8. මානපරිඤ්ඤා සූත්‍ර වර්ණනාව
අටවන සූත්‍රයෙහි - පෙර නො කියන ලද්දක් නැත. හුදෙක් මාන වශයෙන් දේශනාව පැවතුණි. ගාථාවලදී මානුපෙතා අයං පජා යනු කර්ම ක්ලේශයන් කරණකොට ජාත (උපන්) බැවින් පජා යනුවෙන් ලබන ලද නම් ඇති මේ සත්ත්වයෝ මැනීම් ලක්‍ෂණයෙන් මානයෙන් යුක්ත වූවාහුය.
මානගන්‍ථො භවෙ රතා යනු පණු ගැඩවිල් පළඟැටි ආදී ආත්මභාවයෙහිද මානයෙන් ගෙතුනාහු මාන සංයෝජනයෙන් යුක්ත වූවාහු එහෙයින්ම බොහෝ කාලයක් පුරුදු කරන ලද අහංකාර වශයෙන් මේ මගේ යයි සංස්කාරයන්හි ගිලගැන්ම (ඇල්ම) බහුල බැවින් එහි නිච්ච (නිත්‍ය) ධුව (ස්ථිර) සුභ (යහපත්) සුබ (සැප) අත්ත (ආත්ම) ආදී විපර්යාස (වෙනස් ආකාර) වශයෙන් ද කාමාදි භවයෙහි ඇලුණාහු.
මානං අපරිජානන්තා යනු එහෙයින් ඒ මානය පරිඤ්ඤා තුනෙන් පිරිසිඳ නො දන්නාහු අරහත් මාර්ග ඥානයෙන් හෝ නො ඉක්මවන්නාහු. ‘මානං අපරිඤ්ඤාය’ යනුවෙන් ඇතැම්හු කියති.
ආගන්තාරො පුනබ්භවං යනු නැවත මත්තෙහි උත්පත්තිභවය. නැවත නැවත සිදුවීම් වශයෙන් හෝ පුනර්භව නම් වූ සංසාරය ඔබිමොබ පෙරළීම් වශයෙන් හෝ යන්නාහු එළඹෙන්නාහු වෙති. භවයෙන් නො මිදෙතියි යන අර්ථයි.
යෙ ච මානං පහත්‍වාන විමුත්තා මානසංඛයෙ යනු යමෙක් අර්හත් මාර්ගයෙන් සියලු ආකාරයෙන් මානය දුරුකොට මානයේ සම්පූර්ණ ප්‍රහාණය වූ අර්හත් ඵලයෙහි හෝ නිවනෙහි හෝ මානය සමග උපන් සියලු කෙලෙසුන්ගෙන් මිදීමෙන් මිදුනාහු ද මනාව මිදුනාහු ද,
තෙ මානගන්‍ථාභිභූනො සබ්බං දුක්‍ඛමුපච්චගුං යනු ගෙවාදමන ලද භව සංයෝජන (බන්‍ධන) ඇති ඒ රහත්හු සියලු ආකාරයෙන් මානයෙන් ගෙතීම, මාන සංයෝජනය සහමුලින් දුරුකිරීමෙන් මැඬපවත්වා සිටියාහු සසර දුක ඉතිරි නොකොට ඉක්මවූවාහුය යන අර්ථයි. මෙසේ මේ අටවන සූත්‍රයෙහි ද රහත් බව දේශනා කරන ලදී.
අටවන සූත්‍ර වර්ණනාවයි.
9-10. ලොභපරිඤ්ඤා ආදි සූත්‍ර වර්ණනා
නවවන දසවන සූත්‍රවල පෙර නොකියන ලද්දක් නැත. දේශනා විලාස වශයෙන් හෝ එසේ අවබෝධ කරන හික්මවිය යුත්තන්ගේ අදහස් වශයෙන් හෝ එසේ දේශනා කරන ලද්දේයයි දතයුතුය.
නවවන දසවන සූත්‍ර වර්ණනායි.
ප්‍රථම වර්ග වර්ණනාව නිමියේ ය.
දෙවන වර්ගය
1-3. මොහපරිඤ්ඤා ආදි සූත්‍ර වර්ණනා
දෙවන වර්ගයෙහි ද පළමු ආදී සූත්‍ර තුන කියන ලද ආකාරයෙන්මය. එසේම දේශනාවට කාරණය ද කියන ලද්දේම ය.
4. අවිජ්ජානීවරණ සූත්‍ර වර්ණනාව
සිවුවැනි සූත්‍රයෙහි නාහං භික්‍ඛවෙ යනාදියෙහි ‘න’ කාරය ප්‍රතික්‍ෂේප කිරීම් අර්ථ ඇත්තේය. ‘අහං’ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ පෙන්වති. අඤ්ඤං යනු දැන් කිවයුතු අවිද්‍යා නීවරණයෙන් අනිකක්. එකනීවරණම්පි යනු එක් නීවරණ ධර්මයකුත්. සමනුපස්සාමි යනු දිට්ඨි සමනුපස්සනාව ද ඤාණ සමනුපස්සනාවදැයි සමනුපස්සනා දෙකකි. එහි ‘රූපං අත්තතො සමනුපස්සති’ ‘රූපය ආත්ම වශයෙන් දකියි’ යනාදී වශයෙන් පැමිණි මෙය දිට්ඨි සමනුපස්සනා නම් වේ. ‘අනිච්චතො සමනුපස්සති නො නිච්චතො’ ‘අනිත්‍ය වශයෙන් දකියි. නිත්‍ය වශයෙන් නොදකියි’ යනාදී වශයෙන් පැමිණි මෙය ඤාණ සමනුපස්සනා නම් වේ. මෙහිදී ද ඤාණ සමනුපස්සනාව ම අදහස් කරන ලදී. ‘සමනුපස්සාමි’ යන පදය න කාරයෙන් සම්බන්ධ වෙයි. ‘මහණෙනි, සර්වඥතා ඥාන සංඛ්‍යාත සමන්ත චක්‍ෂුවෙන් (සමතැසින්) සියලු ධර්මයන් අතෙහි වූ නෙල්ලි ගෙඩියක් බලන්නාක් මෙන් බලමින් අන් එක නීවරණයකුදු නො දකිමි’ යන මෙය කියන ලද්දේ වෙයි.
යෙන නීවරණෙන නිවුතා පජා දීඝරත්තං සන්‍ධාවන්ති සංසරන්ති යනු නීවරණක ස්වභාවය ඇති යම් නීවරණයකින් ධර්ම ස්වභාවය දැනගන්නට, දැකගන්නට, අවබෝධ කරගන්නට නොදී වසාගෙන හාත්පසින් වසාගෙන සිටීමෙන් අන්ධකාරයෙන් වසන ලද සත්ත්වයෝ මුලක් නැති සසරෙහි අප්‍රමාණ කල්පයෙහි මහත් වූද කුඩා වූද භවවල භවයෙන් භවයෙහි උප්පත්ති වශයෙන් සියලු ආකාරයෙන් දිවීමද කරති, හැසිරීමද කරති. අරමුණු අතර ගමන් කිරීම් වශයෙන් පැවැත්ම හෝ සන්ධාවනයයි. භවයෙන් භවය ගමන්කිරීම් වශයෙන් පැවැත්ම හෝ සංසරණයයි. කෙලෙසුන්ගේ බලවත් බැවින් සන්ධාවනය වෙයි. දුර්වල බැවින් සංසරණය වෙයි. එක ජාතියක ඇසිල්ලෙන් ඇසිල්ල මැරීම් වශයෙන් සන්ධාවනය වෙයි. නොයෙක් ජාතීන්හි ව්‍යවහාර මරණ වශයෙන් සංසරණය වෙයි. ‘චිත්තමස්ස විධාවති’ ‘ඔහුගේ සිත ඔබමොබ දුවයි’ යනුවෙන් කියන ලද හෙයින් චිත්ත වශයෙන් සන්ධාවනය වෙයි. කර්ම වශයෙන් සංසරණය වෙයි. මෙසේ සන්ධාවන සංසරණ යන පදවල වෙනස දතයුතුය.
යථයිදං යනු යථා ඉදං, ය කාරය පද සන්ධි කරන්නාය. සන්ධි වශයෙන් (‘ථා’ හි ඇති ‘ආ’ යන්න) කෙටි බවට පැමිණේ. අවිජ්ජා නීවරණං යනු මෙහි පුරවන්ට නුසුදුසු අර්ථයෙන් කාය දුශ්චරිතාදියය අවින්දිය නම් වේ. නොලැබිය යුතුය යන අර්ථය යි. ඒ නොවිඳියයුක්ත විඳියි යන අර්ථයෙන් අවිද්‍යා නම් වේ. මෙයට විරුද්ධ අර්ථ වශයෙන් කාය සුචරිතාදිය විඳිය යුතු ධර්ම නම් වේ. ඒ විඳිය යුත්ත නො විඳියි යන අර්ථයෙන් අවිද්‍යා නම් වේ. ස්කන්ධයන්ගේ රාශි අර්ථය ආයතනයන්ගේ රැස්කිරීම් අර්ථය, ධාතුන්ගේ හිස් වූ (ශුන්‍ය) අර්ථය, ඉන්ද්‍රියයන්ගේ අධිපති බව යන අර්ථය, සත්‍යයන්ගේ නොවෙනස් වූ අර්ථය, දුක්ඛාදීන්ගේ පීඩාකිරීම් ආදී වශයෙන් කියන ලද සිවුවැදෑරුම් අර්ථය නො දනියි යන අර්ථයෙන් ද අවිද්‍යා නම් වේ. අගක් නැති සසරෙහි සත්ත්වයන් දුවවයි යන අර්ථයෙන් හෝ අවිද්‍යා නම් වේ. පරමාර්ථ වශයෙන් අවිද්‍යාමාන ස්ත්‍රී පුරුෂ ආදීන් කෙරෙහි දුවයි, පවතියි, විද්‍යමාන ස්කන්ධාදීන් කෙරෙහි නො දුවයි, නො පවතියි යන අර්ථයෙන් අවිද්‍යා නම් වේ. තව ද චක්ඛු විඤ්ඤාණාදීන්ගේ ද චක්ඛු ආදි වස්තුවල ද රූපාදී අරමුණුවල ද පටිච්ච සමුප්පාද පටිච්ච සමුප්පන්න ධර්මයන්ගේ ද වැසීම කරන හෙයින් අවිද්‍යා නම් වේ. අවිද්‍යාවම නීවරණය හෙයින් අවිද්‍යා නීවරණ නම් වේ.