ඒ අර්ථයෙහි ද ඒ ධර්මයෙහි ද ස්වභාව නිරුක්ති විකල්ප නොවන ව්යවහාරය අභිලාපයයි. ඒ ස්වභාව නිරුක්ති අභිලාපයෙහි (වචනයෙහි) සියලු සත්ත්වයන්ගේ මුල් භාෂාව වූ මාගධී භාෂාවෙහි මේ ස්වභාව නිරුක්තියය, මේ ස්වභාව නිරුක්තිය නොවේය යනුවෙන් ප්රභේදගත ඤාණය නිරුක්ති පටිසම්භිදාවය. කියන ලද ආකාර ඇති ඒ ඤාණයන්හි අරමුණු (ගෝචර) කටයුතු (කෘත්ය) ආදී වශයෙන් විස්තර වශයෙන් පැවති සියලු ඤාණයන් අරමුණුකොට නුවණින් විමසා බලන තැනැත්තාගේ ඒ ඤාණයෙහි ප්රභේදගත ඤාණය පටිභාන පටිසම්භිදාවය. මෙසේ මේ සිවුපිළිසිඹියා ඤාණ භාග්යවතුන් වහන්සේ තමන් වහන්සේ විසින් ම අවබෝධ කරන ලද අර්ථ ධර්ම ආදී වූ තමාගේ ඒ ඒ විෂයෙහි අවිරුද්ධ වශයෙන් නොවෙනස් ආකාරයෙන් පැවතීම් වශයෙන් සත්යය, අසත්යය නොවේ. අන් අයුරකින් නොවේ. මෙසේ ද භාග්යවතුන් වහන්සේ ‘තථානි ආගතොති = තථාගතො’ තථ නම් වූ පටිසම්භිදා ඤාණ අවබෝධ කළ හෙයින් තථාගත නම් වෙති.
3.4 එසේම දතයුතු යම් කිසිවක් ඇත්නම් ඒ සියල්ල භාග්යවතුන් වහන්සේ විසින් දැනගන්නා ලදී. දක්නා ලදී. අවබෝධ කරන ලදී. මනා සේ අවබෝධ කරන ලදී. එසේම උන්වහන්සේ විසින් ස්වභාව ලක්ෂණ අවබෝධ කිරීම් වශයෙන් යහපත් ආකාරයෙන් දතයුතු (අභිඤ්ඤෙය්ය) ධර්ම අභිඤ්ඤෙය්ය වශයෙන් අවබෝධ කරන ලදී. සාමාන්ය ලක්ෂණ අවබෝධ කිරිම් වශයෙන් ද අනිත්යාදී කෘත්ය විමසා බැලීම් වශයෙන් ද පතුරුවා දතයුතු (පරිඤ්ඤෙය්ය) ධර්ම පරිඤ්ඤෙය්ය වශයෙන් අවබෝධ කරන ලදී. දුරු කළයුතු (පහාතබ්බ) ධර්ම දුරුකිරීම් වශයෙන් අවබෝධ කරන ලදී. ප්රත්යක්ෂ කළයුතු (සච්ඡිකාතබ්බ) ධර්ම ප්රත්යක්ෂ කිරීම් වශයෙන් අවබෝධ කරන ලදී. වැඩිය යුතු ධර්ම වැඩීම් වශයෙන් අවබෝධ කරන ලදී. මෙනම් වූ ඒ ධර්ම උන්වහන්සේ විසින් අවබෝධ නොකරන ලදැයි යම් ආකාරයකින් කරුණු සහිතව යොදන්නට (ඉදිරිපත් කරන්නට) සමත් කිසියම් ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ නැත.
දුරු කළයුතු යම් කිසිවක් ඇත්නම් භාග්යවතුන් වහන්සේගේ ඒ සියල්ල ඉතිරි නැතිව බෝධිමූලයෙහිදීම ප්රහීණ විය. නැවත නූපදින ස්වභාව ඇත්තේය. දුරු කළයුතු දේ දුරුකිරීම පිණිස මත්තෙහි කළ යුත්තක් නැත. එසේම උන්වහන්සේ විසින් ලෝභ - දෝස - මෝහ - විපරීත මනසිකාර - අහිරික - අනොත්තප්ප - ථිනමිද්ධ - ක්රෝධ - උපනාහ - මක්ඛ - පලාස - ඉස්සා - මචඡරිය - මායා - සාඨෙය්ය - ථම්භ - සාරම්භ - මාන - අතිමාන - මද - පමාද - අකුසල් මුල් තුන - දුශ්චරිත - විපරීත විසම සංඥාමල - විතක්ක මල ප්රපංච ඒසනා තණ්හාව විපරියේස සතර - ආසව - ග්රන්ථ - ඕඝ - යෝග - අගති - තණ්හා - උපාදාන - අභිනන්දන පහ - නීවරණ - චෙතෝඛීල - චෙතසො විනිබන්ධ - විවාදමූල හය - අනුසය හත - මිච්ඡත්ත අට - ආඝාත වස්තු නවය - තණ්හා මූලික දස අකුසල කර්මපථ - අනේසන විසිඑක - දෘෂ්ටි හැටදෙක - තණ්හා විචරිත එකසිය අට ආදී ප්රභේද ඇති කෙලෙස් එක්දහස් පන්සීය වාසනා (සසර පුරුදු) සහිතව දුරුකරන ලදී. සහමුලින් නසන ලදී. උදුරාදමන ලදී. මෙනම් වූ ඒ කෙලෙස් උන්වහන්සේ විසින් ප්රහීණ නොකරන ලදැයි යම් ආකාරයකින් කරුණු සහිතව යොදන්නට (ඉදිරිපත් කරන්නට) සමත් කිසියම් ශ්රමණයෙක් හෝ -පෙ- බ්රහ්මයෙක් හෝ නැත.
භාග්යවතුන් වහන්සේ විසින් යම් මේ (පංච ආනන්තරිය - භික්ෂුණී දූෂක යන) කර්ම - (පණ්ඩක - තිරිසන් - උභතෝ බ්යඤ්ජනකයන්ගේ ප්රතිසන්ධි නම් වූ) විපාක (නියත මිථ්යා දෘෂ්ටි නම් වූ) ක්ලේශ (ආර්ය) උපවාද - (දැන දැන ශික්ෂාපද කැඩීමෙන් ආපත්තිවලට පැමිණීම නම් වූ) ආණාවීතික්කම යන ප්රභේද ඇති අන්තරායික ධර්ම කියන ලද ද ඒකාන්තයෙන් ඒවා ඇසුරු කරන්නාට අනතුරු පිණිස සමත් නොවේ යයි යම් ආකාරයකින් කරුණු සහිතව යොදන්නට (ඉදිරිපත් කරන්නට) සමත් කිසියම් ශ්රමණයෙක් හෝ -පෙ- බ්රහ්මයෙක් නැත.
භාග්යවතුන් වහන්සේ විසින් ඉතිරි නොකොට සසර දුකින් නික්මීම පිණිස ශීල - සමාධි - ප්රඥා සංග්රහය කොටස් හතකින් යුත් ප්රභේද තිස්හතක් ඇති ආර්ය මාර්ගය පෙරටු කොට ඇති අනුත්තර වූ නිවනට පමුණුවන ධර්මය දේශනා කරන ලදී. ඒ ධර්මය ඒකාන්තයෙන් ම පිළිපදින තැනැත්තාට අයත් සසර දුකින් එතරට පමුණුවයි. උන්වහන්සේ විසින් නිවනට පමුණුවන ධර්මය යනුවෙන් දේශනා කළ ධර්මය නිවනට නොපමුණුවන්නේයයි යම් ආකාරයකින් කරුණු සහිතව යොදන්නට (ඉදිරිපත් කරන්නට) සමත් ශ්රමණයෙක් හෝ -පෙ- බ්රහ්මයෙක් හෝ නැත. ඒ කාරණය මෙසේ කියන ලදී. ‘සම්මා සම්බුද්ධස්ස තෙ පටිජානතො ඉමෙ ධම්මා අනභිසම්බුද්ධා’ ‘සම්මා සම්බුද්ධ වෙමි’යි ප්රතිඥා කරන්නා වූ ඔබ විසින් මෙනම් ධර්ම අවබෝධ නොකරන ලදැයි’ යන විස්තරය (යෙදිය යුතුය). මෙසේ තමාගේ ඥානප්රහාණ දේශනා විශේෂයන්ගේ නොවෙනස්වන ස්වභාවය අවබෝධ කිරීම් හේතුවෙන් නොවෙනස්ව පැවති භාග්යවතුන් වහන්සේගේ ඒ විශාරද ඥාන සතර සත්යය අසත්ය නොවේ. වෙනස් නොවේ. මෙසේ ද භාග්යවතුන් වහන්සේ චතුර්වෛශාරද්ය ඥාන අවබෝධ කළහ යන අර්ථයෙන් තථාගත නම් වෙති.