එහි ඤාත පරිඤ්ඤා යනු කුමක්ද? ත්‍රෛභූමික සියලු නාමරූප ධර්ම මේ රූපය, රූපය මෙපමණකි, මීට වඩා වැඩි නැත, මේ නාමය, නාමය මෙපමණකි, මීට වඩා වැඩි නැතැයි භූත, පසාද ආදී ප්‍රභේද ඇති රූපය ද ඵස්ස ආදී භේද ඇති නාමය ද ලක්‍ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන වශයෙන් වෙන් වෙන්කොට සලකා බලයි. මේවාට කර්මය අවිද්‍යාව ආදිය ප්‍රත්‍යයයි (හේතුයයි) පරීක්‍ෂා කර බලයි. මෙය ඤාත පරිඤ්ඤාව ය.
තීරණ පරිඤ්ඤාව යනු කුමක් ද? මෙසේ ඤාත පරිඤ්ඤාව දැන ඒ සියල්ල අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන් යනාදී හතළිස් දෙයාකාරයකින් තීරණය කරයි. මෙය තීරණ පරිඤ්ඤාව ය.
පහාණ පරිඤ්ඤාව යනු කුමක්ද? මෙසේ තීරණය කොට අග්‍ර (අරහත්) මාර්ගයෙන් සියල්ල කෙරෙහි ඇති ඡන්‍දරාගය දුරු කරයි. මෙය පහාණ පරිඤ්ඤාව ය.
දිට්ඨි විසුද්ධි, කංඛා විතරණ විසුද්ධි ඤාත පරිඤ්ඤා ය. මග්ගා මග්ග ඤාණ දස්සන විසුද්ධි, පටිපදා ඤාණදස්සන විසුද්ධි, කලාප විමසා බැලීම ආදී අනුලෝමය අවසන් කොට ඇති ප්‍රඥාව හෝ තීරණ පරිඤ්ඤාවය. ආර්ය මාර්ගයෙන් දුරුකිරීම පහාණ පරිඤ්ඤාව ය. සියල්ල පිරිසිඳ දැනගන්නා පුද්ගලයා මේ පරිඤ්ඤා තුනෙන් පිරිසිඳ දැනගනියි. මෙහිදී (මේ සූත්‍රයෙහිදී) විරාග ප්‍රහාණයන් ප්‍රතික්‍ෂේප කිරීම් වශයෙන් වෙන්ව ගන්නා ලද බැවින් ඤාත පරිඤ්ඤා, තීරණ පරිඤ්ඤා වශයෙන්ද පිරිසිඳ දැනීම දතයුතුය. මෙසේ පිරිසිඳ නො දන්නා වූ පුද්ගලයා සඳහා ‘අපරිජානං’ යනුවෙන් කියන ලදී.
තත්‍ථ චිත්තං අවිරාජයං යනු ඒ අභිඤ්ඤය්‍ය විෂයෙහි පරිඤ්ඤෙය්‍ය විෂයෙහි තමාගේ චිත්ත සන්තානය නො අලවන්නේ, එහි රාගය ඇති නොවන ලෙස විරාගානුපස්සනාව නො ඉපදවන්නේය යන අර්ථය.
අප්පජහං යනු විදර්ශනා ප්‍රඥාව සහිත මාර්ග ප්‍රඥාවෙන් එහි දුරු කළයුතු ක්ලේශ වෘත්තය (කෙලෙස් වළල්ල) ඉතිරි නොකොට දුරු නොකරන්නේ. මේ ආකාරයට මෙසේ අභිජානන ආදිය ද මිශ්‍රක මාර්ග වශයෙන් දතයුතුය. පූර්ව භාගයෙහි නොයෙක් සිත් වශයෙන් ඤාත තීරණ-පහාණ යන පරිඤ්ඤාවලින් ක්‍රමයෙන් අභිජානන (පිරිසිඳ දැනීම්) ආදිය සපයාගෙන මාර්ග කාලයෙහි එක මොහොතෙහිම කෘත්‍ය වශයෙන් ඒ සියල්ල උපදවන එකම ඤාණය පවතියි.
අභබ්බො දුක්‍ඛක්‍ඛයාය යනු නිවන පිණිස, සියලු සංසාර දුක ගෙවාදැමීම පිණිස සුදුස්සෙක් නොවේ, යෝග්‍ය නොවේ, සමත් නොවේ යන අර්ථයි.
සබ්බඤ්ච ඛො යන මෙහි ‘ච’ ශබ්දය අතිරේක (වැඩිපුර) අර්ථයෙහිය. ‘ඛො’ ශබ්දය අවධාරණ අර්ථයෙහිය. ඒ දෙකින් අභිජනනාදි වශයෙන් ලැබිය යුතු විශේෂය ද ඔහුගේ දුක් කෙළවර කිරීම පිණිස ඒකාන්ත කාරණය ද පැහැදිලි කරයි. අභිජානන ආදියෙහි කිවයුතු දෙය කියන ලද්දේම ය. එහි ප්‍රතික්‍ෂේප කිරීම් වශයෙන් කියන ලදී. මෙහි විධාන (නියම කිරීම්) වශයෙන් දතයුතුය. මෙය ම වෙනසයි.
තව ද ‘අභිජානං’ යනු උපාදානස්කන්ධ පංචකය නම් වූ සක්කාය සබ්බය ස්වරූප වශයෙන් ද ප්‍රත්‍ය වශයෙන් ද ඤාණය ඉදිරියට පැමිණවීම් (අභිමුඛීකරණ) වශයෙන් ද පිරිසිඳ දන්නා කෙනෙක් වී නොවීම් ආකාර ආදිය විමසමින් එය අනිත්‍යාදි ලක්‍ෂණවලින් පිරිසිඳ (වෙන්කොට) දැනීම් වශයෙන් පිරිසිඳ දන්නා වූ, විරාජයං යනු මනාකොට මේ ධර්මය පිළිබඳ අනිත්‍ය බව ආදි අවබෝධයෙන් උපන් භය - ආදීනව - නිබ්බිදා යනාදී ඤාණ ආනුභාවයෙන් තමාගේ සිතෙහි එහි අණුමාත්‍රයක් පමණ වූ ද රාගයක් ඇති නොකරන්නා වූ නොඋපදවන්නා වූ,
පජහං යනු වුට්ඨානගාමිනී විදර්ශනා සහිත මාර්ග ප්‍රඥාවෙන් සමුදය පක්‍ෂයට අයත් ක්ලෙශ වෘත්තය දුරුකරන්නා වූ සහමුලින් සිඳින්නා වූ. භබ්බො දුක්‍ඛක්‍ඛයාය යනු කෙලෙස්මල දුරුකිරීමෙන් ම සියලු කෙලෙස් වළල්ල (වෘත්තය) ගෙවුණු බැවින් ඉතිරි නොකොට විපාක වෘත්තය ගෙවා දැමීම පිණිස සියලු සංසාර වෘත්ත දුක ගෙවා දමන්නා වූ අනුපාදිසේස නිබ්බානධාතුව ලැබීමට සුදුසු වූයේ ඒකාන්තයෙන් එයට පැමිණීමට යනුවෙන් මෙසේ මෙහි අර්ථය දතයුතුය.