12-14. ආගන්තුක භික්ෂූන් පන්සීයක්නමකගේ වස්තුව
කණ් හං ධම්මං විප්පහාය ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වැඩසිටින කාලයේ පන්සීයක් ආගන්තුක භික්ෂූන් අරභයා දේශනාකරන ලද්දකි.
කොසොල්රට පන්සීයක් භික්ෂූහු වස් වැස වස් අන්තයෙහි බුදුන් දකින්නෙමුයි දෙව්රමට ගොස් බුදුන් වැඳ එකත්පසෙක හිඳගත්හ. ශාස්තෘන්වහන්සේ උන්වහන්සේලාගේ චාරිත්රානුකූලව දහම් දෙසමින් මේ ගාථා වදාළහ:
කළු දහම් හැරලා සුදු දහම වෙත සපැමිණ
ආලය හැර දමා අනාලයෙහි සිත අලවා
ආලය හැර දමා අනාලයෙහි සිත අලවා
කාමයන් දුරුකොට නිවන් රසයට එළඹී
ගැටලු කිසිවක් නැති පිරිසිදු සිතක් ඇතිකර
ගැටලු කිසිවක් නැති පිරිසිදු සිතක් ඇතිකර
සම්බෝදි අංගයන් වෙත සිත යොමුකරන නිති
ඇලුම් බැඳුම් නැතිව ගොස් නිවනෙහි රසය හමුවේ
සිටින අරී උතුමෝ ලොව පිරිනිවියාහු නම් වෙත්
ඇලුම් බැඳුම් නැතිව ගොස් නිවනෙහි රසය හමුවේ
සිටින අරී උතුමෝ ලොව පිරිනිවියාහු නම් වෙත්
එහි කණ් හං ධම්මං යනු කායදුශ්චරිතාදි භේද ඇති අකුසල් දහම් අතහැර සුක්කං භාවෙථ යනු නුවණැති භික්ෂුව අභිනිෂ්ක්රමණයේ සිට රහත්බව දක්වා කායසුචරිතාදි භේද ඇති ශුක්ලධර්මයන් (කුසල්) වැඩිය යුතුවේ. ඒ කෙසේද? ඔකා අනොකං ආගම්ම යනු ඔක නම් ආලයයි. අනෝකයයි කියන්නේ අනාලයටයි. ආලයෙන් නික්මී-ඉවත්වී අනාලය සංඛ්යාත නිවන උදෙසා කටයුතු අරඹා, එය ප්රාර්ථනා කළ යුතුය යන අර්ථයි. තත්රාභිරතිමිච්ඡෙය්ය යනු යම් අනාලය සංඛ්යාත විවේකවූ නිවනෙහි මේ සත්ත්වයන් විසින් ඇලීම ඇතිකර ගැනීම අමාරුවුවත් එයි ඇලීම කැමති විය යුතුය. හිත්වා කාමෙ යනු වස්තුකාම ක්ලේශකාමයන් හැරදමා අකිඤ්චනො ගැටලු රහිතකොටගෙන විවේකයෙහි අභිරතිය කැමති වියයුතුය යන අර්ථයි. චිත්තක්ලේසෙහි යනු පංචනීවරණයන්නේ තමා පරිසොධෙය්ය පිරිසිදු වියයුතුය යන අර්ථයි. සම්බොධි අංගෙසු යනු සම්බොජ්ඣංග ධර්මයන් කෙරෙහි, සම්මා චිත්තං සුභාවිතං යනු යථායොග්ය ලෙස සිත මැනවින් වඩාගැනීමයි. ආදානපටිනිස්සග්ගෙ යනු ආදාන නම් දැඩිව ග්රහණයයි. එයින් මිදීම් සංඛ්යාත නොගැනීමයි. සිව්වැදෑරුම් උපාදානයන්ගෙන් කිසිවක් උපදවා නොගෙන යෙ රතා නිවනෙහි ඇලීම යන අර්ථයි. ජුතීමන්තො යනු ආනුභාව ඇති අර්හත්මාර්ගඥාන දිලිසීමක් ඇති, ස්කන්ධාදි භේද ඇති ධර්මයන් බබළවා සිටින යන අර්ථයි. තෙ ලොකෙ යනු මේ ස්කන්ධාදි ලෝකයෙහි පරිනිබ්බුතා යනු රහත්බවට පැමිණීමේ පටන් කෙලෙස්වෘත්ත බහා තැබූ හෙයින් සඋපධිසේස වශයෙනුත් අන්තිම චිත්තය නිරෝධ කිරීමෙන් ස්කන්ධ වෘත්තයන් බහාතබනලද හෙයින් අනුපදිසේස යන දෙයාකාර පිරිනිවනින් පිරිනිවී ගිය, තෙල් සිඳීගිය පහනක් මෙන් නොපවත්නා බවට පත්වූ යන අර්ථයි.
දේශනාවසානයෙහි බොහෝදෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.
එකොළොස්වන ආගන්තුක භික්ෂූන් පන්සීයක්නමකගේ වස්තුවයි.
පණ්ඩිතවර්ගය පිළිබඳ වර්ණනාව අවසානයි.
සවන වර්ගයයි.
7. අරහද් වර්ගය
1. ජීවකප්රශ්න වස්තුව
ගත්ද්ධිනො ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරනකාලයේ ජීවකයන් ඇසූ ප්රශ්නයක් අරභයා දේශනා කරනලද්දකි. ජීවකවස්තුව විනය ඛන්ධකයෙහි විස්තර වශයෙන් දැක්වේ.
එක් සමයෙක දෙව්දත්තෙම අජාසත්රජු සමග එක්වී ගිජුකුළුපව්වට නැගී දූෂණය කරගත් සිතින් බුදුන් මරාදමන්නෙමියි ගලක් පෙරළීය. ඒ ගල පර්වත මුදුන් දෙකක් විසින් පිළිගන්නාලදි. එයින් බිඳී විසිවුණු පගල්පතුරක් බුදුන්ගේ පාදයේ ඇනී ලේ පිටවිය. ක්රෑර වේදනාවක් ඇතිවිය. භික්ෂූහු බුදුන් මද්දකුච්ඡි නම් තැනට පැමිණවූහ. බුදුරජාණන්වහන්සේ එතැනින් ජීවකඅඹවනයට යනු කැමැත්තෙන් මා එහි ගෙනයව්යයි කීහ. භික්ෂූහු භාග්යවතුන්වහන්සේ රැගෙන ජීවක අඹවනයට ගියාහුය.
ජීවක වෛද්යවරයා එපුවත අසා ශාස්තෘන්වහන්සේ සමීපයට ගොස් තුවාලයට ප්රතිකර්ම සඳහා තියුණු බෙහෙතක් සාදා එය තබා බැඳ බුදුරදුන් මෙසේ දන්වා සිටියේය. ස්වාමීනි, මම ඇතුළු නගරයේ එක් මිනිසෙකුට බෙහෙත් කරමින් සිටියෙමි. නැවත ඔහු ළඟට ගොස් එන්නෙමි. මේ බෙහෙත මා එනතුරු බැඳි ආකාරයෙන්ම තිබියයුතුයයි කියා ගියේය. ඔහු ගොස් අනිත් රෝගියාට කළයුතු වෙදකම් කොට දොරවල් වසන වේලාවෙහි එන්නේ දොරවල් වසන්ටපෙර පැමිණිය නොහැකිවිය.
ඉන්පසු ඔහුට මෙබඳු සිතක් ඇතිවිය. අනේ මා අතින් නපුරු දෙයක් සිදුවිය. අනිත් රෝගීන්ට මෙන් බුදුන්ගේ පාදයෙහිත් ලේ පිළිස්සෙන කටුක බෙහෙතක් තබා බැන්දෙමි. දැන් ඒ බෙහෙත ඉවත්කරන වේලාවයි. එය දැන් ඉවත් නොකොළොත් මුළු රෑ පුරා බුදුන්ගේ සිරුරෙහි දැවිල්ල හටගන්නේය. ඒ වේලාවෙහි ශාස්තෘන්වහන්සේ ආනන්ද හිමියන්ට කථා කොට, ආනන්ද, සවස්වී ආ ජීවකයන්ට දොරවල් වැසීමට පෙරාතුව ආගත නොහැකි විය. දැන් තුවාලයේ බෙහෙත ඉවත් කරන වේලාවයයි ඔහු සිතීය. එහෙයින් එය මුදාලන්නැයි වදාළහ. තෙරණුවෝත් එය මුදාහළහ. තුවාලය ගසක මැලියමක් ගැළවුණාක් මෙන් පහවී ගොස් තිබිණි. ජීවකතෙම අරුණ නැගෙන වේලාවෙහි බුදුන් සමීපයට වේගයෙන් අවුත් ස්වාමීනි, කෙසේද ඔබ වහන්සේගේ ශරීරයෙහි දැවිල්ල හටගත්තේදැයි විචාළේය. ශාස්තෘන්වහන්සේ, ජීවකයෙනි, තථාගතයන්ට බෝධිමණ්ඩයෙහිදීම සියලු දැවිලිවේදනා නිවීගියේයයි පූර්වාපරසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළහ:
සසර ගමන් කෙළවර කොට
සැම සෝදුක්වලින් මිදුණ
සියලු ගැටලු මුදා දැමූ
අයට වේදනා නොම වේ
සැම සෝදුක්වලින් මිදුණ
සියලු ගැටලු මුදා දැමූ
අයට වේදනා නොම වේ
එහි ගතද්ධිනො යනු මාර්ගයට පැමිණි, කාන්තාර මාර්ගය, සංසාරවට්ට මාර්ගය වශයෙන් අතරමාර්ග දෙකකි. එයින් කාන්තාරයට පැමිණි පුද්ගලයා යම් විටක තමන් කැමති ස්ථානයට නොපැමිණෙන්නේද එතෙක් ඔහු මගියෙක්ම වේ. ඒ ස්ථනයට පැමිණිවිට ඔහු ගතද්ධිමාර්ගය අවසන් කළ පුද්ගලයෙක් වෙයි. සංසාරවට්ටයෙහි ඇවිදින සත්ත්වයෝද සසර වසනාතාක් කල් මගියෝම වෙති. කුමක් නිසාද? සංසාරවර්ටය අත්නොහැරි හෙයිනි. සෝවාන් ආදීහුද මගියෝමය. සංසාර පැවැත්ම ප සෙකට දැමූ රහතන්වහන්සේ වූකලි ගතද්ධි හෙවත් සසරගමන් කෙළවර කළහෙයින් ගතද්ධි යන නම ලබති. විසොකස්ස යනු සසර පැවැත්ම මුල්කොට ඇති ශෝකවලින් බැහැරවූ හෙයින් ශෝක නැත්තෙකු වෙයි. සබ්බධි-සියලු ස්කන්ධාදි ධර්මයන් කෙරෙහි, විප්පමුත්තස්ස සිව්වැදෑරුම් ග්රන්ථ (ගැටලු) ප්රහීණ කළ හෙයින් සබ්බගන්ථප්පහීණස්ස යනුවේ. පරිළාහො න විජ්ජති දැවීම් දෙකකි. කායික චේතසික වශයෙනි. එයින් රහතන් වහන්සේට ශීත උෂ්ණාදි වශයෙන් උපදින කායික දැවීම් නිවුණේ නැත. ඒ නිසයි ජීවක බුදුන්ගෙන් අසා සිටියේ. ශාස්තෘන්වහන්සේ ධර්මරාජයන් බැවිනුත් දේශනාවිධි පිළිබඳ කුශලත්වයක් ඇති බැවිනුත් කායික චේතසික දැවීම් වශයෙන් දේශනාව පවත්වමින්, ඇවැත් ජීවකයෙනි, පරමාර්ථ වශයෙන් නම් මෙබඳු ක්ෂීණාශ්රව කෙනෙකුන්ට දැවීම් නැත්තේයයි වදාළහ.