10-11. බණ ඇසීමේ වස්තුව
අප්පකා තෙ මනුස්සෙසු යන මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි බණ ඇසීම පිළිබඳව දේශනාකරන ලද්දකි.
සැවැත්නුවර එක් වීථියක වසන මිනිස්සු සමගිව කොටස් වශයෙන් බෙදාගෙන දන් දී සර්වරාත්‍රිකව බණ ඇසීමට සූදානම් කළහ. එහෙත් සර්වරාත්‍රිකව බණ ඇසීමට නොහැකි විය. සමහරු කාමුක හැඟීම් බලවත්වී ගෙවල්වලට ආපසු ගියහ. සමහරු ද්වේෂ සහගත සිතිවිලි නිසාද ඇතමෙක් කායික මානසික මැලිකම් නිසාද එහි හිඳගෙන නිදිබර ගතියෙන්ද දහම් ඇසීමට අපොහොසත් වූහ.
දෙවෙනි දිනයේ භික්ෂූහු එපුවත දැන ධර්මසභායෙහි ඒ පිළිබඳ කථා කළහ. ශාස්තෘන්වහන්සේ එහි වඩමවා, කරමින් සිටි කථාව විමසා එය දන්වා සිටිකල්හි මහණෙනි, මේ සත්ත්වයෝ වනාහි, බොහෝ සෙයින් භවය ඇසුරුකරමින් භවයෙහිම ඇළීගැලී වාසය කරත්. භවයෙන් එතර වන අය ඉතා විරලයයි පූර්වාපරසන්ධි ගළපා දහම්දෙසින් මේ ගාථාද වදාළහ:
පරතෙර කරා යන ජනයෝ බොහෝ විරලය
ඉතිරි හැමදෙනම මෙන් ඉවුර ළඟටම දුවයති
මැනවින් දෙසූ දහමට අනුව පවතින යමෙක් වෙත් නම්
ඔවුහු පරතෙර යෙති මරු පරදවා ජයගෙන
එහි අප්පකං යනු ටිකක්, බොහෝ නොවන, පාරගාමිනො යනු නිවන්පරතෙරට යන. අථායං ඉතරා පජා යනු එසේ නොයන ඉතිරි සත්ත්වයෝ සත්කායදෘෂ්ටි නමැති තීරයට පමණක් දුවන්නෝය. ඒ අය බහුතරයි යන අර්ථයයි. සම්මදක්ඛාතෙ යනු මැනවින් ප්‍රකාශකළ, හොඳින් කියනලද, ධම්මෙ යනු දේශනා ධර්මයයි. ධම්මානුවත්තිනො යනු ඒ දහම අසා ඊට අනුකූල ප්‍රතිපදාවෙහි යෙදී මාර්ගඵලවලට පැමිණ දහම අනුව පැවතීමයි. පාරමෙස්සන්ති යනු නිවන් පරතෙරට යන්නාහුය. මච්චුධෙය්‍යං යනු ක්ලේශ මාර සංඛ්‍යාත මාරයාගේ නිවාසස්ථානයවූ ත්‍රිභූමක සංසාර වෘත්තයයි. සුදුත්තරං යනු ධර්මානුධර්ම ප්‍රතිපත්ති මාර්ගයෙහි සිටින සත්තවයෝ මේ එතෙර වීමට අමාරු ඉක්මවා යෑමට දුෂ්කර මාරවාසස්ථානයවූ සංසාර සාගරය මච්චුධෙය්‍යං තරණයකොට, ඉක්මවාගොස් නිවනින් පරතෙරට යන්නාහ යන අර්ථයි.
දේශනාවසානයෙහි බොහෝ දෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.
දහවන බණ ඇසීමේ වස්තුවයි.
12-14. ආගන්තුක භික්‍ෂූන් පන්සීයක්නමකගේ වස්තුව
කණ් හං ධම්මං විප්පහාය ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වැඩසිටින කාලයේ පන්සීයක් ආගන්තුක භික්‍ෂූන් අරභයා දේශනාකරන ලද්දකි.
කොසොල්රට පන්සීයක් භික්ෂූහු වස් වැස වස් අන්තයෙහි බුදුන් දකින්නෙමුයි දෙව්රමට ගොස් බුදුන් වැඳ එකත්පසෙක හිඳගත්හ. ශාස්තෘන්වහන්සේ උන්වහන්සේලාගේ චාරිත්‍රානුකූලව දහම් දෙසමින් මේ ගාථා වදාළහ:
කළු දහම් හැරලා සුදු දහම වෙත සපැමිණ
ආලය හැර දමා අනාලයෙහි සිත අලවා
කාමයන් දුරුකොට නිවන් රසයට එළඹී
ගැටලු කිසිවක් නැති පිරිසිදු සිතක් ඇතිකර
සම්බෝදි අංගයන් වෙත සිත යොමුකරන නිති
ඇලුම් බැඳුම් නැතිව ගොස් නිවනෙහි රසය හමුවේ
සිටින අරී උතුමෝ ලොව පිරිනිවියාහු නම් වෙත්
එහි කණ් හං ධම්මං යනු කායදුශ්චරිතාදි භේද ඇති අකුසල් දහම් අතහැර සුක්කං භාවෙථ යනු නුවණැති භික්ෂුව අභිනිෂ්ක්‍රමණයේ සිට රහත්බව දක්වා කායසුචරිතාදි භේද ඇති ශුක්ලධර්‍මයන් (කුසල්) වැඩිය යුතුවේ. ඒ කෙසේද? ඔකා අනොකං ආගම්ම යනු ඔක නම් ආලයයි. අනෝකයයි කියන්නේ අනාලයටයි. ආලයෙන් නික්මී-ඉවත්වී අනාලය සංඛ්‍යාත නිවන උදෙසා කටයුතු අරඹා, එය ප්‍රාර්ථනා කළ යුතුය යන අර්ථයි. තත්‍රාභිරතිමිච්ඡෙය්‍ය යනු යම් අනාලය සංඛ්‍යාත විවේකවූ නිවනෙහි මේ සත්ත්වයන් විසින් ඇලීම ඇතිකර ගැනීම අමාරුවුවත් එයි ඇලීම කැමති විය යුතුය. හිත්වා කාමෙ යනු වස්තුකාම ක්ලේශකාමයන් හැරදමා අකිඤ්චනො ගැටලු රහිතකොටගෙන විවේකයෙහි අභිරතිය කැමති වියයුතුය යන අර්ථයි. චිත්තක්ලේසෙහි යනු පංචනීවරණයන්නේ තමා පරිසොධෙය්‍ය පිරිසිදු වියයුතුය යන අර්ථයි. සම්බොධි අංගෙසු යනු සම්බොජ්ඣංග ධර්මයන් කෙරෙහි, සම්මා චිත්තං සුභාවිතං යනු යථායොග්‍ය ලෙස සිත මැනවින් වඩාගැනීමයි. ආදානපටිනිස්සග්ගෙ යනු ආදාන නම් දැඩිව ග්‍රහණයයි. එයින් මිදීම් සංඛ්‍යාත නොගැනීමයි. සිව්වැදෑරුම් උපාදානයන්ගෙන් කිසිවක් උපදවා නොගෙන යෙ රතා නිවනෙහි ඇලීම යන අර්ථයි. ජුතීමන්තො යනු ආනුභාව ඇති අර්හත්මාර්ගඥාන දිලිසීමක් ඇති, ස්කන්ධාදි භේද ඇති ධර්මයන් බබළවා සිටින යන අර්ථයි. තෙ ලොකෙ යනු මේ ස්කන්ධාදි ලෝකයෙහි පරිනිබ්බුතා යනු රහත්බවට පැමිණීමේ පටන් කෙලෙස්වෘත්ත බහා තැබූ හෙයින් සඋපධිසේස වශයෙනුත් අන්තිම චිත්තය නිරෝධ කිරීමෙන් ස්කන්ධ වෘත්තයන් බහාතබනලද හෙයින් අනුපදිසේස යන දෙයාකාර පිරිනිවනින් පිරිනිවී ගිය, තෙල් සිඳීගිය පහනක් මෙන් නොපවත්නා බවට පත්වූ යන අර්ථයි.