9. සැරියුත් හිමියන්ගේ යහළු බමුණාගේ වස්තුව
යං කිංචි යිට්ඨං ච යනාදි මේ ධර්ම දේශනාව ශාස්තෘන්වහන්සේ වේළුවනාරාමයෙහි වාසයකරන කාලයේ සැරියුත්තෙරණුවන්ගේ යහළු බ්‍රාහ්මණයෙකු නිමිතිකරගෙන දේශනා කරනලදි.
ඔහු ළඟටත් සැරියුත්තෙරුන්වහන්සේ වැඩමවා බ්‍රාහ්මණය, කිසියම් පිනක් කරන්නෙහිදැයි ඇසූහ. ස්වාමීනි, එසේය. කුමක් කරන්නෙහිද? මංගල සම්මත දිනයන්හි දන්දෙමි. එකල්හි ඒ යාගය මහත් ධනවියදමින් කරමි. මින් ඉදිරියට තෙරණුවෝ පෙර පරිදිම විමසා ඔහු බුදුන් ළඟට පමුණුවා, ඒ පුවත දන්වා, ස්වාමීනි, මොහුට බ්‍රහ්මලෝකයට යන මාර්ගය කියනු මැනවැයි කීහ.
බ්‍රාහ්මණය, ඔබ අවුරුදු ගණන් යිට්ඨයෝගදාන දුන්නත් මගේ ශ්‍රාවකයෙකුට වැඳීමෙන් ලබන පිනෙන් හතරෙන් එකක් පමණවත් වටින්නේ නැතැයි කියා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළහ:
යමෙක් පින් පතමින්
යාගය කළත් වසරක්
බුදුසව්වෙකුට වැඳුමෙන්
ලබන පින හා නොසම වේ
එක් බුදුසව්වෙකුට වඳිනා
පිනෙන් හතරෙන් එකකට
පමණවත් සමනොවේමය
එහි යං කිංචි යනු ඉතිරි නොකර ගැනීමට යොදන වචනයකි. යිට්ඨං යනු බොහෝ සෙයින් මංගල සම්මත දිනයන්හි දෙන දානයයි. හුතං යනු කර්මයත් ඵලයත් ගැන පිළිගෙන සකස්කොට අමුත්තන්ට දන්දීමයි. සංවච්ඡරං යජෙථ යනු අවුරුද්දක් පුරා නිරන්තරයෙන් ඉහත සඳහන් අයුරින් මුළු සක්වළම සිටින ලෞකික මහජනයාට දුන්නත්, පුඤ්ඤපෙක්ඛො යනු පින් බලාපොරොත්තුවෙන් උජ්ජුගතෙසු යනු අවම වශයෙන් සෝවාන් හෝ උපරිම වශයෙන් රහතන්වහන්සේලාටයි. මෙහි කියනලද්දේ - එබඳු අය කෙරෙහි ප්‍රසාද සිතින් සිරුර නමා වඳින පුද්ගලයාගේ කුසල්චේතනාවෙන් යම් ඵලයක් ලබන්නේ නම් එයින් හතරෙන් එකක් පමණවත් ඒ සියලු යාග දානය නොවටී යන අර්ථයයි. එනිසා ආර්යයන් වෙත වන්දනමානන පූජා කිරීම අතිශයින් ශ්‍රේෂ්ඨය.
දේශනාවගේ කෙළවර ඒ බමුණා සෝවාන් ඵලයෙහි පිහිටියේය. තවත් බොහෝ දෙනාද සෝවාන් ඵලාදියට පැමිණියාහුය.
හත්වන සැරියුත් හිමියන්ගේ යහළු බමුණාගේ වස්තුවයි.
10. දීඝායුකුමාරයාගේ වස්තුව
අභිවාදන සීලිස්ස ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දීඝලම්බික නුවර සමීපයෙහි ආරණ්‍යකුටියක වාසයකරන කාලයෙහි දීඝායුකුමරා නිමිති කරගෙන දේශනා කරනලදි.
දීඝලම්බික නුවර වැසි බමුණෝ දෙදෙනෙක් ශාසනයෙන් බැහැර පැවිදිවී සතළිස්අටවසක් තපස්චර්යා කළහ. එයින් එකෙක් මෙයින් මගේ කුලපරපුර නැසේයයි තමා කළ තපස් (තාපසාරාමය) විකුණා ගවයන් සියයක්ද කහවණු සියයක්ද භාර්යාවකද ලබාගෙන පවුල රැකගෙන සිටියේය. ඉන්පසු ඔහුගේ භාර්යාව දරුවකු වැදුවාය. අනිත් බමුණා වෙනත් ප්‍රදේශයකට ගොස් නැවතත් ඒ නගරයට පැමිණියේය.
ගිහි බවට පත් බමුණා යහළුවා ආ බව දැනගෙන අඹුදරුවනුත් කැටුව ඔහු දැකීම සඳහා පැමිණියේය. එහි ගොස් පුතා මවු අතට දී තෙමේ පළමුව වැන්දේය. මව පුතා පියා අතට දී වැන්දාය. තවුසා දීර්ඝායුෂ ලැබේවායි කීය. පුතා ලවා වැන්දවු කල්හි තුෂ්ණිම්භූත විය. ස්වාමීනි, අප වඳින විට දීර්ඝායුෂ ලැබේවායි කියා මේ පුතා වන්දවන කල නිහඬවූයේ ඇයිදැයි ඇසීය. බ්‍රාහ්මණය මොහුට එක් අනතුරක් ඇත. ස්වාමීනි, මොහු කෙතේ කල් ජීවත් වන්නෙහිද? බ්‍රාහ්මණය සතියක් පමණි. ඒ අනතුරු වළක්වන ක්‍රමයක් ඇද්ද ස්වාමීනි. මම නම් එය වළකාලන ක්‍රමයක් නොදනිමි. ශ්‍රමණගෞතමයෝ එය දනිති. එහි ගොස් විචාරව. ස්වාමීනි, එහි යෑමෙන් මගේ තපසට හානියක් වේදෝයි භයවෙමි. පුතාට ස්නේහයක් ඇත්නම් තපස ගැන නොසිතා උන්වහන්සේ ළඟට ගොස් අසා බලවයි කීය.