මනස පිරිසිඳ දැනීම මනෝ මොනෙය්යය. මනස පිරිසිඳ දැනීම සමග එකට යෙදුණු මාර්ගය මනෝ මොනෙය්යය. මනසෙහි ඡන්දරාගය දුරුකිරීම මනෝ මොනෙය්යය. චිත්ත සංස්කාර (සඤ්ඤා-වේදනා) නිරෝධයෙන් ලබන සඤ්ඤා වේදයිත නිරෝධ සමාපත්තිය මනෝ මොනෙය්යය.
නිද්ධොත පාපකං යනු අංග අටකින් යුත් මාර්ග ඵලයෙන් මනාව සෝදාහළ පව්මල ඇති.
අටවන සූත්රයයි.
9. ප්රථම රාග සූත්ර වර්ණනාව
නවවන සූත්රයෙහි යස්ස කස්සචි යනු අනියම් වචනයකි. එහෙයින් යම්කිසි ගිහි පුද්ගලයෙකුගේ හෝ පැවිදි පුද්ගලයෙකුගේ. රාගො අප්පහීනො යනු සිත් අලවන අර්ථයෙන් රාගය සහමුලින් පහ නොවූයේ මාර්ගයෙන් නූපදින ස්වභාවයට නොපමුණුවන ලද්දේ. දෝස මෝහ දෙකෙහිද මේ ක්රමයමයි. එහි අපාය ගමනට සුදුසු රාග දෝස මෝහ ප්රථම (සෝවාන්) මාර්ගයෙන් ද ඕලාරික (ගොරෝසු) කාමරාග-දෝස දෙවන (සකෘදාගාමි) මාර්ගයෙන් ද ඒවාම ඉතිරි නොකොට තෙවන (අනාගාමි) මාර්ගයෙන්ද භවරාගයද ඉතිරි වූ මෝහය ද සිවුවන (අර්හත්) මාර්ගයෙන් ද පහවෙයි. මෙසේ මේවා පහවන කල්හි ඒ හා සමග යෙදුණු සියලුම කෙලෙස් පහවන්නේමය. මෙසේ මේ රාගාදිය යම්කිසි භික්ෂුවකගේ හෝ භික්ෂුණියකගේ හෝ උපාසකයෙකුගේ හෝ උපාසිකාවකගේ හෝ මාර්ගයෙන් පහ නොවූයේ. ඛන්ධො මාරස්ස යනු කෙලෙස් මාරයා විසින් බඳින ලද්දේ යයි කියනු ලැබේ. යම් මොහොතක කෙලෙස් මාරයා විසින් බඳින ලද ද එතැන් පටන් අභිසංඛාර ආදී මාරයන් විසින් ද බඳින ලද්දේ වෙයි. පටිමුක්කස්ස මාරපාසො යනු පටිමුක්කො අස්ස, මේ පහ නොවූ කෙලෙස් ඇති පුද්ගලයා විසින් ඒ පහනොවූ කෙලෙස් ඇති බැවින්ම මාරපාසය නම් වූ ක්ලේශය තමාගේ චිත්ත සන්තානයෙහි ඇතුල් කරන ලද්දේය. ඒ ක්ලේශය විසින් තමා බන්දවන ලද්දේය යන අර්ථයි. නොහොත් මොහු විසින් මාරපාසය ඇතුල්කරන ලද්දේ වන්නේය. කුශල පක්ෂයෙහි ඔමුක්කස්ස යනු මොහු විසින් ඇතුල් නොකරන ලද්දේ මුදන ලද්දේ ඉවත්කරන ලද්දේ වෙයි. ඉතිරිය කියන ලද ආකාරයට විරුද්ධ ආකාරයෙන් දතයුතුය.
මෙහි ගාථා කුශල පක්ෂය වශයෙන්ම ආයේය. මේ එහි කෙටි අර්ථයයි. යස්ස යම් ආර්ය පුද්ගලයකු විසින් රාග-දෝස-අවිද්යා විරාජිතා ආර්ය මාර්ගයෙන් නිරුද්ධ කරන ලද්දේ තං ඔහු භාවනා වශයෙන් පුරුදු කරන ලද කර ඇති බැවින් සීලය ඇති බැවින් සිත ඇති බැවින් ප්රඥාව ඇති බැවින් භාවිත ආත්ම ඇති රහතන් වහන්සේලා අතරෙහි අඤ්ඤතරං ඇතුළත් වූ එක්තරා පුද්ගලයකු වූ බ්රහ්මභූතං බ්රහ්ම වූ හෝ ශ්රේෂ්ඨ වූ අර්හත්ඵලයට පැමිණි. අනිත් ක්ෂීණාශ්රවයන් වහන්සේලා පෙර උපනිශ්රය සම්පත්තියෙන් යුක්ත වී යම්සේ ආවාහු ද උන්වහන්සේලා අන්ත දෙකෙන් තොර සීල සමාධි ප්රඥා ස්කන්ධවලින් යුක්ත වූ මධ්යම ප්රතිපදාවෙන් යම්සේ නිවනට ගියාහු ද නිවන අවබෝධ කළාහු ද උන්වහන්සේලා ස්කන්ධාදීන්ගේ තථ ලක්ෂණය (නියම ලක්ෂණය) තත් වූ පරිද්දෙන් යම් සේ අවබෝධ කළාහු ද උන්වහන්සේලා දුක් ආදී තථ ධර්මයන් නොවෙනස් අයුරින් යම්සේ දැනගත්තාහු ද, උන්වහන්සේලා රූපාදී අරමුණු දැකීම් මාත්රාදී වශයෙන්ම යම් සේ දුටුවාහු ද උන්වහන්සේලා යම්සේ අනාර්ය ව්යවහාර අට දුරුකොට ආර්ය ව්යවහාර වශයෙන්ම පැවති වචන ඇත්තාහු ද වචනයට අනුරූපව පැවති කය ඇත්තාහු ද කයට අනුරූපව පැවති වචනය ඇත්තාහුද මේ ආර්ය පුද්ගලයා ද එසේය යනුවෙන් තථාගතං තථාගත නම් වේ. චතුස්සත්යය අවබෝධ කළ බැවින් බුද්ධං බුද්ධ නම් වේ. පුද්ගල වෛරය, ක්ලේශ වෛරය අත්තානුවාද ආදී භය ද ඉක්මවූයේය යන අරුතින් වෙරභයාතීතං වෛර භය දුරුකළා වූ, සියලු කෙලෙස්, අභිසංස්කාර ආදිය පහකළ බැවින් සබ්බප්පහායිනං සියල්ල දුරුකළ කෙනෙකැයි බුද්ධාදී ආර්යයෝ ආහු කියති. වර්ණනා කරති.
නවවන සූත්රයයි.
10. දෙවෙනි රාග සූත්ර වර්ණනාව
දසවන සූත්රයෙහි න අතරි තරණය නොකළේය. සමුද්දං යනු සංසාර සාගරය, නැතහොත් චක්ඛායතන ආදී සාගරය. ඒ දෙකම පිරවීමට අපහසුය යන අර්ථයෙන් සමුද්රය වැනි හෙයින් සමුද්රය නම් වේ. නැතහොත් සමුද්දන අර්ථයෙන් සමුද්රය නම් වේ. සත්ත්ව සන්තානයේ කෙලෙස් වෑස්සීමෙන්ය, කෙලෙස් සරණින් (හැසිරිමෙන්) යන අර්ථයි. සවීචිං යනු ක්රෝධය හා උපායාසය (බද්ධ වෛරය) යන රළ සහිත වූයේ සවීචි නම් වේ. ඒ කාරණය ‘වීචිභයන්ති ඛො භික්ඛු කොධූපායාසස්සෙතං අධිවචනං’ ‘මහණ, වීචිභය යන මෙය ක්රෝධ උපායාසයට නමකි’ යනුවෙන් වදාළහ. සාවට්ටං යනු පංචකාම ගුණ නමැති සුළිවලින් සුළි සහිත වූ මේ කාරණය ‘ආවට්ටභයන්ති ඛො භික්ඛු පඤ්චන්තෙතං කාමගුණානං අධිවචනං’ ‘මහණ, ආවට්ට භය යන මෙය පස්කම් ගුණයට වචනයකි’ යනුවෙන් වදාළහ. සග්හං සරක්ඛසං යනු තමාට ගොදුරු වූවන්ට අයහපත උපදවන හෙයින් චණ්ඩ මකරුන්ට මාලුවන්ට දියරකුසන්ට සමාන වූ විසභාග (අසමාන) පුද්ගලයන් සහිත වූයේ ‘සග්හ’ නමි. ඒ බව ‘සග්හං සරක්ඛසන්ති ඛො භික්ඛු මාතුගාමස්සෙතං අධිවචනං’ ‘මහණ, සග්හ සරක්ඛස යන මෙය කාන්තාවට නමකි’ යනුවෙන් වදාළහ. අතරි යනු මාර්ගප්රඥාව නමැති නැවෙන් කියන ලද ආකාර ඇති සාගරයෙන් එතෙර වූයේය. තිණ්ණො යනු තරණය කළේය. පාරගතො යනු ඒ සාගරයේ එගොඩට පරතෙරට නිරෝධයට ගියේය. එලෙ තිට්ඨති යනු එහෙයින්ම සංසාර නමැති සැඩ දියපහර ද කාමාදී සැඩ දියපහර ද ඉක්මවා බහා තබන ලද පව් ඇති බමුණු තෙමේ එගොඩෙහි පරතෙරෙහි නිවනෙහි සිටියේ යයි කියනු ලැබේ.