තවද මෙහි ‘ලොභං පජහථ’ යන මෙයින් පහාණ පරිඤ්ඤාව කියන ලදී. එය (පහාණ පරිඤ්ඤාව) ද තීරණ පරිඤ්ඤාවට ආසන්න කාරණයයි. තීරණ පරිඤ්ඤාව ඤාත පරිඤ්ඤාවට ආසන්න කාරණය යි. මෙසේ වෙන් නොවීම් වශයෙන් පරිඤ්ඤා තුනම අවබෝධ කරන ලද්දේ වෙයි. මෙසේ මෙහි ඵලය සහිතව චතුසත්‍ය කර්මස්ථානය පරිපූර්ණ කොට ප්‍රකාශිත යයි දතයුතුය. නැතහොත් ‘ලොභං පජහථ’ යන මෙයින් ඵලය සහිත ඤාණදස්සන විසුද්ධිය දේශනා කරන ලදී. එය ද පටිපදා ඤාණ දස්සන විසුද්ධිය ආශ්‍රයෙන් ද -පෙ- චිත්ත විසුද්ධි, සීල විසුද්ධි ආශ්‍රයෙන් ද අතරක් නැති බැවින් ඵලය සහිත සප්ත විශුද්ධි සියල්ල ප්‍රකට කරන ලදැයි දතයුතුය.
මෙසේ මේ විශුද්ධි ක්‍රම භාවනාවෙන් පරිඤ්ඤා තුන සම්පාදනයෙන් ලෝභය දුරුකරනු කැමති තැනැත්තා විසින්
අනත්‍ථ ජනනො ලොභො ලොභො චිත්තප්පකොපනො
භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣති
ලෝභය අනර්ථය උපදවන්නේය. ලෝභය සිත කලඹවන්නේය. ඇතුළත උපන්නා වූ ඒ බියට හේතුව අන්ධබාල ජනයා නොදනී.
ලුද්ධො අත්‍ථං න ජානාති - ලුද්ධො ධම්මං න පස්සති
අන්‍ධං තමං තදා හොති - යං ලොභො සහනෙ නරං
ලෝභී තැනැත්තා අර්ථය නොදනී. ලෝභී තැනැත්තා ධර්මය නොදකී.ලෝභය යම් මිනිසකු මඬියි ද එකල්හි අන්ධභාවය ඇතිකරන අඳුර වේ.
රත්තො ඛො ආවුසො රාගෙන අභිභූතො පරියාදින්න චිත්තො පාණම්පි හන්ති, අදින්නම්පි ආදියති, සන්‍ධිම්පි ඡින්‍දති, නිල්ලොපම්පි හරති, එකාගාරිකම්පි කරොති, පරිපෙන්‍ථපි තිට්ඨති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති, තදපි තෙසං භවතං සමණ බ්‍රාහ්මණානං ආජානතං අපස්සතං අවෙදයතං තණ්හානුගතානං පරිතසිතං විප්ඵන්‍දිතමෙව’
‘ඇවැත්නි, රාගයෙන් රත් වූ, රාගයෙන් මැඩගත්තා වූ රාගයෙන් ඇදගන්නා ලද සිත් ඇති තැනැත්තා සතුන් මරයි. නොදුන් දේ ගනියි. ගෘහසන්ධි ද සිඳියි. කොල්ලකෑම් කරයි. එක් ගෙයක් පැහැර ගැනීම ද කරයි. මංපැහැරීමද කරයි. පරඹුවන් කරා ද යයි. බොරු ද කියයි. එය ද නො දන්නා ලද නො දක්නා ලද නොවිඳිනා ලද තණ්හාවට අනුගත වූ තැති ගත් ඒ පින්වත් මහණ බමුණන්ගේ දැඟලීමකි.
තණ්හා දුතියො පුරිසො දීඝමද්‍ධාන සංසරං
ඉත්‍ථභාවඤ්ඤථාභාවං සංසාරං නාතිවත්තති
තෘෂ්ණාව දෙවෙනි කොටගත් පුරුෂයා දිගුකලක් සැරිසරනුයේ මෙලොව පරලොව නමැති සංසාරය නොඉක්මවයි.
නත්‍ථි රාගසමො අග්ගි
නත්‍ථි දොසසමො කලි
රාගය සමාන ගින්නක් නැත. ද්වේෂය සමාන අපරාධයක් නැත.
කාමරාගෙන ඩය්හාමි චිත්තං මෙ පරිඩය්හති (මම) කාමරාගයෙන් දැවෙමි. මගේ සිත හාත්පසින් දැවෙයි.
යෙ රාගරත්තානුපතන්ති සොතං,
සයං කතං මක්කටකොව ජාලං
යමෙක් රාගයෙන් රත්වූවාහු ද ඔවුහු තමන් විසින් කළ තෘෂ්ණා සැඬපහරට වැටෙති. මකුළුවා කළ දැලට සතුන් වැටෙන්නාක් මෙනි.
මේ ආදී සූත්‍ර පදානුසාරයෙන් නොයෙක් නොයෙක් ක්‍රමයෙන් ලෝභයේ ආදීනව (දොස්) නුවණින් සලකා බලා එය පහකිරීම පිණිස පිළිපැදිය යුතුය.
තව ද ධර්ම හයක් කාමරාගය දුරුකිරීම පිණිස පවතී. ඒ අශුභ නිමිත්ත ඉගෙනීම, අශුභ භාවනාවෙහි යෙදීම, ඉඳුරන්හි වසන ලද දොරටු ඇති බව, භෝජනයෙහි පමණ දන්නා බව, කල්‍යාණ මිත්‍රයන් ඇති බව, සුදුසු කථා යනුවෙනි. දසවිධ වූ අශුභ නිමිත්ත ඉගෙන ගන්නාගේ ද කාමරාගය දුරුවෙයි. කායගතා සති භාවනා වශයෙන් විඤ්ඤාණය සහිත අශුභයෙහි ද උද්ධුමාතක (ඉදිමුණු) ආදී වශයෙන් විඤ්ඤාණය නැති අශුභයෙහි ද අශුභ භාවනාවෙහි යෙදුනහුගේ ද මනස සයවැනි කොට ඇති ඉඳුරන්හි සංවර කිරීම් වශයෙන් සිහිය නමැති දොර පළුවෙන් වසන ලද දොරටුව ඇති තැනැත්තාගේ ද (බත්) පිඬු සතරකට හෝ පහකට හෝ ඉඩ ඇති කල්හි ජලය පානය කොට යැපෙන ස්වභාවය ඇති භෝජනයෙහි පමණ දන්නා තැනැත්තාහුගේ ද කාමරාගය දුරුවෙයි. එහෙයින් -
බත්පිඬු සතරක් පහක් නො වළඳා පැන් බොන්නේය. එය වීර්යය වඩන භික්‍ෂුවට පහසු විහරණය පිණිස සුදුසුය’යි කීහ.
අශුභ කර්මස්ථාන භාවනාවෙහි ඇලුණු කල්‍යාණ මිත්‍රයන් සේවනය කරන්නාගේ ද සිටීම, හිඳීම ආදියෙහි දස අශුභය ඇසුරුකොට ඇති සුදුසු කථාවෙන් ද (කාමරාගය) දුරුවෙයි. එහෙයින් -
‘මහණෙනි, අසුභ නිමිත්තක් ඇත. එහි නුවණින් මෙනෙහි කිරීම බහුල වශයෙන් කිරීමක් වේද මෙය නූපන් කාමච්ඡන්‍දයේ නූපදීම පිණිසත් උපන්නා වූ කාමච්ඡන්‍දයේ දුරුකිරීම පිණිසත් වේ’ යනුවෙන් කීහ.
මෙසේ පූර්ව භාගයෙහි කාමරාග සංඛ්‍යාත ලෝභයේ ප්‍රහාණය පිණිස පිළිපන් තැනැත්තා විදර්ශනාවට උනන්දු කරවා තෙවන මාර්ගයෙන්ම එය ඉතිරි නොකොට සහමුලින් සිඳ දමයි. එහෙයින් ‘ලොභං භික්‍ඛවෙ එකධම්මං පජහථ අහං වො පාටිභොගො අනාගාමිතාය’ යනුවෙන් කියන ලදී.
මෙහිදී මේ ප්‍රශ්නය ඇසීය. මෙහි වනාහි කවර ලෝභයක් දුරු වෙයිද? අතීත ද? නැතහොත් අනාගත ද නැතහොත් වර්තමාන ද? මෙහිදී පිළිතුර කුමක්ද? ඒවා නැති බැවින් පළමුකොට අතීත ලෝභය හෝ අනාගත ලෝභය හෝ පහ නොවන්නේය. පහවූ හෝ නූපන් හෝ ලෝභයක් ඇතැයි නො කියනු ලැබේ, උත්සාහයද අඵල බවට පැමිණේ. ඉක්බිති වර්තමානය, ලෝභයේ ස්වභාවය බිඳී ඇති බැවින් මෙසේම උත්සාහය අඵල වෙයි. කිලිටි වූ මාර්ග භාවනාවට ද පැමිණේ. චිත්ත විප්පයුත්ත වූ ලෝභයක් ඇත්නම් මේ න්‍යාය කැමති නොවන ලද්දේයයි කියනු ලැබේ. කියන ලද අයුරින් අතීත-අනාගත-වර්තමාන ලෝභය දුරු නො වෙයි. මෙහි යම්සේ ගෙඩි හට නොගත් තරුණ ගසක් ඇත් ද පුරුෂයෙක් ඒ ගසේ මුල් කෙටේරියෙන් කපන්නේය. ඒ ගස කැපීමක් නැති කල්හි යම් (පමණ) ගෙඩි හටගන්නේ නම් ගස කපන ලද බැවින් ‘නූපන්නා වූ ගෙඩි නූපදින්නේය. එසේම ආර්යමාර්ග අවබෝධය නැතිකල්හි ඉපදීමට සුදුසු වූ ලෝභය, ආර්ය මාර්ග අවබෝධයෙන් ප්‍රත්‍ය නසන ලද බැවින් නූපදී. අට්ඨකථාවන්හි මෙය භූමියක් ලැබ උපන්නේ යයි කියනු ලැබේ. විදර්ශනාවට අරමුණු වූ පංචස්කන්ධය ඒ ලෝභය ඉපදීමට තැනක් වන බැවින් භූමි නම් වේ. ඒ භූමිය එයින් (ලෝභයෙන්) ලබන ලදැයි ගෙන භූමියක් ලැබ උපන්නේ යයි කියනු ලැබේ. අරමුණු අයත්කොට උපන්නේ ද විෂ්කම්භනය නොකිරීමෙන් උපන්නේ ද සහමුලින් විනාශ නොකිරීමෙන් උපන්නේ ද මෙයම යයි කියනු ලැබේ.
තත්‍ථ යනු ඒ සූත්‍රයෙහි. එතං යනු දැන් ගාථා බන්ධන වශයෙන් කියන්නා වූ මේ උපන් අර්ථය යි. ඉතිවුච්චති යනු කවරකු විසින් කියනු ලැබේද? භාග්‍යවතුන් වහන්සේ විසින්මය. එබඳු අනික් තැන්වලදී සංගීතිකාරක රහතන් වහන්සේලා විසින් ද සම්බන්ධ කරන ලද ගාථා වෙයි. මෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් ම ගාථාවන්ට කැමති පුද්ගලයන්ගේ අදහස් වශයෙන් කියන ලද්දා වූ ම අර්ථය සංග්‍රහ කොට ගාථා කියන ලදී.