2. සෙය්යසක තෙරුන්ගේ වස්තුව
පාපං චෙ පුරුසො ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරද්දී සෙය්යසකතෙරුන් අරභයා දේශනා කරනලදි.
උන්වහන්සේ ලාලුදායීතෙරණුවන්ගේ සද්ධිවිහාරිකයෙකි. උන්වහන්සේ තමන්ගේ නොඇල්ම ලාලුදායිතෙරුන්ට දැන්වූ පසු උන්වහන්සේ විසින් ප්රථම සංඝාදිසෙස කර්මයෙහි පිහිටුවන ලදි. අනභිරතිය උපනුඋපන් අවස්ථාවල එම කර්මයම කෙළේය. බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ මේ ක්රියාව ගැන අසා උන්වහන්සේ කැඳවා ඔබ මෙබන්දක් කෙළෙහිදැයි අසා ස්වාමීනි එසේයයි පිළිගත්කල්හි, ඇයි මෙතරම් බරපතළ දෙයක් කෙළේ, හිස් මිනිස, ඔබ නොගැළපෙන ක්රියාවක් කෙළෙහියයි නානාප්රකාරයෙන් ගර්හාකොට ශික්ෂාපද පණවා, මෙබදු ක්රියා කරන්නවුන්ට මෙලොවත් පරලොවත් එය දුක් ගෙනදීමටම හේතුවේයයි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ:
පව් කළහොත් කවුරු හෝ
යළිත් එයම නොකළයුතුවේ
රුචි නොකළ යුතුය එයටම
පව් රැස් කිරීමෙන් පසු
දුක් විඳීමට සිදුවේ
යළිත් එයම නොකළයුතුවේ
රුචි නොකළ යුතුය එයටම
පව් රැස් කිරීමෙන් පසු
දුක් විඳීමට සිදුවේ
එහි අර්ථය නම්, යම් හෙයකින් පුද්ගලයා වරක් පාපකර්මයක් කළවිට, එකෙණෙහිම ඒ ගැන සිතාබලා මෙය නුසුදුසුය, පහත් වැඩකියි සිතා ගන්නේනම් එය නැවත නොකරන්නේය. ඒ පිළිබඳ යම් කැමැත්තක් රුචියක් හෝ උපන්නොත් එයත් නැතිකර දමන්නේමය. මක්නිසාදයත්? දුක්ඛො පාපස්ස උච්චයො පාපයාගේ රැස්කිරීම, වර්ධනයට පත්කර ගැනීම මෙලොවත් පරලොවත් දුකක්ම ගෙන දෙන හෙයිනි.
දේශනා කෙළවර බොහෝදෙනා සෝවාන් ඵලාදියට පැමිණියාහුය.
දෙවන සෙය්යසක තෙරුන්ගේ වස්තුවයි.
3. ලාජදෙව් දුවණියගේ වස්තුව
පුඤ්ඤං චෙ ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසය කරද්දී ලාජ දෙව්දුව අරභයා දේශනා කරනලදි.
මෙහි මුල්කථාව රජගහ නුවරදී උපන්නකි. ආයුෂ්මත් මහා කාශ්යපතෙරණුවෝ පිප්ඵලී ගුහාවෙහි වාසයකරන කාලයෙහි ධ්යානයට සමවැදී සත්වෙනි දින එයින් නැගිට පිඬු පිණිස හැසිරීමට සුදුසු තැනක් දිවඇසින් බලවිට එක් හැල්කෙතක පාලිකාස්ත්රියක් හැල්වීකරල් නෙවුත් විලද කරනු දැක, ඈ සැදැහැවත්ද නැද්දැයි බලා සැදැහැති බවත්, ඈ මට සංග්රහයක් කිරීමට සුදුසු තත්ත්වයක සිටින්නීදැයි බැලූවිට, ඈ විශාරදවූ කුලදුවක් බවත් දැන, තමන්ට සංග්රහ කරනබවත් එයින් මහා සම්පතක් ලබනබවත් දැන, සිවුරුපොරවා පාත්රයක් රැගෙන හැල්කෙත ළඟට වැඩමවූහ.
ඒ කුලදුව තෙරුන්දැක පැහැදී පස්වණක් ප්රීතියෙන් පිනාගිය සිරුරු ඇතිව, ස්වාමීනි, වැඩහිඳිනු මැනවැයි කියා විලඳ ගෙනවුත් තෙරුන්ගේ පාත්රයෙහි දමා පසඟ පිහිටුවා වැඳ ස්වාමීනි, ඔබ අවබෝධකරගත් ධර්මය ලබාගැනීමට සුදුසු කෙනෙක් වෙම්වායි ප්රාර්ථනා කළාය. එය එසේම වේවායි තෙරණුවෝ අනුමෝදනා කළහ. ඈද තෙරුන් වැඳ තමන් දුන් දානය ගැන සිතමින් නැවතුණාය.
ඇගේ කුඹුරු සීමාවට යන මගෙහි එක් ගස් බෙනයක ඝෝර විෂ ඇති සර්පයෙක් සිටියේය. කසාවතින් වැසුණු තෙරුන්ගේ කෙණ්ඩ දෂ්ටකිරීමට සර්පයාට නොහැකිවිය. අර තැනැත්තී දුන් දානය ගැන සිහිකරමන් නැවතිනැවතී අවුත් ඒ ප්රදේශයට පැමිණියාය. සර්පයා බිලයෙන් පිටවී අවුත් ඈ දෂ්ටකොට එතැනම හෙළුවේය. ඈ පැහැදුණු සිතින්ම මිය පරලොව ගොස්, තිස්යොදුන් පමණවූ තව්තිසා භවනයෙහි සියලු ආකාර ඇඳුම් පැළඳුම්වලන් යුක්තව, නිදා පිබිදියාක් මෙන් උපන්නාය. ඈ දොළොස් යොදුන් පමණවූ එක් දිව්ය වස්ත්රයක් ඇඳ එකක් පෙරවාගෙන දිව්යාප්සරාවන් දහසක් පිරිවරා පෙර කළ පින්කම් කියනු පිණිස රන්වන් විලඳවලින් බරවූ එල්ලෙන්නාවූ රත්නමය භාජන සහිතව විමාන දොරටුවෙහි සිට තම සම්පත් දැක, කිනම් පිනක් කිරීමෙන් මේ සම්පත ලැබුවේදැයි දිවැසින් බලා, ආර්යවූ මහාකාශ්යප හිමියන්ට මවිසින් දෙනලද විලඳදානයෙනියි දැනගත්තාය.
මෙතරම් කුඩා පරිත්යාගයකින් මා මේසා විශාල සම්පතක් ලබා දැන් පමාවීම නුසුදුසුය. ආර්යයන්වහන්සේට වත්පිළිවෙත් කොට මේ සම්පත් ස්ථාවර කරගන්නෙමියි සිතා උදෑසනම රත්රන්මුවා මුසුනක්ද කසළ ඉවත්කරන භාජනයක්ද ගෙන තෙරුන්ගේ ගෙමිදුල හැමද බීමටත් පරිහරණයටත් අවශ්ය ජලය සපයා තැබුවාය. තෙරණුවෝ ඒවා දැක කිසියම් ළමයෙකු විසින් කරන්නට ඇතියි සිතාගත්තෝය. ඈ දෙවෙනි දවසේත් එසේ කළාය. තෙරණුවෝ එදවසත් එසේම වන්නට ඇතියි සිතූහ. තුන්වෙනි දිනයෙහි තෙරණුවෝ ඇගේ හැමදීම් හඬ අසා, යතුරුසිදුරු හෝ තල්කොළ වැටවල සිදුරු ආදියෙන් ආ ශරීර ආලෝකය දැක දොරහැර මේ අමදින්නේ කවුරුන්දැයි ඇසූහ. ස්වාමීනි, ඔබවහන්සේගේ උපස්ථායිකාවක්වූ ලාජදෙව්දුවවූ මමයයි කීවාය. මට මේනමින් උපස්ථායිකාවක් ඇතිබව මතකනැතැයි කීහ.
ස්වාමීනි, මම ඇල්කෙත රකිමින් විලඳ දන් දී ප්රීතියෙන් සිටින අවස්ථාවේ සර්පයකු දෂ්ටකර තව්තිසාවෙහි උපනිමි. මම මේ සම්පත් ලැබුවේ ආර්යයන් වහන්සේ නිසාය. දැනුත් ඔබවහන්සේට වත්පිළිවෙත්කොට සම්පත් ස්ථාවරකර ගන්නෙමියි ආවෙමි. ඊයේත් පෙරේදාත් මෙතැන හැමදියේ තී විසින්ද? පානීය පරිභෝජනීය පැන්ගෙනාවේත් තී විසින්ද? එසේය ස්වාමීනි. දෙව්දුව මෙතනින් පහවයව. තී විසින් කළ වතාවත් එසේම වේවා, මෙතැන් පටන් මෙතැනට නොආයුතුය. ස්වාමීනි, මා නොනසනසේක්වා, ඔබවහන්සේට වතාවත් කර මගේ සම්පත් ස්ථාවරකර ගැනීමට අවසර දෙනුමැනවි. දෙව්දුව පහව යව. අනාගතයේදී විජිනිපත් රැගෙන ධර්මාසනයෙහි වැඩ සිටින ධර්මකථිකයන් විසින්, මහාකාශ්යප තෙරුන්වහන්සේට එක් දේවතාදුවක් අවුත් වතාවත්කොට පානීය පරිභොජනීය පැන් ගෙනවුත් උවටැන් කරන ලදැයි කීමට කථාවක් නොතැබිය යුතුයයි කීහ. දැන් මෙතනින් යව. මින්පසු මෙහි නොඑවයිද කීහ. ඈ, අනේ ස්වාමීනි, මා නොනැසුව මැනවැයි යළියළිත් ඉල්ලා සිටියාය. තෙරණුවෝ මෑ මගේ වචනය අසන්නේ නැතැයි සිතා, තීගේ ප්රමාණය තීම දැනගනුවයි අසුරුසණක් ගැසූහ. ඈ එහි සිටිනු නොහැකිව අහස උඩට පැන ඇඳිලි බැඳගෙන සිට, ස්වාමීනි, මා ලත් සම්පත නොනැසුව මැනව, එය ස්ථාවර කර ගැනීමට ඉඩදෙන්නැයි හඬමින් වැළපෙමින් අහසෙහි සිටියාය.