මුලින් කී දානමය ආදී පුණ්යක්රියා වස්තු තුනෙහි මේ පුණ්යක්රියා වස්තු හත ඇතුළත් කරන ලදී. එහි අපචායන - වෙය්යාවච්ච දෙක සීලමය පුණ්යක්රියා වස්තුවෙහි ඇතුළත් කරන ලදී. පත්ති අනුප්පදාන - අබ්භනුමෝදනා (පින් දීම - පින් අනුමෝදන් වීම) යන දෙක දානමය පුණ්යක්රියා වස්තුවෙහි ඇතුළත් කරන ලදී. ධර්මදේශනා කිරීම - ධර්මශ්රවණය කිරීම, භාවනාමය පුණ්යක්රියා වස්තුවෙහි ඇතුළත් කරන ලදී. දෘෂ්ටිය ඍජුකිරිම වනාහි (දාන-සීල-භාවනා) යන මේ පුණ්ය ක්රියා වස්තු තුනෙහිම ඇතුළත් කරන ලදී. එහෙයින් භාග්යවතුන් වහන්සේ -
‘තීනිමානි භික්ඛවෙ පුඤ්ඤකිරියවත්ථූනි. කතමානි තීනි? දානමයං -පෙ භාවනාමයං පුඤ්ඤකිරිය වත්ථු’ යනුවෙන් වදාළහ.
මෙහි ද අටක් වූ කාමාවචර කුසල චේතනා වශයෙන් තුන් පුණ්ය ක්රියා වස්තූන්ගේ පැවැත්ම වෙයි. ප්රගුණ වූ ධර්මයක් කියන තැනැත්තාට ඇතැම් අනුසන්ධි සැලකීමට හසුනොවීම ඒ කීම සිදුවෙමින් යන්නා සේ ප්රගුණ වූ සමථ විදර්ශනා භාවනාවක යෙදෙන තැනැත්තාට අතරින් පතර ඤාණවිප්පයුත්ත සිතෙන් ද මෙනෙහි කිරීම පවතී. මෙසේ ඒ සියල්ල මහග්ගත කුසල චේතනාවන්ගේ වශයෙන් භාවනාමය පුණ්යක්රියා වස්තුවම වෙයි. අනිත් දෙක නොවෙයි. ගාථාවෙහි අර්ථය මුලදී කියන ලද්දේමය.
පළමු සූත්රයයි.
2. චක්ෂූස් සූත්ර වර්ණනාව
දෙවන සූත්රයෙහි චක්ඛූනි යනු චක්ඛන්තීති = චක්ඛූනි, සම විසම තැන් ප්රකාශ කරන්නාක් මෙන් පවතී යන අර්ථයි. නැතහොත් චක්ඛනට්ඨෙන = චක්ඛූනි (චක්ඛන අර්ථයෙන් චක්ඛු) නම් වේ. මේ චක්ඛනය නම් කුමක් ද? රසවිඳීමයි. (අස්සාදනයයි). ඒ බව ‘මධුං චක්ඛති බ්යඤ්ජනං චක්ඛති’ (මීපැණි රසවිඳියි. ව්යඤ්ජන රසවිඳියි) යනුවෙන් කියති. මේවා අරමුණු රසය අනුභව කරන්නාක් මෙන් රසවිඳින්නාක් මෙන් වෙයි. මෙසේ චක්ඛන අර්ථයෙන් චක්ඛු නම් වේ. ඒවා කැටිකොට ගත් කල්හි ඤාණචක්ඛු, මංස චක්ඛු යනුවෙන් දෙකකි. ඒවා අතරින් මාංශ චක්ෂුව මුලදී කියන ලද්දේමය. මෙහි ඤාණ චක්ඛුව (නුවණැස) වනාහි දිබ්බචක්ඛු, පඤ්ඤාචක්ඛු යනුවෙන් දෙයාකාර කොට කියන ලදී.
එහි දිබ්බචක්ඛු යනු දිබ්බසදිසත්තා = දිබ්බං, දේවතාවන්ට වනාහි සුචරිත කර්මයෙන් උපන්, පිත් සෙම් ලේ ආදියෙන් කරදරයක් නොවූ (එහෙයින්) උපක්ලේශයන්ගෙන් මිදුණු බැවින් දුර ඇති අරමුණු ගැනීමෙහි ද සමත් වූ දිව්ය ප්රසාද චක්ෂුවක් වෙයි. වීර්ය භාවනා බලයෙන් උපන් නුවණැස යම් බඳු ද මේ දිවැස ද එබඳුමය. මෙසේ දිව්යසමාන බැවින් දිව්ය නම් වෙයි. දිව්යවිහාර වශයෙන් ලබන ලද බැවින් ද තමා දිව්යවිහාර ඇසුරුකොට ඇති බැවින් ද ආලෝකයෙන් මහත් බැබලීම් ඇති බැවින් ද බිත්තියෙන් එහා පැත්තෙහි වූ රූප දැකීමෙන් මහා පැවැත්මක් ඇති හෙයින් ද දිව්යා (දිබ්බ) නම් වේ. ඒ සියල්ල ශබ්ද ශාස්ත්ර අනුසාරයෙන් දතයුතුය. දැකීම් අර්ථයෙන් ‘චක්ඛු’ ය. කටයුතු කිරිමෙන් ඇස වැනි යයි මෙසේ ද ‘චක්ඛු’ය. දිව්ය වූයේත් ඇස වූයේත් එයමයි යනුවෙන් දිබ්බචක්ඛු නම් වේ.
දනී යනුවෙන් පඤ්ඤා නමි. (පජානාතීති පඤ්ඤා) කුමක් දනී ද? මේ දුකය යනාදී වශයෙන් චතුරාර්ය සත්යය දනී. මේ කාරණය කියන ලදී -
‘පජානාතීති ඛො ආවුසො තස්මා පඤ්ඤාති වුච්චති, කිඤ්ච පජානාති? ඉදං දුක්ඛං’ යනාදී වශයෙන්.
අට්ඨකථාවෙහි වනාහි ‘පඤ්ඤාපනවසෙන පඤ්ඤා, කින්ති පඤ්ඤාපෙති? අනිච්ති පඤ්ඤාපෙති දුක්ඛන්ති පඤ්ඤාපෙති අනත්තාති පඤ්ඤාපෙති’ ‘පැණවීම් වශයෙන් ප්රඥා නමි. කුමක් පනවයි ද? අනිත්යයයි පණවයි. දුකයයි පණවයි. අනාත්මයයි පණවයි’ යනුවෙන් කියන ලදී. ඒ මේ ප්රඥාව වනාහි ලක්ෂණාදී වශයෙන් ඇති තතු අවබෝධය ලක්ෂණ කොට ඇත. නැතහොත් නොපැකිළුණු අවබෝධය ලක්ෂණකොට ඇත. අවබෝධය (වනාහි) දක්ෂයකු විසින් විදින ලද ඊතලයක් මෙනි. විෂය බැබලවීම රසයයි, පහනක් මෙනි. නොමුළාවීම වැටහෙන ආකාරයයි, අරණ්යගත වූ දක්ෂ මාර්ගෝපදේශකයකු මෙනි. විශේෂ වශයෙන් වනාහි මෙහි ආසවක්ඛය ඤාණය නම් වූ ප්රඥාව චතුස්සත්ය දැකීම් අර්ථයෙන් පඤ්ඤාචක්ඛු යනුවෙන් අදහස් කරන ලදී. ‘චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලොකො උදපාදි’ ‘ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්රඥාව පහළ විය, විද්යාව පහළ විය, ආලෝකය පහළ විය’ යන මෙය ඒ සඳහා කියන ලදී.
ඒවා අතරින් මසැස (මංසචක්ඛු) ස්වල්පය. දිවැස (දිබ්බචක්ඛු) විශාලය. අනික (පඤ්ඤා චක්ඛු) අප්රමාණය. මසැස රූප ය. අනිත් දෙක අරූපය. මසැස ද දිවැස ද ලෞකිකය. (ලෝකයට අයත්ය.) ආසව සහිතය. රූප අරමුණුකොට ඇත. අනික ලෝකෝත්තරය. ආසව රහිතය. චතුස්සත්ය අරමුණු කොට ඇත. මසැස අව්යාකතය, දිවැස කුසල ද වන්නේය. අව්යාකතද වන්නේය. පැනැස (පඤ්ඤාචක්ඛු) ද එසේය. මසැස කාමාවචරය. දිවැස රූපාවචරය. අනික (පැනැස) ලෝකෝත්තර යයි ආදී වශයෙන් බෙදීම දතයුතුය.
ගාථාවන්හි අනුත්තරං යන්න පැනැස සඳහා කියන ලදී. එය ආසවක්ඛය ඤාණය වීම් වශයෙන් අනුත්තරය. අක්ඛාසි පුරිසුත්තමො යනු පුරුෂයන්ට උතුම් වූ අග්ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසූහ. උප්පාදො යනු මසැසේ පැවැත්මයි. මග්ගො යනු උපායයි. දිවැසට කාරණයයි. ස්වභාවයෙන්ම මසැස ඇති තැනැත්තාටම දිවැස උපදී. කසිණාලෝකය වඩා දිබ්බචක්ඛු ඤාණය උපදින හෙයිනි. එය ද කසිණ මණ්ඩලයෙහි උග්ගහ නිමිත්තෙන් තොරව නැත. යතො යනු යම්කලෙක. ඤාණං යනු ආසවක්ඛය ඤාණයයි. එහෙයින් ම ‘පඤ්ඤාචක්ඛං අනුත්තරං’ යනුවෙන් වදාළහ. තස්ස චක්ඛුස පටිලාභා යනු ඒ ආර්ය වූ ප්රඥා චක්ෂුසයේ පහළවීමෙන් වැඩීමෙන් සියලු සසර දුකින් පමුච්චති මිදෙයි.
දෙවන සූත්රයයි.
3. ඉන්ද්රිය සූත්ර වර්ණනාව
තුන්වන සූත්රයෙහි ඉන්ද්රියානි යනු අධිපති බව යන අර්ථයෙන් ඉන්ද්රිය නම් වේ. එකට උපන් ධර්ම කෙරෙහි අධිපතියන් බවට පත්වූවාක් මෙන් ඒ එකට උපන් ධර්ම විසින් අනුව පැවතිය යුතු යම් දෙයක් ඇත්නම් ඒවා ඉන්ද්රිය නම් වේ. තවද භාග්යවතුන් වහන්සේ ඉන්ද්රය, ධම්මිස්සරය (ධර්මයට අධිපතිය), උසස් වූ චිත්ත අධිපති බවෙන් යුක්ත වූහ. ඒ ඉන්ද්රයන් වහන්සේ විසින් සියල්ලට පළමුව දුටු බැවින් අවබෝධ කළ බැවින් අනුන් විසිනුත් දක්නා ලද බැවින් දේශනා කරන ලද බැවින් පුරුදු කරන ලද බැවින් අරමුණ වැඩීමෙන් සේවනය කිරීමෙන් දක්නා ලද බැවින් ද ඉන්ද්රිය වේ. මාර්ගාවබෝධයට හේතු වූ පුණ්යකර්මය හෝ ඉන්ද්රය. එහි ලිංග ද ඉන්ද්රිය වේ.
අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රියං යනු මුලක් නොපෙනෙන (අනමතග්ග) සසරෙහි නොදන්නා ලද අවබෝධ නොකරන ලද නිවන නොහොත් චතුස්සත්ය ධර්මය දැනගන්නෙමියි කියා පිළිපදින තැනැත්තාට මෙයින් මුල් අවස්ථාවෙහි උපන් ඉන්ද්රිය, සෝතාපත්ති මාර්ග ප්රඥාවට මේ වචනයකි. අඤ්ඤින්ද්රියං යනු ආජානන ඉන්ද්රියයි. මේ එහි වචනාර්ථයයි: ‘ආජානාති’ (යනු) ප්රථම මාර්ග ඥානයෙන් දක්නා ලද සීමාව නොඉක්මවාම දැනගනියි යන අරුතින් අඤ්ඤා නම් වේ. යම්සේ ප්රථම මාර්ග ප්රඥාව දුක් ආදියෙහි පිරිසිඳ අවබෝධ කිරීම් ආදී වශයෙන් පවතී එසේම මෙය ද පවතී. මෙසේ ‘අඤ්ඤා’ වූයේ ද එයමය. කියන ලද අර්ථයෙන් ඉන්ද්රිය වූයේ ද එයමය යනුවෙන් අඤ්ඤින්ද්රිය නම් වේ. දැනගන්නා අර්ථයෙන්ම දැනගත් ආර්ය පුද්ගලයාගේ ඉන්ද්රියය යන අරුතින් හෝ අඤ්ඤින්ද්රිය නම් වේ. සෝතාපත්ති ඵලයෙහි පටන් (රහත් මාර්ගය තෙක් ඇති) ස්ථාන හයෙහි පවතින ඤාණයට මෙය නමකි. අඤ්ඤාතාවින්ද්රියං යනු චතුස්සත්ය විෂයෙහි නිම වූ ඥාන කෘත්යය ඇති සම්පූර්ණයෙන් දැනගන්නා ලද ක්ෂීණාශ්රවයන් වහන්සේට ඉපදීම් වශයෙන් ද ඉන්ද්රිය අර්ථය හටගැනීම් වශයෙන් ද ‘අඤ්ඤාතාවින්ද්රිය’ නම් වේ. මෙහි ද පළමු හා අවසාන (පළමු හා තෙවන) ඉන්ද්රියයන් ප්රථම මාර්ගය (සෝවාන් මාර්ගය) වශයෙන් එක් ස්ථානයකට ද සතරවන ඵලය (අර්හත් ඵලය) වශයෙන් එක් ස්ථානයකට ද සම්බන්ධය. අනික (දෙවන ඉන්ද්රියය) අනිත් මාර්ගඵල වශයෙන් ස්ථාන හයකට සම්බන්ධ යයි. දතයුතුය.