මේ තෘෂ්ණා තුන ද රූප තණ්හා -පෙ- ධම්ම තණ්හා යන අරමුණු භේදයෙන් වෙන් වෙන්ව සයවැදෑරුම් කොට දහඅටක් වෙයි. ඒවා ආධ්‍යාත්මික රූපාදියෙහි දහඅටක් ද බාහිර රූපාදියෙහි දහඅටක්දැයි තිස්හයක් වෙයි. මෙසේ අතීතයට තිස්හයක් ද අනාගතයට තිස්හයක් ද වර්තමානයට තිස්හයක්දැයි විභාග වශයෙන් එකසිය අටක් වෙයි. නැවත (ආපසු) සංග්‍රහ කිරීමේදී කාලභේදය නො සිතා ගන්නා වූ තණ්හාව තිස්හයක් වෙයි. රූපාදිය ආධ්‍යාත්මික බාහිර බෙදීම නොකර ගන්නා වූ තණ්හාව දහඅටක් වෙයි. රූපාදී අරමුණු බෙදීම් මාත්‍රයෙන් ගනු ලබන කල්හි හයක්ම වෙයි. අරමුණු බෙදීම ද නොකොට ගන්නා වූ තණ්හාව තුනක්ම වෙයි.
ගාථාවන්හි - තණ්හායොගෙන යනු තණ්හාව නම් වූ යෝගයෙන්, කාමයෝගයෙන් ද භව යෝගයෙන් ද සංයුත්තා යනු සම්බන්ධ වූ නැතහොත් භව ආදියෙහි මනාව යොදන ලද්දා වූ, එහෙයින්ම රත්තචිත්තා භවාභවෙ යනුවෙන් කීහ. කුඩා වූ ද මහත් වූ ද භවයෙහි ලැග ගත් සිත් ඇති යන අර්ථයි. නැතහොත් ‘භවො’ යනු ශාස්වත දෘෂ්ටියයි. ‘අභවො’ යනු උච්ඡේද දෘෂ්ටියයි. එහෙයින් භවාභවෙ ශාස්වත උච්ඡේද දෘෂ්ටිවල ඇලුණු සිත්. මෙයින් භව තණ්හාව ද විභව තණ්හාව ද දක්වන ලදී. මේ කොටස්සෙහි තණ්හා යොගෙන යන මෙයින් කාමතණ්හාව දක්වන ලදැයි දතයුතුය. තෙ යොගයුත්තා මාරස්ස යනු ඒ මෙසේ වූ පුද්ගලයෝ මාරයාගේ පාස (තොණ්ඩුව) නම් වූ යෝගයෙන් යුක්ත වූවාහු බැඳුණාහ. රාගය වනාහි මාරයෝගය, මාරපාස යයි කියනු ලැබේ. එය මෙසේ කියන ලදී.
අන්තලික්ඛචරො පාසො ය්වායං චරති මානසො
තෙන තං බාධයිස්සාමි න මෙ සමණ මොක්ඛසි
තෙන තං බාධයිස්සාමි න මෙ සමණ මොක්ඛසි
අහසෙහි හැසිරෙන අය පවා බැඳගන්නා වූ සිතෙහි හටගත්තා වූ යම් මේ රාග නමැති පාශයක් හැසිරේ ද, එයින් ඔබ පෙළන්නෙමි. මහණ, මාගේ විෂයෙන් නොමිදෙන්නෙහිය.
යෝග සතරෙන් උවදුරට පත් නොවූ බැවින් යොගක්ඛෙමං, (එනම්) නිවන ද අර්හත්වය ද වෙයි. එය අවබෝධ නොකිරීමෙන් අයොගක්ඛෙමිනො වෙයි. මතු මත්තෙහි කෙලෙස් අභිසංස්කාරයන් උපදවන හෙයින් = ජනා ප්‍රාණීහු. රූපාදියෙහි ඇලුණු යන අරුතින් සත්තා නම් වෙයි.
ඛන්ධානං පටිපාටි ධාතු ආයතනාන ච
අබ්බොච්ඡින්නං වත්තමානා සංසාරොති පවුච්චති
අබ්බොච්ඡින්නං වත්තමානා සංසාරොති පවුච්චති
ස්කන්ධ ධාතු - ආයතන යන මේවායේ පිළිවෙළ නොසිඳී පැවැත්ම සංසාරයයි කියනු ලැබේ.
මෙසේ කියන ලද ස්කන්ධාදීන්ගේ භවයෙන් භවයට යන උත්පත්ති නම් වූ සංසාරං සසරට යති. එයින් නො මිදෙති. කුමක් නිසාද? තණ්හා යෝගයෙන් යුක්ත බැවිනි. ජාති මරණ ගාමිනො නැවත නැවත ඉපදීමටත් මරණයටත් යන සුලු වූ. මෙපමණකින් සසර දක්වා දැන් නිවන දැක්වීමට ‘යෙ ච තණ්හං පහනත්වාන’ යන ගාථාව කීහ. ඒ ගාථාව මුලින් කියන ලද ක්‍රමය ඇති බැවින් මැනවින් දත හැක්කේමය.
නවවන සූත්‍රයයි.
10. මාරධෙය්‍ය සූත්‍ර වර්ණනාව
දසවන සූත්‍රයෙහි උපත කුමක්ද? එක්දිනක් ශාස්තෲන් වහන්සේ ශෛක්ෂ පුද්ගලයන්ගෙන් බහුල වූ පිරිසෙන් පිරිවරන ලදුව වැඩහිඳිමින් ඔවුන්ගේ අදහස බලා මත්තෙහි විශේෂ අවබෝධයට උත්සාහය ඇතිකරවන්නට අශෛක්ෂ භූමිය පසසමින් මේ සූත්‍රය දේශනා කළහ. එහි ‘අතික්කම්ම’ යනාදියෙහි මේ කෙටි අර්ථය යි. අතික්කම්ම ඉක්මවා මැඩපවත්වා. මාරධෙය්යං මාරයාට ආධාරවන තැන, අධිපති තැන. ආදිච්චොව සූර්යයා යම්සේ වලාකුළු ආදී බාධාවන්ගෙන් මිදුණේ තමාගේ ඍද්ධියෙන්, ආනුභාවයෙන්, තේජසින් යන ගුණ තුනෙන් යුක්ත වූයේ අහසට නැගෙමින් මුළු අහසෙහි ඇති අඳුර ඉක්මවා මැඩපවත්වා විනාශ කොට විරොචති බබළයි ද ආලෝකය පතුරුවයි ද මෙසේම ක්ෂීණාශ්රව භික්ෂුව ධර්ම තුනකින් යුක්ත වූයේ සියලු බාධාවන්ගෙන් (උපක්ලේශවලින්) මිදුනේ මාරධෙය්‍ය නම් වූ (කාම-රූප-අරූප යන) භූමි තුනට අයත් ධර්මයන්ගේ පැවැත්ම මැඩගෙන බබළයි.