5. මහාකාත්‍යායනස්ථවිර වස්තුව
යස්සින්ද්‍රියානි ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් පූර්වාරාමයෙහි වැඩහිඳින කාලයෙහි මහාකාත්‍යායනතෙරුන් අරභයා දේශනා කරන ලද්දකි.
එක් කාලයක භාග්‍යවතුන්වහන්සේ මහාපවාරණ දිනයක මිගාරමාතා ප්‍රාසාදයේ යටිමහලෙහි මහසව්වන් පිරිවරා වැඩසිටිසේක. එසමයෙහි මහාකාත්‍යායන ස්ථවිරයන්වහන්සේ අවන්ති දේශයෙහි වාසයකරති. ඒ තෙරණුවෝ දුරසිටියත් අවුත් බණ අසති. ඒ නිසා සෙසු මහතෙරවරු හිඳගන්නා විට ම හාකාත්‍යායන් තෙරණුවන්ට අසුනක් වෙන්කොට තබා හිඳගනිත්.
මෙදින සක්දෙව්රජ දෙදෙව්ලොවෙහි දෙව්පිරිස සමග අවුත් සුවඳමලින් බුදුන් පුදා, මහාකාත්‍යායන තෙරුන් නොදැක, මාගේ ආර්යයන්වහ්නසේ පෙනේනට නැත්තේ ඇයි? දැන් මෙහි වැඩියොත්නම් ඉතා මැනවයි සිතීය. තෙරණුවෝත් එවිටම අවුත් තමන්ගේ අසුනෙහි සිටින හැටියෙන්ම පෙන්වූහ. ශක්‍රයා තෙරුන් දැක පාගොප්ඇට ළඟින් දැඩිව අල්වාගෙන ස්වාමීන්වහන්ස, මාගේ ආර්යවූ ඔබවහන්සේගේ වැඩමවීම ඉතා මැනවි. මම ඔබවහන්සේගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියෙමියි කියා සුවඳමලින් පුදා එක්පසෙක සිටියේය.
භික්ෂූහු, මේ ශක්‍රයා මූණ බලා සත්කාර කරන්නෙකි. සෙසු මහාශ්‍රාවකයන්ට මෙබඳු සැලකිල්ලක් නොකොට මහාකාත්‍යායනහිමියන් දැක දුවගොස් ගොප්මස ළඟින් අල්වාගෙන, මගේ ආර්යයන්වහන්සේගේ පැමිණීම ඉතා යෙහෙක. මම ඔබ වහන්සේගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියෙමි ආදිය කියකියා දෑතින් මා මඩිමින් පුදා වැඳ එකත්පසෙක සිටියේයයි කියමින් දොස් නැගූහ. බුදුරජාණන්වහන්සේ ඒ භික්‍ෂූන්ගේ කථාව අසා, මහණෙනි, මා පුත් මහාකාත්‍යායන සමාන ඉන්ද්‍රියසංවරයෙන් යුක්ත භික්ෂූහු දෙවියන්ටත් මිනිසුන්ටත් ප්‍රියයෝම වෙතියි වදාරා පූර්වාපරසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළහ:
අසුන් දමනය කළ රියදුරෙකු මෙන්
යමෙක් තම ඉඳුරන් දැමුවේ නම්
මාන මද කෙලෙස් දැමූ ඔහු
දෙවිමිනිසුන්ට ප්‍රිය වේ
එහි අර්ථ නම් යස්ස ඉන්ද්‍රිය දමනයෙහි දක්‍ෂ භික්‍ෂුවකගේ සාරථිනා සුදන්තා අස්සා අසුන් දමනයෙහි දක්‍ෂ රියැදුරෙකු මෙන් ඡ ඉන්ද්‍රියානි සමථං ෂඩ්ඉන්ද්‍රියයන් දැමුණු තැවුණු බවට ගතානි පත්වීද තස්ස ඒ භික්‍ෂුවට නවවිධ මානයන් දුරුකර සිටින බැවින් පහීනමානස්ස, චතුර්විධ කාමාදි ආශ්‍රවයන් නොමැති හෙයින් අනාසවස්ස ආශ්‍රව රහිතවූ හෙයින් දෙවාපි පිහයන්ති දෙවියෝත් මනුෂ්‍යයෝත් එතුමාගේ දැකීමත් පැමිණිමත් ප්‍රාර්ථනා කෙරෙත්මයයි දේශනාකළසේක.
දේශනාවසානයෙහි බොහෝදෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.
පස්වන මහාකාත්‍යායනස්ථවිර වස්තුවයි.
6. ශාරීපුත්‍රස්ථවිර වස්තුව
පඨවීසමො ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම් විහාරයෙහි වාසය කරන කාලයේ සැරියුත් තෙරණුවන් අරභයා දේශනා කරන ලද්දකි.
එක් සමයක ආයුෂ්මත් සැරියුත්තෙරණුවෝ වස් කෙළවර චාරිකාවේ හැසිරෙනු කැමතිව භාග්‍යවතුන්වහන්සේගෙන් අසා වැඳ තම පිරිවර භික්‍ෂූන් සමඟ නික්මුණාහුය. තෙරණුවෝ නම්ගොත් වශයෙන් ප්‍රකට භික්‍ෂූන්ට, ඒ නම්ගොත්වලින්ම කථා කොට නැවැත්වූහ. නම්ගොත් වශයෙන් ප්‍රසිද්ධියක් නැති එක් භික්ෂුවක්, අනේ මටත් නම්ගොත් වශයෙන් ගෙන කථා කොට නවත්වන්නේ නම් යෙහෙකියි සිතීය. මහා සංඝයා මැද සිටි හෙයින් සැරියුත් හිමියෝ ඒ භික්‍ෂුව ගැන සැලකිල්ලක් නොදැක්වූහ. ඒ භික්‍ෂුව, අනිත් භික්‍ෂූන්ට මෙන් මා ගැන සැලකිල්ලක් නොදැක්වීයයි තෙරුන් කෙරෙහි වෛර බැන්දේය. මේ අතර තෙරුන්ගේ සංඝාටි (සඟල සිවුර) කෙළවර ඒ භික්ෂුවගේ ඇඟේ වැදුණේය. එයිනුත් වෛරයම හටගත්තේය. හෙතෙම, දැන් තෙරුන් විහාරය ළඟ කොටස ඉක්ම වන්නට ඇතැයි දැන බුදුන් ළඟට ගොස්, ස්වාමීනි, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ඔබවහන්සේගේ අග්‍රශ්‍රාවකයෙමියි මගේ කන්සිදුර බිඳී යන තරම් පහරක් ගසා, මා ක්ෂමා කර නොගෙනම චාරිකාවේ ගියහයි දන්වා සිටියේය. ශාස්තෘන්වහන්සේ තෙරුන් කැඳවූහ.
එකෙණෙහි මහමුගලන්තෙරණුවෝත් ආනන්දතෙරණුවෝත් මෙසේ සිතූහ. අපේ දෙටු සොහොයුරා මේ භික්‍ෂුවට ගැසූ නොගැසූ බව ශාස්තෘන්වහන්සේ නොදනිත්ද? සැරියුත්හිමියන් ලවා සිංහනාදයක් කරවනු කැමැත්තක් ඇති වියහැකියයි සලකා පිරිස රැස් කරවන්නෙමුයයි උන්වහන්සේලා යතුරුමුදුත් රැගෙන පිරිවෙන් දොරටුවල ඇවිදිමින්, ඇවැත්නි රැස්වව්, ඇවැත්නි රැස්වව්, දැන් ආයුෂ්මත් සැරියුත්තෙරණුවෝ බුදුන් හමුවෙහි සිංහනාද කරන්නාහුයයි ප්‍රකාශ කළහ. මහත් භික්‍ෂුසමූහයක් රැස්වූහ.
සැරියුත්තෙරණුවෝත් පැමිණ බුදුන් වැඳ හිඳගත්හ. ඉන්පසු බුදුරජාණන්වහන්සේ එකරුණ විචාළහ. තෙරණුවෝ මේ භික්‍ෂුවට මම නොගැසුවෙමියි නොකියාම තමන්ගේ ගුණකථාව කියමින්, ස්වාමීනි, යම් කෙනෙක් කායගතාසති භාවනාව පුරුදු නොකොට නැත්නම් ඔහු මෙහි වෙනත් සබ්‍රම්සරුන්වහන්සේ නමකට ගසා සමාකරවා නොගෙන චාරිකාවේ හැසිරෙන්නෙහිදැයි කියා; ස්වාමීනි, යම්සේ පොළොවෙහි පිරිසිදු දේත් දමති. අශුචිත් දමති ආදි වශයෙන් තමන්ගේ සිත හොඳනරක ඉවසීමේ ශක්තිය ඇතිබව ප්‍රකට කරමින් ජලය, ගින්න, වායුව, රජෝහරණ, චණ්ඩාලකුමාර, අං ගැලවී ගිය හරකෙකු ආදියට සමාන කරමින් සර්පකුණපයක් මෙන් තම සිරුර පිළිකුල් කටයුතු බව දන්නා බවද, තම සිරුර අශුචි පිරුණ කළයක් වැනියයි දන්නා බවද යන මේ උපමා නවයෙන් තමන් ගුණ කථාව ප්‍රකටකරන විට නවවාරයක් මුහුද හිම් කොට ඇති මහපොළොව කම්පා විය. රජෝහරණ, චණ්ඩාල කුමාර, අශුචි පිරුණ කළගෙඩි උපමා ගෙනහැර පානා විට පෘථග්ජන භික්ෂූහු කඳුළු නොවගුරුවා සිටීමට අසමත් වූහ. රහතන්වහන්සේලාට ධර්මසංවේගය ඇතිවිය.