පජහථ යන මෙහි ප්රහාණය නම් තදංගප්පහාණ, වික්ඛම්භනප්පහාණ, සමුච්ඡේදප්පහාණ, පටිප්පස්සද්ධිපහාණ, නිස්සරණප්පහාණ යනුවෙන් පස් ආකාර වෙයි. එහි පහන් ආලෝකයෙන් මෙන් අඳුරට ප්රතිවිරුද්ධ බැවින් අලෝභාදියෙන් ලෝභාදී වූත්, නාමරූප පරිච්ඡේදා දී විදර්ශනා ඥානයෙන් ඒ ඒ අනර්ථයේ යම් ප්රහාණයක් වේද ඒ කෙසේද යත්: පරිත්යාගයෙන් ලෝභාදි කිලුටෙහි ද සීලයෙන් ප්රාණඝාත ආදී දුශ්ශීල බවෙහි ද ශ්රද්ධාදියෙන් අශ්රද්ධාදියේ ද නාමරූප වෙන් කිරීමෙන් සක්කාය දිට්ඨියේ ද ප්රත්ය පරිග්රහණයෙන් (විමසීමෙන්) අහේතු විසම හේතු දෘෂ්ටීන්ගේ ද එයට පසුකාලයේදී කංඛාවිතරණයෙන් සැක ඇති බවේ ද කලාප විමසා බැලීමෙන් මම ය මගේය යන ගැනීමේ ද මග්ගාමග්ග (මග-නොමග) වෙන් කිරීමෙන් අමාර්ගයෙහි මාර්ග සංඥාවද උදය (හටගැනීම) දැකීමෙන් උච්ඡේද දෘෂ්ටියේද වය (නැතිවීම) දැකීමෙන් ශාස්වත දෘෂ්ටියේ ද භය දැකීමෙන් භය සහිත දේවල් කෙරෙහි අභය සංඥාවේද ආදීනව දැකීමෙන් ආශ්වාද සංඥාවේ ද නිබ්බිදානුපස්සනාවෙන් (කලකිරිම අනුව දැකීමෙන්) ඇලීම් සංඥාවේ ද මුඤ්චිතුකම්යතා (මිදෙනු කැමති) ඤාණයෙන් නොමිදෙනු කැමති ඤාණයේ ද උපෙක්ඛා ඤාණයෙන් අනුපෙක්ඛාවේද අනුලෝමයෙන් ධම්මට්ඨිතියේ ද නිවනින් ප්රතිලෝම භාවයේ ද ගෝත්රභූ ඥානයෙන් සංඛාර නිමිති ගැනීමේ දී ප්රහාණය මේ තදංගප්රහාණය නම් වේ.
උපචාර අර්පණා ප්රභේද ඇති සමාධියෙන් පවතින බව වැළැක්වීම් වශයෙන් කළගෙඩි පහරින් ජලය මතුපිට සෙවෙල ඉවත් වන්නාක් මෙන් ඒ ඒ නීවරණාදී ධර්මයන්ගේ යම් ප්රහාණයක් වේද මෙය විෂ්කම්භන ප්රහාණය නම් වේ. සතර ආර්ය මාර්ග භාවිත කළ බැවින් ඒ ඒ මාර්ගයෙන් ‘අත්තනො සන්තානෙ දිට්ඨිගතානං පහාණාය’ ‘තමාගේ සිතේ දෘෂ්ටීන්ගේ ප්රහාණය පිණිස’ යනාදී ක්රමයෙන් කියන ලද සමුදය පක්ෂයට අයත් කෙලෙස් සමූහය සම්පූර්ණ වශයෙන් නොපවතින ස්වභාවයෙන් යම් සහමුලින් සිදී යාමක් වේද මෙය සමුච්ඡේද ප්රහාණය නම් වේ.
ඵලය ලැබෙන මොහොතෙහි කෙලෙසුන්ගේ යම් සන්සිඳුණු බවක් වේද මෙය පටිප්පස්සද්ධි පහාණය නම් වේ. සියලු සංඛතයන් ඉවත්කළ බැවින් ප්රහීණ වූ සියලු සංඛත ඇති යම් නිර්වාණයක් වේද මෙය නිස්සරණප්පහාණය නම් වේ. මෙසේ පස්ආකාර වූ ප්රහාණයෙහි අනාගාමී ශ්රාවකයාගෙන් ප්රහාණය අදහස් කළ බැවින් මෙය සමුච්ඡේද ප්රහාණය යනුවෙන් දතයුතුය. එහෙයින් ‘පජහථ’ යනු දුරුකරව්. සහමුලින් නසව් යන අර්ථයි.
අහං යනුවෙන් භාග්යවතුන් වහන්සේ තමන් වහන්සේ දක්වති. වො යන මේ ‘වො’ ශබ්දය පච්චත්ත (ප්රථමා විභක්ති), උපයෝග (කර්ම විභක්ති), කරණ විභක්ති, සාමි වචන (සම්බන්ධ විභක්ති), පද පූරණය, සම්පදාන (චතුර්ථි විභක්ති) යන අර්ථයන්හි දක්නා ලැබේ. ඒ මෙසේය. ‘කච්චි පන වො අනුරුද්ධා සමග්ගා සම්මොදමානා’ ‘අනුරුද්ධයෙනි, කිම තෙපි සමගිව සතුටුව’ යනාදියෙහි ප්රථම විභක්තියෙහි ආයේය. ‘ගච්ඡථ භික්ඛවෙ පනාමෙමි වො’ ‘යව මහණෙනි, තොප බැහැර කෙරෙමි’ යනාදියෙහි කර්ම විභක්තියෙහි ආයේය. ‘න වො මම සත්තිකෙ වත්ථබ්බං’ ‘තොප මා වෙත නො විසිය යුතුය’ යනාදියෙහි කරණ විභක්තියෙහි ආයේය. ‘සබ්බෙසං වො සාරිපුත්ත සුභාසිතං’ ශාරිපුත්රයෙනි, තොප හැමගේ භාෂිතයෝ’ සුභාෂිතයහ. යනාදියෙහි සම්බන්ධ විභක්ති අර්ථයෙහි යෙදේ. ‘යෙ හි වො අරියා පරිසුද්ධකාය කම්මන්තා’ ‘යම් ආර්ය කෙනෙක් පිරිසිදු කාය කර්ම ඇත්තාහු’ යනාදියෙහි පද පූරණයෙහි ආයේය. ‘වනපත්ථ පරියායං වො භික්ඛවෙ දෙසිස්සාමි’ ‘මහණෙනි, තොපට වනපත් (ගමින් දුර වූ සෙනසුනක්) දහමක් දෙසමි’ යනාදියෙහි සම්ප්රදානයෙහි ආයේය. මෙහි ද සම්ප්රදානයෙහිම යයි දතයුතුය.
පාටිභොගො යනු ඇපකරු ය. ඔහු වනාහි ණය ගත් තැනැත්තා නිසා ණය දුන් තැනැත්තාට ද ණය දුන් තැනැත්තා නිසා ණය ගත් තැනැත්තාට ද අතරමැදි පුද්ගලයා (ප්රතිනිධිය) වූයේ ණය දුන් තැනැත්තා සතු වූ දේ ඔහුගෙන් ගෙනයාම් ආදී වශයෙන් අනුභව කරන හෙයින් භෝග ඇත යන අර්ථයෙන් පටිභොග නම් වේ. පටිභොගය ම පාටිභොගය යි. අනාගාමිතාය යනු අනාගාමී බව පිණිස, පිළිසිඳ ගැනීම වශයෙන් කාම භවයට නොපැමිණීමෙන් අනාගාමි යයි කියනු ලැබේ ද ඵලය සහිත වූ ඒ තෙවන මාර්ගය අනාගාමිතා නම් වේ. මෙසේ හික්මවිය යුත්තන් දමනය කිරීමෙහි දක්ෂ වූ භාග්යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම්සේ බිඳුණු භූමිකා (කොටස්) ඇති පටිඝ සංයෝජනාදී තෙවන මාර්ගයෙන් දුරුකළ යුතු කෙලෙස් යම්සේ කාමරාග ප්රහාණය නො ඉක්මවයි ද එසේ හික්මවිය යුත්තන්ගේ අදහසට අනුකූල වූ තුන්වන මාර්ගාවබෝධය සැහැල්ලු උපායෙන් එක් ධර්මයක් පිරිම් මාත්රයෙන් ස්ථිර කොට දැක්වූහ.
කුමක් හෙයින් භාග්යවතුන් වහන්සේ තමන්වහන්සේ ඇපකරු බවෙහි තැබුවාහුද? ඒ භික්ෂූන්ට අනාගාමි මාර්ගාවබෝධයට උත්සාහ ඉපදවීම පිණිසයි. මා විසින් ‘මහණෙනි, එක් ධර්මයක් දුරුකරව්. මම ඔබලාට අනාගාමි බව පිණිස ඇපවෙමියි කී කල්හි මේ භික්ෂූහු ඒකාන්තයෙන් ඒ එක් ධර්මය දුරුකොට තෙවන භූමිය අවබෝධ කරන්නට හැකි වෙති. යම්හෙයකින් ධර්ම ස්වාමීන් වහන්සේ පළමුකොට මම ඇපවෙමියි කීවාහු ද එහෙයින් හටගත් උත්සාහ ඇත්තාහු ඒ සඳහා පිළිපැදිය යුතුය යනුවෙන් හඟින්නාහු යයි භාග්යවතුන් වහන්සේ දකිති. එහෙයින් අනාගාමි බව පිණිස උත්සාහය ඉපදවීම පිණිස ඒ භික්ෂූන්ට තමන්වහන්සේ ඇපවීමෙහි තැබූහ.
කතමං එකධම්මං යන මෙහි ‘කතමං’ යනු විමසන වචනයයි. මේ විමසීම ද අදිට්ඨජොතනා පුච්ඡා, දිට්ඨසංසන්දනා පුච්ඡා, විමතිච්ඡෙදනා පුච්ඡා, අනුමති පුච්ඡා, කථෙතු කම්යතා පුච්ඡා යනුවෙන් පස් ආකාරය. එහි ස්වභාවයෙන් ලක්ෂණය නො දන්නා ලද්දේ, නොදක්නා ලද්දේ, තුලනය (කිරීම) නො කරන ලද්දේ, තීරණය නො කරන ලද්දේ, නොදැනගන්නා ලද්දේ, අප්රකට වූයේ, විස්තර නොකරන ලද්දේ වෙයි. ඒ පිළිබඳ දැනගැනීම පිණිස, දැකීම පිණිස, තුලනය කිරීම පිණිස, තීරණය කිරීම පිණිස, දැනීම පිණිස, ප්රකට කිරීම පිණිස, විස්තර කිරීම පිණිස ප්රශ්නයක් විමසති. මෙය ‘අදිට්ඨජොතනා පුච්ඡා’ නම් වේ. ස්වභාවයෙන් ලක්ෂණය දන්නා ලද්දේ, දක්නා ලද්දේ, තුලනය කරන ලද්දේ, තීරණය කරන ලද්දේ, දැනගන්නා ලද්දේ, ප්රකට වූයේ විස්තර කරන ලද්දේ වෙයි ද එය අන්ය පණ්ඩිතයන් සමග සැසදීම පිණිස ප්රශ්නයක් විමසති. මෙය ‘දිට්ඨ සංසන්දනා පුච්ඡා’ නම් වේ.
මෙසේ ද? මෙසේ නොවේ ද? කුමක් වේද? කෙසේ වේද? යනුවෙන් ස්වභාවයෙන් සැකයට බැසගත්තේ වෙයි. විමතියට බැසගත්තේ වෙයි. සැකය උපන්නේ වෙයි. ඒ සැකය දුරුකිරීම පිණිස ප්රශ්නයක් විමසති. මෙය විමතිච්ඡෙදනා පුච්ඡා නම් වෙයි. ‘මහණෙනි, ඔබලා කුමක් සිතවුද? රූපය නිත්යද අනිත්යද?’ ආදී වශයෙන් භාග්යවතුන් වහන්සේ අනුමතිය ගැනීම පිණිස ප්රශ්නයක් විමසති. මෙය අනුමති පුච්ඡා නම් වේ. ‘මහණෙනි, හටගත් සත්ත්වයන්ගේ පැවැත්ම පිණිසත්, හටගන්නා වූ සත්ත්වයන්ට අනුග්රහ පිණිසත් මේ ආහාර සතරක් ඇත. කවර සතරක්ද? යනුවෙන් භාග්යවතුන් වහන්සේ භික්ෂූන්ට කියනු කැමැත්තෙන් ප්රශ්නයක් විමසති. මෙය කථෙතුකම්යතා පුච්ඡා නම් වේ.