1. පුණ්යක්රියාවස්තු සූත්ර වර්ණනාව
දෙවන වර්ගයෙහි පළමු සූත්රයෙහි - පුඤ්ඤකිරිය වත්ථූනි යනු පිදිය යුතු බව නමැති ඵලය උපදවයි හෝ තමාගේ සිත පිරිසිදු කරයි යන අරුතින් පුඤ්ඤානි නම් වේ. ‘පින්’ යනු ද ඒවාය. හේතු ප්රත්යවලින් කළයුතු හෙයින් ‘ක්රියා’ ද ඒවාය යන අරුතින් පුඤ්ඤකිරිය නම් වේ. ඒවාම ඒ ඒ අනුසස්වලට කරුණුවීම් වශයෙන් පුඤ්ඤකිරියවත්ථු නම් වේ දානමයං යනු අනුග්රහ (උපකාර) වශයෙන් හෝ පූජා වශයෙන් හෝ නොසිඳින ලද භව මූලය (තණ්හාව) ඇති තමාගේ දාන වස්තුව අනුන්ට පරිත්යාග කිරීමේ චේතනාව - මෙය කරණකොට දෙනු ලැබේ යන අරුතින් ‘දාන’ නමි. දානයම ‘දානමය’ නම්. සිවුරු ආදී සිවුපසය අතරින් හෝ ආහාර ආදී දසදාන වස්තු අතරින් හෝ රූපාදී අරමුණු හය අතරින් හෝ ඒ ඒ දෙය දෙන තැනැත්තාගේ, ඒවා සකස්කිරීමේ පටන් මුල් අවස්ථාවෙහි ද පරිත්යාග කරන කාලයෙහි ද දීමෙන් පසුව ද සොම්නස් සිතින් සිහිකරන කාලයෙහිදැයි යන කාල තුනෙහි කියන ලද අයුරින්ම පැවති චේතනාව දානමය පුණ්ය ක්රියා වස්තුව වෙයි.
සීලමයං යනු නිත්යශීල වශයෙන් හෝ උපෝසථ නියමාදී වශයෙන් හෝ පන්සිල් හෝ අටසිල් හෝ දසසිල් හෝ සමාදන් වන්නහුට ද සිල්පිරීම සඳහා පැවිදි වන්නෙමියි සිතා විහාරයට යන්නහුට ද පැවිදි වන්නහුට ද බලාපොරොත්තුව මුදුන් පමුණුවාගෙන මම ඒකාන්තයෙන් පැවිදි වූයෙමි, අනේ එය යහපතැයි සිහිකරන්නහුට ද ශ්රද්ධාවෙන් ප්රාතිමෝක්ෂ ශීලය පුරන්නහුට ද ප්රඥාවෙන් සිවුරු ආදිය ප්රත්යවේක්ෂා කරන්නහුට ද (ඇස ආදී ඉන්ද්රියයන්) හමුවට පැමිණි රූපාදී අරමුණු කෙරෙහි චක්ඛුද්වාරාදිය සිහියෙන් යුතුව සංවර කරගන්නහුට ද වීර්යයෙන් යුතුව ආජීවය (ජීවිකාව) පිරිසිදු කරන්නහුට ද පැවති කුශල චේතනාව (තුන්දොර) හික්මවන හෙයින් සීලමය පුණ්යක්රියා වස්තු නම් වේ.
එසේම පටිසම්භිදාවෙහි කියන ලද අයුරින් විදර්ශනා මාර්ගයෙන් ඇස අනිත්ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විදර්ශනා කරන්නහුට ද කන නාසය - දිව - කය - මනස ද රූප -පෙ- ධර්ම (යන අරමුණු හය) ද චක්ඛු විඤ්ඤාණය - මනෝ විඤ්ඤාණය (යන විඤ්ඤාණ හය) ද චක්ඛු ස්පර්ශය - මනෝ ස්පර්ශය (යන ස්පර්ශ හය) ද චක්ඛු ස්පර්ශයෙන් උපන් වේදනාව මනස ස්පර්ශයෙන් උපන් වේදනාව (යන වේදනා හය) ද රූපසඤ්ඤාව ධම්ම සඤ්ඤාව (යන සඤ්ඤා හය) ද ජරාව මරණය අනිත්ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විදර්ශනා කරන්නහුට ද ඇතිවන යම් චේතනාවක් වෙයි නම් එය ද පඨවි කසිණ ආදී තිස්අටක් වූ අරමුණු කෙරෙහි පැවති යම් ධ්යාන චේතනාවක් වෙයි නම් එය ද නිවැරදි වූ කර්මාන්ත, ශිල්ප, විද්යාවන් පුරුදු කිරීම් මෙනෙහි කිරීම් වශයෙන් පැවති යම් චේතනාවක් වෙයි නම් එය ද යන මේ සියල්ල මේ චේතනාව කරණකොට වඩයි යන අරුතින් භාවනාමය ද, කියන ලද ක්රමයෙන් පුණ්යක්රියා වස්තු ද වෙයි.
මෙහි (කියන ලද) එක එකක් වුව ද සුදුසු පරිදි මුලපටන් කයින් කරන්නහුට කාය කර්මය වෙයි. ඒ සඳහා වචන පිට කරන්නහුට වචී කර්මය ද කායික අවයවයක් හෝ වචනයක් හෝ නොසොල්වා සිතින් සිතන්නහුට මනෝ කර්මය වෙයි. ආහාර ආදිය දෙන්නහුට ද ආහාර ආදිය දෙමියි සිතා හෝ දාන පාරමිතාව සිහිකොට හෝ දෙන කාලයෙහි දානමය පුණ්යක්රියා වස්තුව වෙයි. වත් ශීර්ෂයෙහි සිට (දන්දීම චාරිත්රයක් යයි සලකාගෙන) දන්දෙන තැනැත්තාට ද ශීලමය පුණ්යක්රියා වස්තුව වෙයි. (දෙන සියල්ල) ක්ෂය වීම් වශයෙන් වැයවීම් වශයෙන් කර්ම වශයෙන් නුවණින් සලකා බලා දන් දෙන්නහුට ද භාවනාමය පුණ්ය ක්රියා වස්තුව වෙයි.
තවත් පුණ්යක්රියා වස්තු හතක් ඇත. (ගුණවතුන්ට) පිදීම සමග යෙදුණු පුණ්යක්රියා වස්තුව, වතාවත් කිරිම සමග යෙදුණු පුණ්යක්රියා වස්තුව, පින්දීම, පින් අනුමෝදන් වීම, බණකීම, බණ ඇසීම, දෘෂ්ටිය නිවැරදි කරගැනීම යන පුණ්ය ක්රියා වස්තුය. සරණ ගමනයත් දෘෂ්ටිය නිවැරදි කරගැනීමෙහිම ඇතුළත් වේ. මෙහි කියයුතු දෙය අන් අයුරකින් ප්රකට වන්නේය. (ඒ මෙසේය.)
වැඩිහිටියකු දැක පෙරගමන් කිරීම, පාත්ර සිවුරු පිළිගැනීම - වැඳීම - මාර්ගය ඉඩදීම (මග්ග සම්පදාන) ආදී වශයෙන් පිදීම සමග යෙදීම (අපචායන සහගත බව) දතයුතුය. වැඩිහිටියන්ගේ වත්පිළිවෙත් කිරීම් වශයෙන්, ගමට පිඬු පිණිස වැඩිය භික්ෂුවක් දැක පාත්රය ඉල්ලාගෙන ගමේ ගෙවල්වලින් දානය ලබාගෙන ගෙනත්දීම් වශයෙන්, යන්න භික්ෂූන්ගේ පාත්රය ගේන්නැයි කියන වචනය අසා වේගයෙන් ගොස් පාත්රය ගෙන ඒම් වශයෙන් ද වතාවත් කිරීම සමග යෙදීම (වෙය්යාවච්ච සහගත බව) දතයුතුය. සිවුපසය දී මල් හා සුවඳ වර්ගවලින් තුණුරුවන්ට පූජාකොට එබඳු අනිකුත් පින්කම් ද සිදුකොට සියලු සත්ත්වයන්ට (මේ) පින වේවායි පිරිනැමීම් වශයෙන් පිදීම (පත්ති අනුප්පදාන) දතයුතුය. එසේ අනුන් විසින් දෙන ලද පින හෝ හුදෙක් අනුන් විසින් කරන ලද පින හොඳයි මැනවැයි කියා අනුමෝදන් වීම් වශයෙන් පින් අනුමෝදන් වීම (අබ්භානුමෝදනාව) දතයුතුය. තමා පුරුදු පුහුණු කළ ධර්මයක් යම් වස්තුවක් (පිරිකරක්) බලාපොරොත්තු නොතබා යහපත කැමැත්තෙන් අනුන්ට දේශනා කිරීම යන මෙය දේශනාමය පුණ්යක්රියා වස්තුව වෙයි. කෙනෙක් මෙසේ (දහම් දෙසීමෙන්) මා ධර්මකථිකයෙක් යනුවෙන් අන්යයෝ දැනගන්නාහුය යන කැමැත්තෙහි සිට ලාභසත්කාර කීර්ති ප්රශංසාදිය සලකා ගෙන ධර්මය දේශනා කරයි නම් ඒ ධර්ම දේශනාව මහත්ඵල නොවේ. ඒකාන්තයෙන් මෙය තමාටත් අනුන්ටත් යහපත පිණිස පිළිපදින උපායවේ යයි නුවණින් මෙනෙහි කිරිම පෙරදැරිකොට යහපත පැතිරීම් වශයෙන් මොළොක් සිතින් ධර්මය අසයි ද මෙය ශ්රවණමය පුණ්යක්රියා වස්තුවයි. මෙසේ මා සැදැහැත්තෙකැයි (අන් අය) දැනගන්නාහු යයි සිතා යම් බණ ඇසීමක් වේ නම් ඒ බණ ඇසීම මහත්ඵල නොවේ. දෘෂ්ටියෙහි ඍජුගමන දෘෂ්ටිය නිවැරදි කර ගැනීමයි. දන් දීමෙහි විපාක ඇත ආදී ක්රමයෙන් පැවති නිවැරදි දැකීමට මෙය වචනයකි. (දෘෂ්ටිය ඍජුකිරීම නම් වූ) මෙය වනාහි (දෘෂ්ටිය සෘජු කිරීමට) පෙර අවස්ථාවෙහි හෝ පසු අවස්ථාවෙහි හෝ ඤාණයෙන් තොර (ඤාණ විප්පයුත්ත) වුවද දෘෂ්ටිය ඍජුකරන කාලයෙහි ඤාණයෙන් යුක්ත (ඤාණ සම්පයුත්ත) වූයේම වෙයි. ඇතැම් කෙනෙක් වනාහි විජානන පජානන වශයෙන් දකින දෘෂ්ටියෙහි දක්ෂ වූ සිත (දිට්ඨිකුසල විඤ්ඤාණය) ද කම්මස්සකත ඤාණය ආදිය ද සම්යක් දර්ශනයයි (මනා දැකීම යයි) කීවාහුය. එහි දක්ෂ වූ සිතෙන් (කුසලෙන විඤ්ඤාණෙන) නුවණ නූපන් කල්හි ද තමා විසින් කරන ලද පින් සිහිකිරිම, වර්ණනා කළ යුතු අයගේ ගුණ වර්ණනා කිරීම ආදිය ද ඇතුළත් කරන ලදී. කම්මස්සකත ඤාණයෙන් කම්මපථ සම්මා දිට්ඨියේ ඇතළත් කිරිම වෙයි. අනිත් දිට්ඨිජ්ජුගතය සියල්ලටම නියම ලක්ෂණයයි. යම්කිසි පිනක් කරන තැනැත්තාගේ දෘෂ්ටියෙන් සෘජුභාවයෙන්ම එය මහත්ඵල වෙයි.