3. ඡන්නතෙරුන්ගේ වස්තුව
න භජෙ පාපකෙ මිත්තෙ ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වාසයකරන කාලයෙහි ඡන්නතෙරුන් අරභයා දේශනා කළසේක.
ඒ ඡන්න ආයුෂ්මතුන්වහන්සේ. ‘මම අපේ ආර්යපුත්‍රයන්වහන්සේ සමග මහභිනික්මන් කොට මෙහි ආවෙමි. ඒ කාලයේ වෙන කිසිවෙක් සිටියේ නැත. දැන් මම ශාරිපුත්‍රවෙමි. මම මුගලන් වෙමි. අපි අගසව්වෝ වෙමු’යි කියමින් එහෙමෙහ ඇවිදිතියි අගසව්වන්ට ආක්‍රෝෂ පරිභව කරයි. බුදුහු භික්ෂූන්ගෙන් එපුවත අසා ඡන්නතෙරුන් කැඳවා අවවාද කෙරෙති. හෙතෙම ඒ වේලාවේ නිහඬව සිට නැවත ගොස් තෙරවරුන්ට ආක්‍රෝෂකෙරෙයි. මෙසේ තෙවෙනිවර දක්වා බණින අවස්ථාවල කැඳවා අවවාද කර, ඡන්න ඔය අගසව්දෙනම ඔබේ කල්‍යාණ මිත්‍රයෝය. උතුම් පුරුෂයෝය. මෙබඳු කලණමිතුරන සේවනය කරන්න, භජනය කරන්න යයි වදාරා දහම්දෙසනසේක් මේ ගාථාව වදාළහ:
පව්කාර මිතුරන් හැර
යහ මිතුරන්ම බජනුයෙ
කලණ මිතුරන් සොයා ගොස්
උතුම් මිතුරන්ම සෙවිය යුතුවේ
එහි අර්ථය නම්:- කායදුශ්චරිතාදි අකුසල කර්මයන්හි ඇළුණු අය පාපමිත්තා පාපමිත්‍ර නම්වෙති. මං පැහැරීම් ආදීවූ හෝ එක්විස්සක් වූ නුසුදුසු ජීවිකාවෘත්ති හෝ අයෝග්‍ය වැඩවල යොදවන්නෝ පුරිසාධමෙ පුරුෂාධමයෝ වෙති. මේ දෙපක්ෂයම පාපමිත්‍රයෝද පුරුෂාධමයෝද වෙත්. ඔවුන් භජනය, පයිරුපාසනය සේවනය නොකළයුතයු. මෙයින් පිටත්අය කලණමිතුරෝත් සත්පුරුෂයෝත් වෙති. ඔවුන් භජනය පයිරුපාසනය කළයුතුය.
දේශනා කෙළවර බොහෝ දෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.
ඡන්න ඒ අවවාද අසාත් නැවතත් භික්ෂූන්ට ආක්‍රෝෂ පරිභව කෙළේය. සෙසු භික්ෂූහු නැවතද ඒ බව දැන්වූහ. භාග්‍යවතුන්වහන්සේ, මහණෙනි, මා ජීවත්ව සිටියදී ඡන්න හික්මවන්ට නොහැක්කේය. මා පිරිනිවන් පෑ පසු හික්මවිය හැකියයි වදාරා, පිරිනිවන් කාලයෙහි ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් විසින්, ස්වාමීනි, ඡන්නතෙරුන් පිළිබඳව අප කෙසේ පිළිපැදියයුතුදැයි ඇසූවිට, ආනන්ද ඡන්නට බ්‍රහ්මදණ්ඩය පැමිණවිය යුතුයයි අණදුන්හ. හෙතෙම ශාස්තෘන්වහන්සේ පිරිනිවන් පෑකල්හි, බුදුන් විසින් අණ කරනලද බ්‍රහ්මදණ්ඩය පැනවූබව අසා දුක්වී, සිතේ වේදනාව ඇති කරගෙන, තෙවරක්ම ස්වාමීනි, මා නොනැසුව මැනවයි යාඥාකොට, මැනවින් වත් සපුරා නොබොහෝ කලකින්ම පිළිසිඹියාත් සමග රහත්බවට පැමිණියේය.
තුන්වන ඡන්නතෙරුන්ගේ වස්තුවයි.
4. මහාකප්පින තෙරණුවන්ගේ වස්තුව
ධම්මපීති සුඛං සෙති ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වාසය කරන කාලයේ මහාකප්පිනතෙරුන් අරභයා දේශනා කළසේක.
මේ එහි පිළිවෙල කථාවයි:- අතීතයෙහි ආයුෂ්මත් මහාකප්පිනතෙම පියුමතුරා බුදුන්හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව සසර සැරිසරමින් බරණැස සමීපයෙහි එක් පේෂකාර ගමක පේෂකාර දෙටුවාබවට පත්වී උපන්නේය. එකල දහසක් පමණවූ පසේබුදුවරු අටමසක් හිමවත වැස අනතුරු සිවුමස ජනපදවල වසති. උන්වහන්සේලා වරක් බරණැස සමීපයෙහි බැස සෙනසුන් ඉදිකිරීමට අත්උදව් ඉල්ලා පසේබුදුවරයන් ආබව අසා එහි ගොස් ආ කරුණ විමසා ස්වාමීනි, අද ඉඩක් නැත. හෙට අපේ වප්මගුල් දිනයයි. තුන්වෙනිදිනයේදී කරන්නෙමියි කියා පසේබුදුවරයන්ට ආරාධනාත් නොකරම ගියේය. පසේබුදුවරු වෙන තැනකට යමුයි වැඩියාහුය. එවේලෙහි දෙටු පේෂකාරකයාගේ භාර්‍ය්‍යාව කිසියම් වැඩක් සඳහා බාරාණසියට යන්නී ඒ පසේබුදුවරයන් දැක වැඳ ස්වාමීනි, ආර්‍ය්‍යයන්වහන්සේලා මේ අවේලාවේ ආවේ ඇයිදැයි ඇසුවාය. එසේ අසා මුලපටන් ඒ කථාපුවත දැන සැදැහැවත් නුවණැති ස්ත්‍රියක් හෙයින් ස්වාමීනි, හෙට අපෙන් ආහාර ගනුමැනවැයි නිමන්ත්‍රණය කළාය. සහෝදරිය අපි බොහෝ දෙනෙකියි කීවිට, ස්වාමීනි, කොපමණක්දැයි ඇසුවාය. දහසක්පමණය. ස්වාමීනි, මේ ගමේ දහසක් පමණ ශිල්පීහු වෙති. එක එක්කෙනා එක එක නමකට භික්ෂාව දෙනු ඇති. එනිසා අපේ භික්ෂාව ඉවසනු මැනවි. මාම ඔබවහන්සේලාට වාසස්ථානද කරවන්නෙමියි කීවාය. පසේබුදුවරු ආරාධනය පිළිගත්හ.
ඈ ගමට ගොස් හඬනඟා, මම දහසක් පමණවූ පසේබුදුවරයන් දැක දනට ආරාධනා කෙළෙමියි කීවාය. ආර්යයන්ට හිඳිනා අසුන් පිළියෙල කරව්. කැඳ බත් ආදිය සම්පාදනය කරව්. ගම මැද මණ්ඩපයක් කරවා අසුන් පනවා දෙවෙනි දිනයෙහි පසේබුදුවරුන් වඩා හිඳුවා ප්‍රණීත බොජුන් වළඳවා බත්කිස අවසානයේ ඒ ගම සියලු ස්ත්‍රීන් කැඳවා ඔවුනුත් සමග පසේබුදුවරුන් වැඳ තෙමසක් මෙහි වසනබවට ප්‍රතිඥා දෙනුමැනවයි ප්‍රතිඥාලබාගෙන නැවතත් ගමට ගොස් උස්හඬින් මෙසේ කීවාය:
මෑණිවරුනි, පියවරුනි, එක් එක් පවුලකින් එක් පුරුෂයකු බැගින් වෑ ආදිය රැගෙන කැලෑවටගොස් දැවදඬු ගෙනවුත් ආර්යයන්ට වාසස්ථාන කෙරෙත්වා. ගම්වැසියෝ ඇගේ අවවාදය පිළිගෙන එකඑක්කෙනා එක් එක් නිවාසය බැගින් රාත්‍රිස්ථානය දිවාස්ථානවලින්යුත් පන්සල් දහස්ක කතා තමතමන්ගේ පන්සලෙහි වස්විසූ පසේබුදුවරයන්වහන්සේ කෙරෙහි ම උපස්ථාන කළහ. වස් විසූකල තමතමන්ගේ පන්සල්වල වස්එළඹුණු පසේබුදුවරුන්ට තුන්සිවුරු හා වැසිසළු සාදවයි එකඟකරවාගෙන එක් එක් නමකට දහසක් බැගින් වටිනා තුන්සිවුරු දෙවීය. පසේබුදුවරු වස්වැස අනුමෝදනාකොට වැඩියාහ.