9. ධම්මික තෙරුන්ගේ වස්තුව
න අත්තහෙතු ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි ධම්මික නම් තෙරුන් අරභයා දේශනා කරන ලද්දකි.
සැවැත්නුවර එක් උපාසකයෙක් දැහැමින් සෙමෙන් සිය ගෙදර වාසය කරයි. හෙතෙම පැවිදිවනු කැමැත්තෙන් එක් දිනක් භාර්යාවත් සමඟ සුහදව කථා කරන අතර, සොඳුර, මම මහණවෙන්ට යන්නෙමියි කීවේය. හිමියනි, මගේ කුස සිටින දරුවා වදන තුරු නවතින්නැයි ඈ කීවාය. හෙතෙම නැවතී දරුවා පයින් ඇවිදින කාලයෙහි නැවත ඈට කතාකොට යෑමට අවශ්යබව දැන්වූවිට ස්වාමීනි, දරුවා තවටිකක් වයසට යනතුරු නවතින්නැයි කීකල්හි, මට මෑගෙන් අවසරයක් අනවසරයක් හෝ ලැබීමෙන් ප්රයෝජනයක් නැත. තමන් දුකෙන් එගොඩකර ගන්නෙමියි නික්මගොස් පැවිදිවිය. හෙතෙම කමටහන් ලබාගෙන වෙහෙස මහන්සිවී තමන්ගේ පැවිදිකිස නිමවා ඔවුන්ට එය පෙන්වනු සඳහා යළි සැවතට ගොස් පුතාට බණකථාවක් කීවේය. පුතාත් පිටත්වගොස් පැවිදිවී නොබෝ කලකින් රහත්බවට පැමිණියේය. පැරණි භාර්යාවත්, මා ගිහිගෙය නැවතුණේ ඔවුන් දෙදෙනා උදෙසාය. දැන් මෙහි විසීමෙන් වැඩක් නැතැයි නික්මී ගොස් පැවිදිවූවාය. පැවිදිවී නොබෝ කලකින් රහත්බවට පැමිණියාය.
දිනක් භික්ෂූහු ධර්මසභාවෙහි, ඇවැත්නි බලව්, ධම්මික උපාසකතෙම තමන් දහමෙහි සිටි නිසා ගොස් පැවිදිව රහත්විය. ඒ මගින් ඔහුගේ පුතාටත් බිරිඳටත් පිහිටවීයයි කථාවක් ඇතිකළහ. ශාස්තෘන්වහන්සේ එහි වැඩමවා මහණෙනි දැන් කිනම් කථාවක් කරමින් සිටියාහුදැයි විචාරා, මෙනම් කථාවකිනුයි කීකල්හි, මහණෙනි නුවණැතියා තමන්ගේ පමණක් හෝ අනුන්ගේ පමණක් හෝ දියුණුව බලාපොරොත්තු නොවිය යුතුය. සැමගේ දියුණුව බලාපොරොත්තුවෙමින් ධාර්මිකවීමෙන් මෙන්ම ධාර්මික විපිළිසරවීමෙනුත් යුක්තවිය යුතුයයි පූර්වාපරසන්ධි ගළපා ධර්මදේශනා කරමින්-
තමන් නිසා අනුන් නිසා
පුතුන් නිසා ධනය නිසා
රටක් නිසා නොදැහැමිකම්
නොකර සිටින අය පමණක්
දැහැමි සීලවතුන් බවට
නුවණැතියන් බවට සදා
පත්වන බව සත්යය වේ
පුතුන් නිසා ධනය නිසා
රටක් නිසා නොදැහැමිකම්
නොකර සිටින අය පමණක්
දැහැමි සීලවතුන් බවට
නුවණැතියන් බවට සදා
පත්වන බව සත්යය වේ
එහි න අත්තහෙතු යනු නුවණැත්තා නම් තමන් නිසා හෝ අනුන් නිසා පව් නොකරයි. න පුත්තම්ච්ඡේ යනු පුතුන් නිසා හෝ ධනං ධනය නිසා රට්ඨං රටක් නිසා හෝ පාපකර්ම කිරීමෙන් දියුණුවක් න ඉච්ඡෙය්ය ලබා ගැනීමට පව් නොකරයි යනු අර්ථයි. සමිද්ධිමත්තනො යම් තමාගේ සමෘද්ධියක්වේද, එයත් අධම්මෙන අධාර්මික ලෙස බලාපොරොත්තු නොවෙයි. ඒ සඳහා පව් නොකරයි යන අර්ථයි. ස සීලවා යනු යම් මෙබඳු පුද්ගලයෙක් සිටීද, ඔහුම සිල්වතා වෙයි. පඤ්ඤවා නුවණැත්තාද වෙයි. ධම්මිකොච සියා ධාර්මිකයාද වෙයි. අන්යයෝ එසේ නොවෙත් යනු අර්ථයි.
දේශනාවසානයෙහි බොහෝදෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.
නවවන ධම්මික තෙරුන්ගේ වස්තුවයි.
10-11. බණ ඇසීමේ වස්තුව
අප්පකා තෙ මනුස්සෙසු යන මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි බණ ඇසීම පිළිබඳව දේශනාකරන ලද්දකි.
සැවැත්නුවර එක් වීථියක වසන මිනිස්සු සමගිව කොටස් වශයෙන් බෙදාගෙන දන් දී සර්වරාත්රිකව බණ ඇසීමට සූදානම් කළහ. එහෙත් සර්වරාත්රිකව බණ ඇසීමට නොහැකි විය. සමහරු කාමුක හැඟීම් බලවත්වී ගෙවල්වලට ආපසු ගියහ. සමහරු ද්වේෂ සහගත සිතිවිලි නිසාද ඇතමෙක් කායික මානසික මැලිකම් නිසාද එහි හිඳගෙන නිදිබර ගතියෙන්ද දහම් ඇසීමට අපොහොසත් වූහ.
දෙවෙනි දිනයේ භික්ෂූහු එපුවත දැන ධර්මසභායෙහි ඒ පිළිබඳ කථා කළහ. ශාස්තෘන්වහන්සේ එහි වඩමවා, කරමින් සිටි කථාව විමසා එය දන්වා සිටිකල්හි මහණෙනි, මේ සත්ත්වයෝ වනාහි, බොහෝ සෙයින් භවය ඇසුරුකරමින් භවයෙහිම ඇළීගැලී වාසය කරත්. භවයෙන් එතර වන අය ඉතා විරලයයි පූර්වාපරසන්ධි ගළපා දහම්දෙසින් මේ ගාථාද වදාළහ:
පරතෙර කරා යන ජනයෝ බොහෝ විරලය
ඉතිරි හැමදෙනම මෙන් ඉවුර ළඟටම දුවයති
ඉතිරි හැමදෙනම මෙන් ඉවුර ළඟටම දුවයති
මැනවින් දෙසූ දහමට අනුව පවතින යමෙක් වෙත් නම්
ඔවුහු පරතෙර යෙති මරු පරදවා ජයගෙන
ඔවුහු පරතෙර යෙති මරු පරදවා ජයගෙන
එහි අප්පකං යනු ටිකක්, බොහෝ නොවන, පාරගාමිනො යනු නිවන්පරතෙරට යන. අථායං ඉතරා පජා යනු එසේ නොයන ඉතිරි සත්ත්වයෝ සත්කායදෘෂ්ටි නමැති තීරයට පමණක් දුවන්නෝය. ඒ අය බහුතරයි යන අර්ථයයි. සම්මදක්ඛාතෙ යනු මැනවින් ප්රකාශකළ, හොඳින් කියනලද, ධම්මෙ යනු දේශනා ධර්මයයි. ධම්මානුවත්තිනො යනු ඒ දහම අසා ඊට අනුකූල ප්රතිපදාවෙහි යෙදී මාර්ගඵලවලට පැමිණ දහම අනුව පැවතීමයි. පාරමෙස්සන්ති යනු නිවන් පරතෙරට යන්නාහුය. මච්චුධෙය්යං යනු ක්ලේශ මාර සංඛ්යාත මාරයාගේ නිවාසස්ථානයවූ ත්රිභූමක සංසාර වෘත්තයයි. සුදුත්තරං යනු ධර්මානුධර්ම ප්රතිපත්ති මාර්ගයෙහි සිටින සත්තවයෝ මේ එතෙර වීමට අමාරු ඉක්මවා යෑමට දුෂ්කර මාරවාසස්ථානයවූ සංසාර සාගරය මච්චුධෙය්යං තරණයකොට, ඉක්මවාගොස් නිවනින් පරතෙරට යන්නාහ යන අර්ථයි.