එහි සන්නිචයො යනු රැස්කිරීමයි. රැස් කිරීම් දෙකකි. කම්මසන්නිචය ප්රත්යසන්නිචය වශයෙනි. එහි කුසලාකුසල කර්ම, කම්මසන්නිචය නමි. සිව්පසය රැස්කිරීම පච්චයසන්නිචයයි. එහිදී විහාරයට වසන භික්ෂුවට එක උක්හකුරු කෑල්ලක්, එයින් සතර භාගයක් පමණ ගිතෙල් හා එක් සහල් නැළියක් පරෙස්සමට තැබීමෙන් ප්රත්යයසන්නිචය වරද නොවේ. එයට වැඩිනම් වරද වෙයි. රහතන්ට මේ දෙයාකාර සන්නිචය නැත. පරිඤ්ඤාතභොජනා යනු ත්රිවිධ දැනුමෙන් යුතු භෝජන පරිහරණයයි. කැඳ ආදියේදී ඒවා කැඳබව දැනීම ඤාතපරිඤ්ඤාවයි. ආහාරයෙහි පිළිකුල්බව දනිමින් වැළඳීම තීරණපරිඤ්ඤාවයි. කැබලි ආහාර ගැනීමේදී ඡන්දරාගයෙන් තොරවූ ඥානයෙන් යුතුව ගැනීම පහාණපරිඤ්ඤාවයි. මේ තුන් ආකාර පරිඥාවෙන් යෙ යම්කෙනෙක් දැනගෙන ආහාර ගැනීමයි. සුඤ්ඤතො අනිමිත්තො ච යනු මෙහි අප්පණිහිත විමෝක්ෂයද ගන්නා ලදි. සුඤ්ඤත, අනිමිත්ත, අප්පණිහිත යන මේ ත්රිවිධ නාම නිවනටම කියන නම්ය. නිවන රාග දෝෂ මෝහයන්ගේ අභාවයෙන් ශූන්යභාවයට යන හෙයින් විමුක්තිය වේ. සුඤ්ඤතො විමොක්ඛො යනුද එයයි. එසේම රාගාදි නිමිති නොමැති හෙයින් අනිමිත්ත වෙයි. ඒ රාගාදියෙන් මිදුණේය යන අරුතින් අනිමිත්ත විමොක්ඛ නම්ද වේ. රාගාදියෙහි පිහිටීමක් නොවන හෙයින් අප්පනිහිත ව්. ඒවාගෙනුත් මිදුණු හෙයින් අප්පනිහිත විමොක්ඛයයි කියනු ලැබේ. ඵලසමාපත්ති අරමුණු වශයෙන් ගෙන වාසය කරන්නාට ත්රිවිධ විමොක්ෂයම ලැබෙයි. එය ඒ අයගේ ගෝචරය නිසයි. ගති තෙසං දුරන්නයා යනු යම්සේ අහසේ පියාඹා ගිය පක්ෂීන්ගේ පියවර තැබීමේ සලකුණු දක්නට නොලැබෙන නිසා ඔවුන් ගිය මග දැනගත නොහැකිද, ඒ අයුරින් යම් අයට මේ දෙයාකාර සන්නිචය නැත්තේද, මේ ත්රිවිධ පරිඥාවලින් යුතුව බොජුන් ගැනීමක් යෙදී මෙකී අයුරු විමෝක්ෂ ගෝචර වෙයිද, ඒ අය භව තුනද, සිව්වැදෑරුම් යෝනි (උපත්ද) ද පංචවිධ ගතිනිමිතිද සප්තවධ විඥානස්ථිතිද නව සත්තාවාසද යන මේ කොටස් පහෙන්, මේ මාර්ගයෙන් ගියාහුදැයි ගමන්මග නොපෙනෙන හෙයින් ඒ අයගේ ගමන්මග දත නොහැකිය. පැනවීමටද නොහැකිය.
දේශනාවසානයෙහි බොහෝදෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.
තුන්වන බෙල්ලට්ඨිසීස ස්ථවිර වස්තුවයි.
4. අනුරුද්ධතෙරුන්ගේ වස්තුව
යස්සාසවා යන මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ වේළුවනාරාමයෙහි වාසය කරනකල්හි අනුරුද්ධතෙරණුවන් අරභයා දේශනාකළසේක.
එක් දිනක් තෙරණුවෝ දිරූ සිවුරු දරා කසළගොඩවල් ආදියෙහි සිවුරක් සොයති. මෙයින් තුන්වෙනි භවයෙහිදී උන්වහන්සේගේ පුරාණ භාර්ය්යාව තව්තිසා භවනයෙහි ඉපදී ජාලිනී දෙව්දුව නම් වූවාය. ඈ, තෙරුන් සිවුරු සොයන බව දැක දිගින් තෙළෙස්රියන්වූ පළලින් සතරරියන්වූ දිවසළු තුනක් රැගෙන ඉදින් මේ සළු මේ අයුරින්ම දුන්නොත් තෙරණුවෝ මේවා නොගනිත්යයි සිතා සිවුරු සොයන උන්වහන්සේගේ ඉදිරියෙන් එක් කසළගොඩක රෙදි කෙළවරවල් පමණක් පෙනෙන හැටියට දැමීය. තෙරණුවෝ ඒ මාර්ගයෙහි රෙදි සොයමින් යන අතර ඒ දාවලු දැක එය අල්වාගෙන අදිමින් යට කියනලද දිව්යසාටක දැක එය ඉවතලූ පාංශුකූල සංඥාවෙන් මෙය ගනිමියි රැගෙන වැඩියාහ.
උන්වහන්සේ සිවුරු කරන දිනයෙහි ශාස්තෘන්වහන්සේ පන්සීයක් භික්ෂූන් පිරිවරා විහාරයට වැඩමවා වැඩහුන්හ. අසූමහාශ්රාවක තෙරවරුද එහිම සිවුරු මැසීම සඳහා වැඩහුන්හ. මහකසුප්තෙරණුවෝ මුලින්ම වැඩසිටියහ. සැරියුත්හිමියෝ මැදය. ආනන්දහිමියෝ අගමය. භික්ෂූහු නූල් ඇඹරූහ. ශාස්තෘන්වහන්සේ ඉදිකටුවල නූල් අමුණා දුන්හ. මුගලන්තෙරණුවෝ ඒ ඒ තැනට අවශ්ය සේ සපයමින් ඇවිද්දාහ.
දෙව්දුව ඇතුල් ගමට ගොස් ආර්ය අනුරුද්ධහිමියන්ට සිවුරුකරමින් ශාස්තෘන්වහන්සේ අසූමහා සව්වන් සහිත භික්ෂූන් පන්සීයනමක් සමග විහාරයෙහි සිටිති. කැඳබත් රැගෙන විහාරයට යව්යයි කියමින් භික්ෂා සඳහා සම්මාදන් කරවූවාය.
මහමුගලන්තෙරණුවෝ අතුරුපස වේලාවෙහි මහදඹයක් ගෙන ආහ. භික්ෂූන් පන්සීයට එය වළඳා අවසන් කළ නොහැකි විය. ශක්රයා සිවුරුකරන තැන බිම පිරිබඩ දුන්නේය. බිම ලා රස ගෑවාක් මෙන් රතුපාට විය. භික්ෂූන් වළඳා ඉතිරි කැඳ බත් ආදිය අතිවිශාල විය. භික්ෂූහු මෙතරම්වූ භික්ෂූන්ට මෙපමණ කැඳ ආදිය කුමක් සඳහා ගෙනාවේද, භික්ෂූන් මෙපමණයයි සලකාගෙන මෙපමණ ගෙනෙව්යයි නෑයන්ටත් දායකයන්ටත් කියා යවන්ට තිබුණා නොවේදැයි කියමින් දොස් කියන්ට වූහ. ඉන්පසු බුදුරජාණන්වහන්සේ ඒ භික්ෂූන් අමතා, මහණෙනි, කුමක් කියව්දැයි අසා ස්වාමීනි මෙබඳු කථාවක් යයි දැන්වූ පසු, මහණෙනි මේ දානසම්භාරය අනුරුද්ධතෙරුන් විසින් ගෙන්වනලදැයි සිතන්නහුද? ස්වාමීනි, එසේය. මහණෙනි, මාගේ පුත්ර අනුරුද්ධ මෙබන්දක් කියන්නේ නැත. රහත්හු ප්රත්යය ප්රතිසංයුක්ත කථා නොකෙරෙත්. මේ පිණ්ඩපාතය දේවානුභාවයෙන් උපන්නේයයි අනුසන්ධි ගළපා ධර්මදේශනා කරමින් මේ ගාථාව වදාළහ:
රැස් කෙරුම් ඉවත හළ
අහරෙහි නොඇළුණා වූ
අනිමිති පැතුම් ඇති
නිවන් අරමුණු ඇති කළ
රහතන් ගිය ගමන්මග
අහස විහඟුන් ගිය සේ
පියසටහන් නොදත හැක.
අහරෙහි නොඇළුණා වූ
අනිමිති පැතුම් ඇති
නිවන් අරමුණු ඇති කළ
රහතන් ගිය ගමන්මග
අහස විහඟුන් ගිය සේ
පියසටහන් නොදත හැක.
එහි යස්සාසවා යනු යමකුගේ සිව්වැදෑරුම් ආශ්රව ක්ෂයවී ගියේද, ආහාරෙ ච අනිස්සිතො ආහාරයෙහි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ආශ්රයක් නැද්ද, පදන්තස්ස දුරන්නයං යම්සේ අහසේ පියාඹා යන පක්ෂීන්ගේ මෙතැන හිස ගසමින් ගියහ, මෙතැන පියාපත් වැදුණේයයි කියනොහැකිද? එපරිද්දෙන් මෙබඳු භික්ෂූන්ගේ නිරයට යෑමක් ගැන හෝ තිරිසන් භවයට ගියහයි හෝ ආදි වශයෙන් පාසටහන් නියම කිරීම නොකළහැකිය.
දේශනාවසානයෙහි බොහෝදෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.
සතරවන අනුරුද්ධතෙරුන්ගේ වස්තුවයි.
5. මහාකාත්යායනස්ථවිර වස්තුව
යස්සින්ද්රියානි ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් පූර්වාරාමයෙහි වැඩහිඳින කාලයෙහි මහාකාත්යායනතෙරුන් අරභයා දේශනා කරන ලද්දකි.
එක් කාලයක භාග්යවතුන්වහන්සේ මහාපවාරණ දිනයක මිගාරමාතා ප්රාසාදයේ යටිමහලෙහි මහසව්වන් පිරිවරා වැඩසිටිසේක. එසමයෙහි මහාකාත්යායන ස්ථවිරයන්වහන්සේ අවන්ති දේශයෙහි වාසයකරති. ඒ තෙරණුවෝ දුරසිටියත් අවුත් බණ අසති. ඒ නිසා සෙසු මහතෙරවරු හිඳගන්නා විට ම හාකාත්යායන් තෙරණුවන්ට අසුනක් වෙන්කොට තබා හිඳගනිත්.
මෙදින සක්දෙව්රජ දෙදෙව්ලොවෙහි දෙව්පිරිස සමග අවුත් සුවඳමලින් බුදුන් පුදා, මහාකාත්යායන තෙරුන් නොදැක, මාගේ ආර්යයන්වහ්නසේ පෙනේනට නැත්තේ ඇයි? දැන් මෙහි වැඩියොත්නම් ඉතා මැනවයි සිතීය. තෙරණුවෝත් එවිටම අවුත් තමන්ගේ අසුනෙහි සිටින හැටියෙන්ම පෙන්වූහ. ශක්රයා තෙරුන් දැක පාගොප්ඇට ළඟින් දැඩිව අල්වාගෙන ස්වාමීන්වහන්ස, මාගේ ආර්යවූ ඔබවහන්සේගේ වැඩමවීම ඉතා මැනවි. මම ඔබවහන්සේගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියෙමියි කියා සුවඳමලින් පුදා එක්පසෙක සිටියේය.
භික්ෂූහු, මේ ශක්රයා මූණ බලා සත්කාර කරන්නෙකි. සෙසු මහාශ්රාවකයන්ට මෙබඳු සැලකිල්ලක් නොකොට මහාකාත්යායනහිමියන් දැක දුවගොස් ගොප්මස ළඟින් අල්වාගෙන, මගේ ආර්යයන්වහන්සේගේ පැමිණීම ඉතා යෙහෙක. මම ඔබ වහන්සේගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියෙමි ආදිය කියකියා දෑතින් මා මඩිමින් පුදා වැඳ එකත්පසෙක සිටියේයයි කියමින් දොස් නැගූහ. බුදුරජාණන්වහන්සේ ඒ භික්ෂූන්ගේ කථාව අසා, මහණෙනි, මා පුත් මහාකාත්යායන සමාන ඉන්ද්රියසංවරයෙන් යුක්ත භික්ෂූහු දෙවියන්ටත් මිනිසුන්ටත් ප්රියයෝම වෙතියි වදාරා පූර්වාපරසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළහ: