3. ලාජදෙව් දුවණියගේ වස්තුව
පුඤ්ඤං චෙ ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසය කරද්දී ලාජ දෙව්දුව අරභයා දේශනා කරනලදි.
මෙහි මුල්කථාව රජගහ නුවරදී උපන්නකි. ආයුෂ්මත් මහා කාශ්‍යපතෙරණුවෝ පිප්ඵලී ගුහාවෙහි වාසයකරන කාලයෙහි ධ්‍යානයට සමවැදී සත්වෙනි දින එයින් නැගිට පිඬු පිණිස හැසිරීමට සුදුසු තැනක් දිවඇසින් බලවිට එක් හැල්කෙතක පාලිකාස්ත්‍රියක් හැල්වීකරල් නෙවුත් විලද කරනු දැක, ඈ සැදැහැවත්ද නැද්දැයි බලා සැදැහැති බවත්, ඈ මට සංග්‍රහයක් කිරීමට සුදුසු තත්ත්වයක සිටින්නීදැයි බැලූවිට, ඈ විශාරදවූ කුලදුවක් බවත් දැන, තමන්ට සංග්‍රහ කරනබවත් එයින් මහා සම්පතක් ලබනබවත් දැන, සිවුරුපොරවා පාත්‍රයක් රැගෙන හැල්කෙත ළඟට වැඩමවූහ.
ඒ කුලදුව තෙරුන්දැක පැහැදී පස්වණක් ප්‍රීතියෙන් පිනාගිය සිරුරු ඇතිව, ස්වාමීනි, වැඩහිඳිනු මැනවැයි කියා විලඳ ගෙනවුත් තෙරුන්ගේ පාත්‍රයෙහි දමා පසඟ පිහිටුවා වැඳ ස්වාමීනි, ඔබ අවබෝධකරගත් ධර්මය ලබාගැනීමට සුදුසු කෙනෙක් වෙම්වායි ප්‍රාර්ථනා කළාය. එය එසේම වේවායි තෙරණුවෝ අනුමෝදනා කළහ. ඈද තෙරුන් වැඳ තමන් දුන් දානය ගැන සිතමින් නැවතුණාය.
ඇගේ කුඹුරු සීමාවට යන මගෙහි එක් ගස් බෙනයක ඝෝර විෂ ඇති සර්පයෙක් සිටියේය. කසාවතින් වැසුණු තෙරුන්ගේ කෙණ්ඩ දෂ්ටකිරීමට සර්පයාට නොහැකිවිය. අර තැනැත්තී දුන් දානය ගැන සිහිකරමන් නැවතිනැවතී අවුත් ඒ ප්‍රදේශයට පැමිණියාය. සර්පයා බිලයෙන් පිටවී අවුත් ඈ දෂ්ටකොට එතැනම හෙළුවේය. ඈ පැහැදුණු සිතින්ම මිය පරලොව ගොස්, තිස්යොදුන් පමණවූ තව්තිසා භවනයෙහි සියලු ආකාර ඇඳුම් පැළඳුම්වලන් යුක්තව, නිදා පිබිදියාක් මෙන් උපන්නාය. ඈ දොළොස් යොදුන් පමණවූ එක් දිව්‍ය වස්ත්‍රයක් ඇඳ එකක් පෙරවාගෙන දිව්‍යාප්සරාවන් දහසක් පිරිවරා පෙර කළ පින්කම් කියනු පිණිස රන්වන් විලඳවලින් බරවූ එල්ලෙන්නාවූ රත්නමය භාජන සහිතව විමාන දොරටුවෙහි සිට තම සම්පත් දැක, කිනම් පිනක් කිරීමෙන් මේ සම්පත ලැබුවේදැයි දිවැසින් බලා, ආර්යවූ මහාකාශ්‍යප හිමියන්ට මවිසින් දෙනලද විලඳදානයෙනියි දැනගත්තාය.
මෙතරම් කුඩා පරිත්‍යාගයකින් මා මේසා විශාල සම්පතක් ලබා දැන් පමාවීම නුසුදුසුය. ආර්යයන්වහන්සේට වත්පිළිවෙත් කොට මේ සම්පත් ස්ථාවර කරගන්නෙමියි සිතා උදෑසනම රත්රන්මුවා මුසුනක්ද කසළ ඉවත්කරන භාජනයක්ද ගෙන තෙරුන්ගේ ගෙමිදුල හැමද බීමටත් පරිහරණයටත් අවශ්‍ය ජලය සපයා තැබුවාය. තෙරණුවෝ ඒවා දැක කිසියම් ළමයෙකු විසින් කරන්නට ඇතියි සිතාගත්තෝය. ඈ දෙවෙනි දවසේත් එසේ කළාය. තෙරණුවෝ එදවසත් එසේම වන්නට ඇතියි සිතූහ. තුන්වෙනි දිනයෙහි තෙරණුවෝ ඇගේ හැමදීම් හඬ අසා, යතුරුසිදුරු හෝ තල්කොළ වැටවල සිදුරු ආදියෙන් ආ ශරීර ආලෝකය දැක දොරහැර මේ අමදින්නේ කවුරුන්දැයි ඇසූහ. ස්වාමීනි, ඔබවහන්සේගේ උපස්ථායිකාවක්වූ ලාජදෙව්දුවවූ මමයයි කීවාය. මට මේනමින් උපස්ථායිකාවක් ඇතිබව මතකනැතැයි කීහ.
ස්වාමීනි, මම ඇල්කෙත රකිමින් විලඳ දන් දී ප්‍රීතියෙන් සිටින අවස්ථාවේ සර්පයකු දෂ්ටකර තව්තිසාවෙහි උපනිමි. මම මේ සම්පත් ලැබුවේ ආර්යයන් වහන්සේ නිසාය. දැනුත් ඔබවහන්සේට වත්පිළිවෙත්කොට සම්පත් ස්ථාවරකර ගන්නෙමියි ආවෙමි. ඊයේත් පෙරේදාත් මෙතැන හැමදියේ තී විසින්ද? පානීය පරිභෝජනීය පැන්ගෙනාවේත් තී විසින්ද? එසේය ස්වාමීනි. දෙව්දුව මෙතනින් පහවයව. තී විසින් කළ වතාවත් එසේම වේවා, මෙතැන් පටන් මෙතැනට නොආයුතුය. ස්වාමීනි, මා නොනසනසේක්වා, ඔබවහන්සේට වතාවත් කර මගේ සම්පත් ස්ථාවරකර ගැනීමට අවසර දෙනුමැනවි. දෙව්දුව පහව යව. අනාගතයේදී විජිනිපත් රැගෙන ධර්මාසනයෙහි වැඩ සිටින ධර්මකථිකයන් විසින්, මහාකාශ්‍යප තෙරුන්වහන්සේට එක් දේවතාදුවක් අවුත් වතාවත්කොට පානීය පරිභොජනීය පැන් ගෙනවුත් උවටැන් කරන ලදැයි කීමට කථාවක් නොතැබිය යුතුයයි කීහ. දැන් මෙතනින් යව. මින්පසු මෙහි නොඑවයිද කීහ. ඈ, අනේ ස්වාමීනි, මා නොනැසුව මැනවැයි යළියළිත් ඉල්ලා සිටියාය. තෙරණුවෝ මෑ මගේ වචනය අසන්නේ නැතැයි සිතා, තීගේ ප්‍රමාණය තීම දැනගනුවයි අසුරුසණක් ගැසූහ. ඈ එහි සිටිනු නොහැකිව අහස උඩට පැන ඇඳිලි බැඳගෙන සිට, ස්වාමීනි, මා ලත් සම්පත නොනැසුව මැනව, එය ස්ථාවර කර ගැනීමට ඉඩදෙන්නැයි හඬමින් වැළපෙමින් අහසෙහි සිටියාය.
ශාස්තෘන්වහන්සේ දෙව්රම ගන්ධකුටියෙහි වැඩසිටින ගමන්ම ඈ අඬන හඬ අසා ආලෝකයක් යවා දෙව්දුව ඉදිරියෙහි වැඩහිඳගෙන කථා කරන්නාක් මෙන් දෙව්දුව, මා පුත් කාශ්‍යපතෙරණුවන්ට සංවරවීම භාරය. පින් කැමති අයට මේ මේ දෙය අර්ථවත් යයි සලකා පින්කිරීම භාරය. පින්කිරීම මෙලොවටත් සැපම ගෙනදේයයි අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ:
පින් කළහොත් කවුරු හෝ
එය යළිත් කළයුතුමවේ
එයට රුචි කළයුතු
පින් රැස් කිරීමෙන්
සැපත හැමවිට ළංවේ
එහි අර්ථය නම්, පුද්ගලයා පින් කරන්නේ නම්, එක් වරක් පිනක් කොට මම පිනක් කෙළෙමි දැන් ඉතින් මේ ප්‍රමාණවත්ය කියා එතැන් පටන් එහි නොඇළී නොසිට යළියළිත් පින් කළයුතුම වේ. පිනක නොයෙදන විටක වුවත් කළ පින් ගැන රුචියත් උත්සාහයත් කළයුතුම වේ. කුමක් නිසාද? සුඛො පුඤ්ඤස්ස උච්චයො පින් රැස්කිරීම, එහි වර්ධනය මෙලෝ පරලෝ සැප ගෙන දෙන බැවින් සැපයක්ම වන හෙයිනි.
දේශනාවසානයෙහි දෙව්දුව සතළිස්පස්යොදුනක් උඩ සිටම සෝවාන්ඵලයට පැමිණියාය.
තුන්වන ලාජදෙව් දුවණියගේ වස්තුවයි.
4-5. අනාථ පිණ්ඩික සිටුවරයාගේ වස්තුව
පාපොපි පස්සති භද්‍රං යනාදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයේ අනාථපිණ්ඩික සිටුවරයා උදෙසා දේශනා කරනලදි.
අනාථපිණ්ඩික සිටුවරයා පනස්හතර කෝටියක් බුද්ධශාසනය උදෙසා වියදම්කොට කරවනලද ජේතවනවිහාරයෙහි බුදුරජාණන්වහන්සේ වැඩවාසය කරන විට දිනපතා උපස්ථාන සඳහා තුන්වරක් යයි. එසේ යනවිට, ළදරු සාමණේරවරු ගෙනාවේ මොනවාදැයි මගේ අත්දෙස බලතියි හිස්අතින් නොයයි. උදේ වරුවේ යන්නේ නම්, කැඳ රැගෙනම යයි. උදේ ආහාර වේලාවෙන් පසු යනවිට ගිතෙල්, වෙඬරු ආදිය රැගෙන යය. සවස් වේලේ යනවිට මල්ගඳවිලවුන්, රෙදි ආදිය රැගෙන යයි. මෙසේ නිරන්තරයෙන්ම දවස්පතා දන්දෙමන් සිල් රකියි.
පසුකල් යනවිට ඔහුගේ ධනය අවසන් වූයේය. මෙසේ එදිනෙදා ජීවිතය සඳහා අටළොස්කෝටියක් ණයට ගන්නාලදි. තම පාරම්පරික ධනයෙන් අටළොස්කෝටියක ධන ගංඉවුරේ සැළක බහා නිධන්කොට තිබිණි. ජලයෙන් ඉවුරු සෝදාගෙන යනවිට ධනනිධානද මූදට ගසාගෙන ගියේය. මෙසේ ක්‍රමයෙන් ඔහුගේ ධනය ක්ෂය වී ගියේය. එසේවුවත් ඔහු සංඝදාන දිගටම දෙන්නේමය. එහෙත් ප්‍රණීත ලෙස දීමට අපොහොසත්විය.
දිනක් බුදුරජාණන්වහන්සේ සිටුවරයා අමතා සිටුවරය ඔබේ නිවසේ පෙර සේම දැනුත් දන් දෙන්නෙහිදැයි ඇසූහ. ස්වාමීනි, එසේය, දන්දෙමි. එහෙත් ඒ දෙන්නේ නිවුඩුහාලේ බත් කොඩිහොදිත් සමගයයි සිටුවරයා කියා සිටියේය. ගෘහපතිය, ඔබ කටුක ලෙස දන් දෙන්නෙමියි නොසිතව. සිතේ ප්‍රණීතබව ඇත්නම් බුද්ධාදීන්ට දෙන දානයක් කටුක නොවෙයි. එය අෂ්ටාර්යපුද්ගලයන්ට දෙන දානයක් හෙයිනි. ගෘහපතිය, මම වේලාම නම් බමුණෙක්ව සිටි කාලයේ නගරයේ සියලු දෙනා නඟුල් පසෙකින් බැඳ ගොවිතැන් නොකරන කාලයේත් මහදන් දුන්නත් තිසරණගිය කෙනෙක්වත් එකල නොලැබීමි. දක්‍ෂිණාර්හ පුද්ගලයෝ ඉතා දුර්ලභයහ. එනිසා මාදුන් දානය කටුකයයි නොසිතවයි කියා වේලාම සූත්‍රය දේශනා කළසේක.
ඉන්පසු සිටුවරයාගේ දොරකොටුවෙහි අධිගෘහීත දේවතාදුව බුදුනුත් බුද්ධශ්‍රාවකයෝත් එතනින් ඇතුල් වනවිට උන්වහන්සේලාගේ ආනුභාවයෙන් එහි සිටීමට නොහැකිව, මොවුන්ට මේ ගෙයට ඇතුල් නොවීමේ ක්‍රමයක් යෙදිය යුතුයයි ගෘහපතියා හා මේ පිරිස බිඳුවන්නෙමියි සිතා ඉසුරුමත් කාලයේ එය කියාගත නොහැකි වුණත්, දැන් ඔහු දුප්පත් නිසා මගේ කියමන් භාරගනු ඇතියි සිතා රාත්‍රිභාගයෙහි සිටුවරයාගේ ශ්‍රීයහන් ගැබට පිවිසි අහසෙහි සිටියාය. සිටුවරයා එය දැක මේ කවරෙක්දැයි ඇසීය. මහසිටුවරය, සතරවෙනි දොරටුවෙහි අධිගෘහිත දේවතාදුවණිය මමයි, ඔබට අවවාදයක් දෙනු පිණිස ආවෙමි. එසේනම් අවවාද කරවයි කීපසු මහසිටුවරය, ඔබ පසුකාලය ගැන නොසිතා ශ්‍රමණගෞතමයන් උදෙසා බොහෝ ධනය වියදම් කෙළෙහිය. දැන් දුප්පත් වීමෙන් පසුවත් එය අත්නොහරින්නෙහිය. මෙහෙම ගියොත් කීප දිනකින්ම බඩගින්නට ආහාරවත් ඇඳීමට රෙදිවත් නැතිවීයන්නට පුළුවන. ඔබට ශ්‍රමණගෞතමයන්ගෙන් වැඩක් නැත. එය අතිපරිත්‍යාගයෙන් මිදී ධනය කර්මාන්තයෙහි යොදවා පවුල රැකගනු මැනවි. ඔබ මටදෙන අවවාදය එයද? සිටුවරය එසේය. ඉවත්ව යව, තී වැනි අය ලක්‍ෂයක් ආවත් මා එයින් ඉවත්කරනු නොහැකිය. තී කියන්නේ අයුක්තියකි. මගේ ගෙදරම වසමින් මෙසේ කියන තී මගේ ගෙයින් ඉවත්ව යවයි කීවේය. සෝවාන්ව සිටි ආර්යශ්‍රාවකයාගේ වචන අසා සිටිය නොහැකිව දරුවනුත් රැගෙන නික්මුණාය. එසේ නික්මී ගොසිනුත් වාසයකිරීමට වෙනත් තැනක් ලබාගත නොහැකිව, සිටුවරයා සමා කරවාගෙන එහිම වාසය කරන්නෙමියි නගරයටම අධිපති දිව්‍යපුත්‍රයා වෙත එළඹ තමන් කළ අපරාධය ගැන දන්වා මාත් සමග එන්න. සිටුවරයා ළඟට මා පමුණුවා සමාකරවා විසීමට තැනක් ලබා දෙන්නැයි කීවාය. ඒ දිව්‍යපුත්‍රයා, තී කියන්නේ අයුත්තකි. මම තී සමග එහි යෑමට උත්සාහ නොකරන්නෙමියි ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙළේය. ඈ සිව්වරම් දෙවියන් වෙත ගොස් ඔවුනුත් ඉල්ලීම ප්‍රතික්ෂේප කළකල්හි, ශක්‍රදිව්‍යරාජයන් වෙත ගොස් ඒ පුවත කියා දේවයන්වහන්ස, වසන තැනක් නොලැබ දරුවන් අතින් එල්ලාගෙන අනාථව ඇවිදිමි. වසන තැනක් මට සොයා දෙන්නැයි බලවත්සේ ඉල්ලා සිටියාය.