3. බෙල්ලට්ඨිසීස ස්ථවිර වස්තුවයි.
යෙසං සන්නිචයො නත්ථි ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයේ ආයුෂ්මත් බෙල්ලට්ඨිසීස තෙරුන් අරභයා දේශනාකරන ලද්දකි.
ඒ තෙරුන්වහන්සේ ඇතුල් ගමෙහි පිඬුසිඟා බත්කිස නිමවා නැවතත් වෙනත් වීථියකට පැමිණ වියළි ආහාර ලබා විහාරයට ගෙනගොස් සකස්කොට තබා, නිතර පිඬුසිඟා යෑම දුකකි සිතා කීප දිනක් ධ්යානසුඛයෙන් සිට ආහාර අවශ්ය වන විට ඒ ආහාර වළඳති. භික්ෂූහු මෙය දැක දොස් නගා ඒ පුවත භාග්යවතුන්වහන්සේට දැන්වූහ. ශාස්තෘන්වහන්සේ මේ කරුණු මුල්කොටගෙන ඉදිරියෙහි දී සන්නිධිකාර (භෝජන) වර්ජනය කරවනු පිණිස භික්ෂූන්ට ශික්ෂාපද පැනවූයේ නමුත්, තෙරුන් වහන්සේ ශික්ෂාපද පනවා නොතිබූ අවස්ථාව නිසාද අල්පේච්ඡබව නිසාද කළ හෙයින් උන්වහන්සේ නිදොස්බව ප්රකාශකරමින් අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළහ:
රැස් කෙරුම් ඉවත ලූ
බෝජුනෙහි පමණ දන්නා
අනිමිති පැතුම් නොම ඇති
නිවන් අරමුණ පිහිටියාවූ
රහතන් ගිය ගමන්මග
විහඟුන් ගිය මඟක් සේ
කිසිවිට දත නොහැකිවේ
බෝජුනෙහි පමණ දන්නා
අනිමිති පැතුම් නොම ඇති
නිවන් අරමුණ පිහිටියාවූ
රහතන් ගිය ගමන්මග
විහඟුන් ගිය මඟක් සේ
කිසිවිට දත නොහැකිවේ
එහි සන්නිචයො යනු රැස්කිරීමයි. රැස් කිරීම් දෙකකි. කම්මසන්නිචය ප්රත්යසන්නිචය වශයෙනි. එහි කුසලාකුසල කර්ම, කම්මසන්නිචය නමි. සිව්පසය රැස්කිරීම පච්චයසන්නිචයයි. එහිදී විහාරයට වසන භික්ෂුවට එක උක්හකුරු කෑල්ලක්, එයින් සතර භාගයක් පමණ ගිතෙල් හා එක් සහල් නැළියක් පරෙස්සමට තැබීමෙන් ප්රත්යයසන්නිචය වරද නොවේ. එයට වැඩිනම් වරද වෙයි. රහතන්ට මේ දෙයාකාර සන්නිචය නැත. පරිඤ්ඤාතභොජනා යනු ත්රිවිධ දැනුමෙන් යුතු භෝජන පරිහරණයයි. කැඳ ආදියේදී ඒවා කැඳබව දැනීම ඤාතපරිඤ්ඤාවයි. ආහාරයෙහි පිළිකුල්බව දනිමින් වැළඳීම තීරණපරිඤ්ඤාවයි. කැබලි ආහාර ගැනීමේදී ඡන්දරාගයෙන් තොරවූ ඥානයෙන් යුතුව ගැනීම පහාණපරිඤ්ඤාවයි. මේ තුන් ආකාර පරිඥාවෙන් යෙ යම්කෙනෙක් දැනගෙන ආහාර ගැනීමයි. සුඤ්ඤතො අනිමිත්තො ච යනු මෙහි අප්පණිහිත විමෝක්ෂයද ගන්නා ලදි. සුඤ්ඤත, අනිමිත්ත, අප්පණිහිත යන මේ ත්රිවිධ නාම නිවනටම කියන නම්ය. නිවන රාග දෝෂ මෝහයන්ගේ අභාවයෙන් ශූන්යභාවයට යන හෙයින් විමුක්තිය වේ. සුඤ්ඤතො විමොක්ඛො යනුද එයයි. එසේම රාගාදි නිමිති නොමැති හෙයින් අනිමිත්ත වෙයි. ඒ රාගාදියෙන් මිදුණේය යන අරුතින් අනිමිත්ත විමොක්ඛ නම්ද වේ. රාගාදියෙහි පිහිටීමක් නොවන හෙයින් අප්පනිහිත ව්. ඒවාගෙනුත් මිදුණු හෙයින් අප්පනිහිත විමොක්ඛයයි කියනු ලැබේ. ඵලසමාපත්ති අරමුණු වශයෙන් ගෙන වාසය කරන්නාට ත්රිවිධ විමොක්ෂයම ලැබෙයි. එය ඒ අයගේ ගෝචරය නිසයි. ගති තෙසං දුරන්නයා යනු යම්සේ අහසේ පියාඹා ගිය පක්ෂීන්ගේ පියවර තැබීමේ සලකුණු දක්නට නොලැබෙන නිසා ඔවුන් ගිය මග දැනගත නොහැකිද, ඒ අයුරින් යම් අයට මේ දෙයාකාර සන්නිචය නැත්තේද, මේ ත්රිවිධ පරිඥාවලින් යුතුව බොජුන් ගැනීමක් යෙදී මෙකී අයුරු විමෝක්ෂ ගෝචර වෙයිද, ඒ අය භව තුනද, සිව්වැදෑරුම් යෝනි (උපත්ද) ද පංචවිධ ගතිනිමිතිද සප්තවධ විඥානස්ථිතිද නව සත්තාවාසද යන මේ කොටස් පහෙන්, මේ මාර්ගයෙන් ගියාහුදැයි ගමන්මග නොපෙනෙන හෙයින් ඒ අයගේ ගමන්මග දත නොහැකිය. පැනවීමටද නොහැකිය.
දේශනාවසානයෙහි බොහෝදෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.
තුන්වන බෙල්ලට්ඨිසීස ස්ථවිර වස්තුවයි.
4. අනුරුද්ධතෙරුන්ගේ වස්තුව
යස්සාසවා යන මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ වේළුවනාරාමයෙහි වාසය කරනකල්හි අනුරුද්ධතෙරණුවන් අරභයා දේශනාකළසේක.
එක් දිනක් තෙරණුවෝ දිරූ සිවුරු දරා කසළගොඩවල් ආදියෙහි සිවුරක් සොයති. මෙයින් තුන්වෙනි භවයෙහිදී උන්වහන්සේගේ පුරාණ භාර්ය්යාව තව්තිසා භවනයෙහි ඉපදී ජාලිනී දෙව්දුව නම් වූවාය. ඈ, තෙරුන් සිවුරු සොයන බව දැක දිගින් තෙළෙස්රියන්වූ පළලින් සතරරියන්වූ දිවසළු තුනක් රැගෙන ඉදින් මේ සළු මේ අයුරින්ම දුන්නොත් තෙරණුවෝ මේවා නොගනිත්යයි සිතා සිවුරු සොයන උන්වහන්සේගේ ඉදිරියෙන් එක් කසළගොඩක රෙදි කෙළවරවල් පමණක් පෙනෙන හැටියට දැමීය. තෙරණුවෝ ඒ මාර්ගයෙහි රෙදි සොයමින් යන අතර ඒ දාවලු දැක එය අල්වාගෙන අදිමින් යට කියනලද දිව්යසාටක දැක එය ඉවතලූ පාංශුකූල සංඥාවෙන් මෙය ගනිමියි රැගෙන වැඩියාහ.
උන්වහන්සේ සිවුරු කරන දිනයෙහි ශාස්තෘන්වහන්සේ පන්සීයක් භික්ෂූන් පිරිවරා විහාරයට වැඩමවා වැඩහුන්හ. අසූමහාශ්රාවක තෙරවරුද එහිම සිවුරු මැසීම සඳහා වැඩහුන්හ. මහකසුප්තෙරණුවෝ මුලින්ම වැඩසිටියහ. සැරියුත්හිමියෝ මැදය. ආනන්දහිමියෝ අගමය. භික්ෂූහු නූල් ඇඹරූහ. ශාස්තෘන්වහන්සේ ඉදිකටුවල නූල් අමුණා දුන්හ. මුගලන්තෙරණුවෝ ඒ ඒ තැනට අවශ්ය සේ සපයමින් ඇවිද්දාහ.