7. ආනාතාපී සූත්ර වර්ණනාව
සත්වන සූත්රයෙහි අනාතාපී යනු කෙලෙසුන් තවන අර්ථයෙන් ආතාප නම් වේ. වීර්යය යි. එය මොහුට ඇත්තේය යන අරුතින් ආතාපී නම් වේ. ආතාපී නොවන්නේ අනාතාපී නම් වේ. සම්යක් ප්රධානයෙන් තොරවූ කුසීත පුද්ගලයායි කියන ලද්දේ වෙයි. පාපයට තැතිගැනීම ඔත්තාපයයි කියනු ලැබේ. එය ඔහුට ඇත්තේය යන අරුතින් ඔත්තාපී නම් වේ. ඔත්තාපී නො වන්නේ අනොත්තාපීය. ඔත්තාපය (පාපයට තැතිගැනීම) නැති තැනැත්තා නොහොත් වීර්යයට විරුද්ධ වූයේ අනාතාප නමි. කුසීත බවයි. එය මොහුට ඇත්තේය යන අරුතින් අනොත්තාපී නම් වේ. ‘යං න ඔත්තප්පති ඔත්තප්පිතබ්බෙන න ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා’ ‘යමකින් බියවිය යුත්තට බිය නොවේද ලාමක අකුසල ධර්මවලට පැමිණීමට (පත්වීමට) බිය නොවේද?’මෙසේ කියන ලද ඒ පාපයට බිය නොවීම අනොත්තාපයයි. එය මොහුට ඇත්තේය යන අරුතින් අනොත්තාපී යනුවෙන් මෙසේ මෙහි අර්ථය දතයුතුය.
අභබ්බො යනු නුසුදුසු. සම්බොධාය යනු ආර්ය මාර්ගය පිණිස. නිබ්බාණාය යනු කෙලෙසුන් අතිශයින් සන්සිඳීම පිණිස අමෘතමහා නිර්වාණය පිණිස. අනුත්තරස්ස යොගක්ඛෙමස්ස යනු අර්හත් ඵලය පිණිස, එයට වැඩියෙන් උසස් දෙයක් නැති බැවින් අනුත්තර වූ, සතර යෝගයගෙන් නූපන් බැවින් ක්ෂේමය නිර්භයය යන අරුතින් යොගක්ඛෙමයයි කියනු ලැබේ. අධිගමාය යනු පැමිණීම පිණිස. ආතාපී යනු වීර්යය ඇති පුද්ගලයා, හෙතෙම ‘අකුසල ධර්මයන්ගේ ප්රහාණය පිණිස කුශල ධර්මයන්ගේ වැඩීම පිණිස අරඹන ලද වීර්ය ඇත්තේ බලවත් වූයේ දැඩි වූ උත්සාහය ඇත්තේ කුශල ධර්මයන්හි ඉවත් නොකළ වීර්ය ඇත්තේ වාසය කරයි’ යනුවෙන් මෙසේ කියන ලද වීර්ය ආරම්භයෙන් යුක්ත වූයේ කෙලෙසුන් අතිශයින්ම තවන ස්වභාවය ඇත්තේ යන අරුතින් ආතාපී නම් වේ. ඔත්තාපී යනු යං ඔත්තප්පති, ඔත්තප්පි තබ්බෙන ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා ‘යමකින් බියවිය යුත්තට බියවේද, ලාමක වූ අකුශල ධර්මයන්ගේ පැමිණීමට (පත්වීමට) බියවේද’ යනුවෙන් මෙසේ කියන ලද ඔත්තප්පයෙන් (පාපයට බියවීමෙන්) යුක්ත වූ බැවින් ඔත්තප්පන සීලය (පාපයට බියවන ස්වභාවය) ඔත්තාපී නම් වේ. මෙය ඔත්තාපී යයි කියන ලදී. එයින් තොර නොවූ බැවින් පාපයට ඇති ලජ්ජාවෙන් ද යුක්ත වූයේ ම වෙයි යන අරුතින් හිරිඔතප් දෙකින් යුක්ත වූයේ අනුමාත්ර වූ ද වරදෙහි බියදක්නා සුලු වූයේ සීලය සම්පූර්ණ කරන්නෙක් වෙයි. මෙසේ මොහුගේ සීල සම්පදාව දක්වන ලද්දේ වෙයි. ‘ආතාපී’ යනු මේ ක්රමයෙන් මොහුගේ කෙලෙස් තවන ලද බව දැක්වීමෙන් සමථ විදර්ශනා භාවනාවෙහි යෙදුණු බව දක්වන ලදී. කියන ලද ආකාර ඇති වීර්යයද ශ්රද්ධා-සති-සමාධි-ප්රඥාවගෙන් තොර නොවෙයි යනුවෙන් විමුක්තිය මුහුකුරුවන (මෝරවන) ශ්රද්ධාව පස්වනුකොට ඇති ඉන්ද්රිය අර්ථ වශයෙන් කියන ලද්දේම වෙයි. ඒ ඉන්ද්රිය ධර්ම සිද්ධ වූ කල්හි අනිත්ය සංඥාවත් අනිත්යයෙහි දුක්ඛ සංඥාවත්, දුකෙහි අනත්ත සඤ්ඤාව, පහාන සඤ්ඤාව, විරාග සඤ්ඤාව, නිරෝධ සඤ්ඤාව යන නිබ්බේධභාගිය (ආර්ය මාර්ගයට අදාළ) සඤ්ඤා හය සිද්ධ වූයේම වෙයි යනුවෙන් මෙසේ මේ ධර්ම දෙකින් යුක්ත තැනැත්තාගේ ලෞකික සීල-සමාධි-ප්රඥාවන්ගේ සිදුවීමෙන් මාර්ග-ඵල නිවනට පැමිණීම පිණිස සුදුසු බව දක්වමින් ‘ආතාපී ඛො භික්ඛවෙ -පෙ අධිගමාය’ යනුවෙන් වදාළහ.
ගාථාවන්හි - කුසීතො යනු මිථ්යා විතර්ක (වැරදි කල්පනා) බහුල බැවින් කාම-ව්යාපාද-විහිංසා නම් වූ පිළිකුල් පාපධර්මවලින් ආශ්රිත වූයේ සම්බන්ධ වූයේ යුක්ත වූයේය යන අරුතින් කුසීත නම් වෙයි. පිළිකුල් දහමට ගිලාබසී (සීදති) හෝ යහපත් ප්රතිපත්තියෙන් බැහැරවෙයි (අවසීදති) යන අරුතින් (සීදති, අවසීදති යන තැන්වල ඇති ‘ද’ කාරයට ‘ත’ කාරය කොට කුසීත නම් වේ. හීන වීරියො යනු වීර්ය නැති, සතර ඉරියව්වෙහිම වීර්ය කිරීමෙන් තොර වූයේ, අනුත්සාහයෙහි ස්ථිර වූ ස්වභාවය ඇති සිතේ අලස බව නම් වූ ථිනයේ ද සම්පත් නැතිකරන කයේ (චෛතසිකයේ) අලස බව නම් වූ මිද්ධයේ ද නිතර පැවතීමෙන් ථිනමිද්ධය බහුලකොට ඇත්තේ. පාපයට පිළිකුල් කරන ලක්ෂණය නම් වූ හිරිය නැති බැවින් ද එයට ප්රතිවිරුද්ධ වූ අහිරිකයෙන් යුක්ත වූ බැවින් ද අහිරිකො නම් වේ. හිරි-ඔතප්-වීර්ය නැති බැවින් යහපත් ප්රතිපත්තිය කෙරෙහි ඔහුගේ ආදරයක් නැත යන අරුතින් අනාදරො නම් වේ. දෙයාකාරයෙන්ම එබඳු ස්වභාව ඇති පුද්ගලයා විසින් (හිරිඔතප් හා වීර්ය යන) දෙවැදෑරුම් ක්රියා නොකිරීමෙන් අනාදර නම් වේ. ඵුට්ඨුං යනු ස්පර්ශ කරන්නට, සම්බොධි මුත්තමං යනු සම්බෝධි නම් වූ උතුම් වූ අර්හත් බව ලබන්නට නුසුදුසුය යන අර්ථයි.
සතිමා යනු බොහෝ කලකට පෙර කරන ලද දේ ද කියන ලද දේ ද සිහිකිරිමෙහි සමත් වූ සිහිය හා ප්රඥාව ඇති බැවින් සතර සතිපට්ඨානයෙහි යෙදීමෙන් සිහි ඇති නිපකො යනු සත්තැනක පවතින සම්පජඤ්ඤ නම් වූ ද කමටහන් පරිහරණය කරන ප්රඥාව නම් වූ ද නුවණින් යුක්ත වූ බැවින් නිපකො නම් වේ. ඣායී යනු අරමුණ නැවත නැවත සිතීමෙන් ද ලක්ෂණ නැවත නැවත සිතීමෙන්දැයි යන ධ්යාන දෙකෙන්ම ධ්යාන ඇත්තේ. අප්පමත්තො යනු ‘දිවසං චංකමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති’ ‘දවාලෙහි සක්මනෙන් ද හිඳීමෙන් ද ආවරණ (නීවරණ) ධර්මවලින් සිත පිරිසිදු කරයි’ යනාදී ක්රමයෙන් කමටහන භාවනා කිරීමෙන් අප්රමාද වූයේ.
සංයෝජනං ජාතිජරාය ඡෙත්වා යනු ජාතියෙන් මෙන් ම ජරාවෙන් ද සත්ත්වයන් එකට සම්බන්ධ කරයි යන අරුතින් සංයෝජන යනුවෙන් ලබන ලද නම් ඇති කාමරාගාදී දසවිධ වූ උපන් කෙලෙස් අනුසය නැසීම් වශයෙන් සහමුලින් උපුටා දමා, නැතහොත් ‘සංයොජනං ජාතිජරාය ඡෙත්වා’ යනු ජාති ජරාවේ සංයෝජනය සිඳදමා, සංයෝජන සිඳ නො දමන ලද තැනැත්තාගේ ජාති, ජරා නො සිඳන ලද්දේ සහමුලින් උපුටා නොදමන ලද්දේම වෙයි. යමෙකුගේ සංයෝජන සිඳින ලද ද ඔහුගේ ජාති ජරා සිඳ දමන ලද්දේමය. කාරණය (හේතුව) සහමුලින් උපුටා දමන ලද හෙයිනි. එහෙයින් සංයෝජන සිඳ දමන තැනැත්තාම ජාතිජරා ද සිඳියි. එහෙයින් ‘සංයෝජනං ජාති ජරාය ඡෙත්වා’ යි කියන ලදී. ඉධෙව සම්බොධි මනුත්තරං ඵුසෙ යනු මේ ආත්ම භාවයෙහි ම අග්ර මාර්ගය වූ අර්හත්වය හෝ ස්පර්ශ කරන්නේය. අර්හත්වයට පැමිණෙන්නේ ය.
සත්වන සූත්රයයි.
8. ප්රථම ජනකුහන සූත්ර වර්ණනාව
අටවන සූත්රයෙහි නයිදං යන මෙහි ‘න’ යනු ප්රතික්ෂේප කිරිමෙහි නිපාතය යි. එයට (න කාරයට) ‘වුස්සති’ යන මේ පදයෙන් සම්බන්ධය ඇතිවෙයි. ‘ය’ කාරය පද සන්ධි කරයි. ‘ඉදං’ ශබ්දය ‘එකමිදාහං භික්ඛවෙ සමයං උක්කට්ඨායං විහරාමි සුභගවනෙ සාලරාජමූලෙ’ ‘මහණෙනි, මම එක් කලෙක උක්කට්ඨා නුවර සුභග වනයෙහි සාලරාජ මූලයෙහි වාසය කරමි’ යනාදියෙහි (එකං-ඉදං-අහං) නිපාත මාත්රයකි. ‘ඉදං ඛො තං භික්ඛවෙ අප්පමත්තකං ඔරමත්තකං සීලමත්තකං’ ‘මහණනි, (තථාගතයන්ගේ ගුණ කියන පෘථග්ජන තෙමේ යමකින් එය කියන්නේ නම්) මේ (ඔහු කියන) ඒ ගුණය මද වූ සුළු වූ සිල් පමණක්ම වූ එකකි’ යනාදියෙහි කියන ලද පරිදි ආසන්න ප්රත්යක්ෂයෙහි ආයේය.