2. අස්සජි පුනබ්බසුකයන්ගේ වස්තුව
ඔවදෙය්යනුසාසෙය්ය ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ ජේතවනාරාමයෙහි වාසයකරන කාලයේ අස්සජි-පුනබ්බසුක භික්ෂූන් අරභයා දේශනා කළසේක.
දේශනාවේ මුල පටන්ගන්නේ කීටාගිරියෙනි. ඒ භික්ෂුදෙනම අගසව්වන්ගේ සද්ධිවිහාරිකයන්වූ අතර අලජ්ජීන්ද පාපීභික්ෂූන්ද වූහ. ඔවුහු තමන්ගේ පිරිවරභික්ෂූන් පන්සීයත් සමග කීටාගිරියෙහි වසන්නාහු මල්පැලෑටි සිටුවති. අනුන්ලවාද සිටුවති. මේ ආදි නොයෙක් අනාචාර කරමින් කුලදූෂණ වැඩද කොට එබඳු ආකාරවලින් උපදවාගන්නා ප්රත්යවලින් ජීවිකාවකරමින් ඒ ආවාසය ප්රියශීලීභික්ෂූන්ට විසීමට නුසුදුසුතැනක් කළහ.
බුදුරජාණන්වහන්සේ එපුවත අසා ඔවුන්ට පබ්බාජනිය නම් විනය කර්මය කරවනු සඳහා (ශාසනයෙන් නෙරපීම) පිරිවර සහිතව සැරියුත්-මුගලන් අගසව් දෙනම අමතා ශාරීපුත්රයෙනි, ඔබ දෙපළ යන්න, ඔවුන් අතර යම්කෙනෙක් ඔබ කියන දේ නොඅසත්නම් ඔවුන්ට පබ්බාජනිය කර්මය කරන්න. යමෙක් ඔබ වචන පිළිගනිත්නම් ඔවුන්ට අවවාද අනුශාසනා කරන්න. අවවාද අනුශාසනා කරනවිට එය අපණ්ඩිතයන්ට අප්රිය වේ. පණ්ඩිතයන්ට ප්රිය වෙයි. මනාපවෙයි යනුවෙන් පූර්වාපරසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළහ:
ඔවා අනුසාසනා බොරුබස් බැහැර කොටලා
කියන විට සත්දනහට එය බෙහෙවින්ම ප්රියවේ
අසත්ජනයන්හට කිසිම විට ප්රිය නොවේ එදහම්
කියන විට සත්දනහට එය බෙහෙවින්ම ප්රියවේ
අසත්ජනයන්හට කිසිම විට ප්රිය නොවේ එදහම්
එහි ඔවදෙය්ය යනු උපන්කථාව හෝ සිද්ධිය ගැන සඳහන් කරමින් කථාකිරීමයි. නූපන් අයස ආදිය හිතසුව නොවන්නේය ආදි වශයෙන් අනාගතයද පෙන්නුම්කරමින් කරන්නේ අනුශාසනාවයි. සම්මුඛයෙහි කියාදීමත්, අසම්මුඛයෙහි දූතයෙකු යැවීමෙන්, හසුනක් යැවීමෙන් හෝ කිරීම අනුශාසනා නම්වේ. වරක් කීම අවවාදය නමි. නැවත නැවත කියන්නේ අනුශාසනා නමි. අවවාදකරමින් කීම අනුශාසනා නමි. මෙසේ ඔවදෙය්ය අනුසාසෙය්ය අසබ්භාව යනු අකුසල් දහමින් දුරුකරලීමත්, කුසල් දහම්හි පිහිටුවීමත් යන අර්ථයි. සතං හි සො පියො හොති යනු මෙබඳු පුද්ගලතෙම බුද්ධාදි සත්පුරුෂයන්ට ප්රියවෙයි. යම් කෙනෙක් දහම තේරුම් නොගෙන, පරලොවින් ඉවත්නොවී ආමිස ගැනම සිතමින්, ඒ දෙස බලාසිටිමින් ජීවත්වීම පිණිස පැවිදිවූවෝ වෙත්ද ඔවුන් උදෙසා අසතං යනු ඒ අවවාද අසන්නා, අනුශාසනා අසන්නා එය අසමින්ම ඔබ අපගේ උපාධ්යාය නොවෙයි. ගුරුවරයාද නොවෙයි ඔබ අපට අවවාද කරන්නේ ඇයි? ආදි වශයෙන් මුව නමැති ආයුධයෙන් අනිමින් විදිමින් අප්පියෝ හොතීති අප්රිය බවට පත්වේ යනුයි.
දේශනා කෙළවර බොහෝ දෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය. සැරියුත් මුගලන් දෙනමත් එහි ගොස් ඒ භික්ෂූන්ට අවවාද අනුශාසනා කළහ. සමහරු අවවාද පිළිගෙන මනාකොට පැවතුම් ඇතිකර ගත්හ. සමහරු සිවුරු හැරදැමූහ. සමහරු පබ්බාජනිය කර්මයට භාජනවූහ.
දෙවන අස්සජි පුනබ්බසුකයන්ගේ වස්තුවයි.
3. ඡන්නතෙරුන්ගේ වස්තුව
න භජෙ පාපකෙ මිත්තෙ ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වාසයකරන කාලයෙහි ඡන්නතෙරුන් අරභයා දේශනා කළසේක.
ඒ ඡන්න ආයුෂ්මතුන්වහන්සේ. ‘මම අපේ ආර්යපුත්රයන්වහන්සේ සමග මහභිනික්මන් කොට මෙහි ආවෙමි. ඒ කාලයේ වෙන කිසිවෙක් සිටියේ නැත. දැන් මම ශාරිපුත්රවෙමි. මම මුගලන් වෙමි. අපි අගසව්වෝ වෙමු’යි කියමින් එහෙමෙහ ඇවිදිතියි අගසව්වන්ට ආක්රෝෂ පරිභව කරයි. බුදුහු භික්ෂූන්ගෙන් එපුවත අසා ඡන්නතෙරුන් කැඳවා අවවාද කෙරෙති. හෙතෙම ඒ වේලාවේ නිහඬව සිට නැවත ගොස් තෙරවරුන්ට ආක්රෝෂකෙරෙයි. මෙසේ තෙවෙනිවර දක්වා බණින අවස්ථාවල කැඳවා අවවාද කර, ඡන්න ඔය අගසව්දෙනම ඔබේ කල්යාණ මිත්රයෝය. උතුම් පුරුෂයෝය. මෙබඳු කලණමිතුරන සේවනය කරන්න, භජනය කරන්න යයි වදාරා දහම්දෙසනසේක් මේ ගාථාව වදාළහ:
පව්කාර මිතුරන් හැර
යහ මිතුරන්ම බජනුයෙ
කලණ මිතුරන් සොයා ගොස්
උතුම් මිතුරන්ම සෙවිය යුතුවේ
යහ මිතුරන්ම බජනුයෙ
කලණ මිතුරන් සොයා ගොස්
උතුම් මිතුරන්ම සෙවිය යුතුවේ
එහි අර්ථය නම්:- කායදුශ්චරිතාදි අකුසල කර්මයන්හි ඇළුණු අය පාපමිත්තා පාපමිත්ර නම්වෙති. මං පැහැරීම් ආදීවූ හෝ එක්විස්සක් වූ නුසුදුසු ජීවිකාවෘත්ති හෝ අයෝග්ය වැඩවල යොදවන්නෝ පුරිසාධමෙ පුරුෂාධමයෝ වෙති. මේ දෙපක්ෂයම පාපමිත්රයෝද පුරුෂාධමයෝද වෙත්. ඔවුන් භජනය, පයිරුපාසනය සේවනය නොකළයුතයු. මෙයින් පිටත්අය කලණමිතුරෝත් සත්පුරුෂයෝත් වෙති. ඔවුන් භජනය පයිරුපාසනය කළයුතුය.
දේශනා කෙළවර බොහෝ දෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.
ඡන්න ඒ අවවාද අසාත් නැවතත් භික්ෂූන්ට ආක්රෝෂ පරිභව කෙළේය. සෙසු භික්ෂූහු නැවතද ඒ බව දැන්වූහ. භාග්යවතුන්වහන්සේ, මහණෙනි, මා ජීවත්ව සිටියදී ඡන්න හික්මවන්ට නොහැක්කේය. මා පිරිනිවන් පෑ පසු හික්මවිය හැකියයි වදාරා, පිරිනිවන් කාලයෙහි ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් විසින්, ස්වාමීනි, ඡන්නතෙරුන් පිළිබඳව අප කෙසේ පිළිපැදියයුතුදැයි ඇසූවිට, ආනන්ද ඡන්නට බ්රහ්මදණ්ඩය පැමිණවිය යුතුයයි අණදුන්හ. හෙතෙම ශාස්තෘන්වහන්සේ පිරිනිවන් පෑකල්හි, බුදුන් විසින් අණ කරනලද බ්රහ්මදණ්ඩය පැනවූබව අසා දුක්වී, සිතේ වේදනාව ඇති කරගෙන, තෙවරක්ම ස්වාමීනි, මා නොනැසුව මැනවයි යාඥාකොට, මැනවින් වත් සපුරා නොබොහෝ කලකින්ම පිළිසිඹියාත් සමග රහත්බවට පැමිණියේය.
තුන්වන ඡන්නතෙරුන්ගේ වස්තුවයි.
4. මහාකප්පින තෙරණුවන්ගේ වස්තුව
ධම්මපීති සුඛං සෙති ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වාසය කරන කාලයේ මහාකප්පිනතෙරුන් අරභයා දේශනා කළසේක.