10. මාරධෙය්‍ය සූත්‍ර වර්ණනාව
දසවන සූත්‍රයෙහි උපත කුමක්ද? එක්දිනක් ශාස්තෲන් වහන්සේ ශෛක්ෂ පුද්ගලයන්ගෙන් බහුල වූ පිරිසෙන් පිරිවරන ලදුව වැඩහිඳිමින් ඔවුන්ගේ අදහස බලා මත්තෙහි විශේෂ අවබෝධයට උත්සාහය ඇතිකරවන්නට අශෛක්ෂ භූමිය පසසමින් මේ සූත්‍රය දේශනා කළහ. එහි ‘අතික්කම්ම’ යනාදියෙහි මේ කෙටි අර්ථය යි. අතික්කම්ම ඉක්මවා මැඩපවත්වා. මාරධෙය්යං මාරයාට ආධාරවන තැන, අධිපති තැන. ආදිච්චොව සූර්යයා යම්සේ වලාකුළු ආදී බාධාවන්ගෙන් මිදුණේ තමාගේ ඍද්ධියෙන්, ආනුභාවයෙන්, තේජසින් යන ගුණ තුනෙන් යුක්ත වූයේ අහසට නැගෙමින් මුළු අහසෙහි ඇති අඳුර ඉක්මවා මැඩපවත්වා විනාශ කොට විරොචති බබළයි ද ආලෝකය පතුරුවයි ද මෙසේම ක්ෂීණාශ්රව භික්ෂුව ධර්ම තුනකින් යුක්ත වූයේ සියලු බාධාවන්ගෙන් (උපක්ලේශවලින්) මිදුනේ මාරධෙය්‍ය නම් වූ (කාම-රූප-අරූප යන) භූමි තුනට අයත් ධර්මයන්ගේ පැවැත්ම මැඩගෙන බබළයි.
අසෙක්ඛෙන යන මෙහි ශික්ෂාවන්හි උපන් හෙයින් ශෛක්ෂ නමි. නැතහොත් ඒ ශික්ෂා ශෛක්ෂයන් සත්දෙනාගේය යන අරුතින් ද ශෛක්ෂ නමි. අවසන් නොකළ ශික්ෂා (හික්මීම්) ඇති බැවින් තුමූ ම හික්මෙත් යන අරුතින් ශෛක්ෂ නම් වේ. එනම් (සෝවාන් ආදී) මාර්ග ධර්ම (සතර) හා මුලින් ඇති ඵලධර්ම තුනය. අග්‍රඵල ධර්ම (අර්හත්ඵල) වනාහි ඉන් මත්තෙහි හික්මීමක් නැති බැවින් ශෛක්ෂ නොවේ යන අරුතින් අශෛක්ෂ නම් වේ. යම්තැනක ශෛක්ෂභාවය ගැන සැකයක් ඇත්නම් මේ එහි ප්රතිශේධයයි ලෞකික ධර්මයන්හි ද නිවනෙහි ද අශෛක්ෂ බව තොපැමිණිම දතයුතුය. ශීල-සමාධි-ප්‍රඥා සංඛ්‍යාත ශික්ෂා තමන්ට ප්‍රතිවිරුද්ධ කෙලෙස්වලින් තොර වූයේ පිරිසිදු වූයේ උපක්ලේශවල අරමුණු බවටවත් නොඑළඹීමෙන් ඉතා උසස් ශික්ෂා යයි කියන්නට සුදුසු වූයේ මාර්ගඵල අටෙහිම විද්‍යාමාන වෙයි. එහෙයින් සතර මාර්ගධර්ම හා මුලින් ඇති තුන් ඵලධර්ම මෙන් අර්හත් ඵලධර්ම ද ඒ ශික්ෂාවන්හි උපන්නේ යයි ද ඒ ශික්ෂාවෙන් යුක්ත වූ රහතන් වහන්සේට අන් අයට මෙන් ශෛක්ෂභාවය ඇතිකල්හි මේ ධර්ම ශෛක්ෂයන්ට ඇතැයි ද හික්මෙන ස්වභාවය මොවුන්ට ඇත්තේය යනුවෙන් ද ශෛක්‍ෂය යනුවෙන් සැකයක් ඇතිවූයේ නම් ඒ සැකය නැවැත්වීම පිණිස කියන ලද ශෛක්ෂභාවය ප්රතික්ෂෙප කොට අශෛක්ෂ යයි කියන ලදී.
අර්හත් ඵලයෙහි පවතින ශික්ෂාව වනාහි සම්පූර්ණයෙන් නිම වූ ශික්ෂා කෘත්‍යය ඇති බැවින් ශික්ෂා කෘත්‍යය නො කරයි. හුදෙක් ශික්ෂාඵල භාවයෙන් පවතී. එහෙයින් ඒවා ශික්ෂා යන වචනයට නුසුදුසුය. එයින් යුක්ත වූ තැනැත්තාට ශෛක්ෂ යන වචනය ද සුදුසු නොවේ. එය හා යෙදුණු ධර්ම හික්මෙන ස්වභාවයෙන් යුක්ත නොවේ. ශික්ෂාවන්හි උපන්නේ ද නොවේ යන මේ ආදී අර්ථවලින් අග්‍රඵල ධර්මයෝ ශෛක්ෂ නොවෙති. මුලින් ඇති ඵලයන්හි වූ ශික්ෂාවෝ සකදාගාමි මාර්ග විදර්ශනාදියට උපනිශ්‍රය (හේතු) භාවයෙන් ශික්ෂා කෘත්‍යය කරති යන අර්ථයෙන් ශික්ෂා යන වචනයට සුදුසුය. එයින් යුක්ත වූ තැනැත්තාට ද ශෛක්ෂ යන වචනය සුදුසුය. එය හා යෙදුණු ධර්ම ද ශෛක්ෂ යන වචනයට සුදුසුය. හික්මෙන භාවය ඇත්තේය යනුවෙන් ශෛක්ෂ ධර්මයෝ කියන ලද අර්ථවලින් ශෛක්ෂයෝ වෙත්මය.
නැතහොත් සෙක්ඛා (ශෛක්ෂ) යනු නො නිමි ශික්ෂාවන්ට වචනයකි. අසෙක්ඛා (අශෛක්ෂ) යන පදය නිම කළ ශික්ෂාවන් දක්වයි. ලෞකික ධර්ම හා නිවන අශෛක්ෂභාවයට පත් නොවේ. ශෛක්ෂයෝ ද අශෛක්ෂයෝ ද වෘද්ධියට (වැඩීමට) පත්වූවාහු වෙති. ශෛක්ෂ ධර්මයන්හි වෘද්ධියට පත් කිසිවකුගේ අශෛක්ෂ බවට පැමිණීම සිදුවෙයි යන අරුතින් වෘද්ධියට පත් අර්හත් මාර්ග ධර්මයෝ කියන ලද අර්ථවලින් ශෛක්ෂ කර අශෛක්ෂ බවට පැමිණියාහු වේද? සමාන දේ තුළ එම ව්‍යවහාරය ඇති බැවින් එය (එසේ) නොවේ. අර්හත් මාර්ගයෙන් පරිඥා ආදී කෘත්යාකරණය ද විපාක බව ද හැර අර්හත්ඵලය නොයෙක් ආකාර නොවේ. එහෙයින් ඒ ශෛක්ෂ ධර්මයෝම අර්හත් ඵලභාවයට පැමිණියාහු යයි කීමට හැකිය. කුසල සැපයෙන් විපාක සැපය වඩාත් ශාන්ත බැවින් වඩා ප්‍රණීතය යන අරුතින් වෘද්ධියට පත් ඒ ධර්මයෝම අශෛක්ෂ යයි කියනු ලැබෙත්.