2. මහාකාශ්‍යප තෙරුන්ගේ සද්ධිවිහාරික භික්ෂුවගේ වස්තුව
චරං චෙ නාධිගච්ඡෙය්‍ය යන මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ සැවැත්නුවර වාසය කරන කාලයෙහි මහාකාශ්‍යප තෙරණුවන්ගේ සද්ධිවිහාරික භික්ෂුවක් අරභයා දේශනා කළසේක. දේශනාව රජගහනුවර උපන්නකි.
රජගහනුවර අසළ පිප්ඵලිගුහාවෙහි වාසයකළ මහාකාශ්‍යප තෙරණුවන්ට සද්ධිවිහාරිකයෝ දෙදෙනෙක් උපස්ථාන කළහ. ඔවුනතර එක් උපස්ථායකයෙක් ඉතා හොඳින් වතාවත් කෙළේය. අනිත් උපස්ථායකයා පළමුවැන්නා කළකළ දේ තමන් විසින් කරන ලද හැටියට පෙන්වමින් මුවදෝනා පැන් දැහැටි පිළියෙල වී ඇතිබව දැන ගොස්, ස්වාමීනි, මුවදොනා පැන් දැහැටි සූදානම්ය. මූණ සෝදාගනු මැනවයි කියයි. පාදොවන නාන ආදි කාලවලදීද මෙසේම කියයි. අනිත් තැනැත්තා මෙසේ සිතීය:
මොහු නිතරම මා විසින් කළ කළ දේ තමන් කළබවක් දක්වයි. එහෙම වුණාවේ, මොහුට කළයුත්ත කරන්නෙමියි ඔහු ආහාරගෙන නිදාසිටින වේලාවේ නානජලය උණුකොට වෙනත් සැළියකට වත්කොට එය සඟවා තැබීය. වෙනදා ජලය උණු කරන සැළියට වතුරටිකක් දමා ලිප මත තබා පැත්තකටවී සිටියේය.
අනික් උපස්ථායකයා සවස නැගිට උදුනෙහි දුම්දමන සැළිය දැක වතුර උණුකර කොටුවෙහි තබා ඇතැයි සිතා වහා ගොස් තෙරුන් වැඳ ස්වාමීනි, දියනානා කොටුවෙහි ජලය උණුකොට තබාඇත. නහනු මැනවයි කියා තෙරුණුත් සමගම කොටුවට පිවිසියේය. තෙරණුවෝ එහි ජලය නොදැක ඇවැත්නි ජලය කොහිදැයි ඇසූහ. ඔහු ගිනිශාලාවට ගොස් භාජනයට හැන්දක් දමා සැළිය හිස්බව දැන බලන්න මේ දුෂ්ටයාගේ වැඩ. හිස් බඳුන උදුනේ තබා කොහේ ගියේද? මම කොටුවෙහි ජලය ඇතැයි සිතා දැන්වූවෙමියි දොස් නගමින් කළ රැගෙන තොටට ගියේය. අනිත් උපස්ථායකයා පිටිපස්සෙහි තැබූ ජලය ගෙනවුත් කොටුවෙහි බහාලීය.
තෙරණුවෝ මෙසේ සිතූහ. මේ බාලයා මා විසින් ජලය උණුකර තබන ලදි. ස්වාමීනි නහනු මැනවයි කියා දැන් දොස්බස් පවසමින් කළයත් රැගෙන තොටට යයි. මේ කිමෙක්දැයි සොයා බලමින්, මෙතෙක් කල් මේ බාලයා මොහු විසින් කරන ලද වතාවත් තමන් කළාක් මෙන් කීවේයයි දැන සවස ළඟට පැමිණි ඔහුට අවවාද කරමින් ඇවැත්නි, භික්ෂුව විසින් තමන් කළ දෙයක්ම තමන් විසින් කරන ලදැයි කිය යුතුය. නොකළ දෙයක් නොකිය යුතුය. ඔබ මේ දැන් කොටුවෙහි ජලය තබා ඇත. ස්වාමීනි, නහනු මැනවැයි කියා මා ආ පසු කළයත් රැගෙන දොස්බස් කියමින් තොටුපළට යන්නෙහිය. පැවිද්දන් මෙසේ කිරීම අයෝග්‍යය.
හෙතෙම, බලන්න, මේ තෙරණුවන්ගේ හැටි. වතුර ටිකක් නිසා මට මෙසේ දොස් පවරතියි කිපී දෙවෙනි දා තෙරණුවන් සමඟ පිඬුපිණිස නොගියේය. මහාකාශ්‍යප තෙරණුවෝ අනිත් භික්ෂුවත් සමඟ එක පෙදෙසකට වැඩියහ. අර භික්ෂුව තෙරණුවන් වහන්සේ ගියකල්හි උන්වහන්සේගේ දායක ගෙදරකට ගොස් එහි හුන් අය තෙරුන්වහන්සේ කොහිදැයි ඇසූ පසු උන්වහන්සේට අපහසුකම් නිසා විහාරයෙහිම වැඩ සිටිතියි කීවේය. ස්වාමීනි යමක් අවශ්‍යදැයි ගෙදර අය ඇසූහ. මෙබඳු ආහාරයක් ලදහොත් මැනවයි කීවේය. ගෙදර අය ඔහු කී අයුරින්ම ආහාර සූදානම්කොට දුන්හ. ඔහු අතරමගදීම ඒ ආහාරය අනුභව කොට විහාරයට ගියේය. තෙරණුවෝ තමන් ගිය තැනින් වටිනා සිනිඳු වස්ත්‍රයක් ලැබී තමන් සමග ගිය දහර භික්ෂුවට එය දුන්හ. හෙතෙම එය පඩුපොවා තමන්ගේ ඇඳීම් පෙරවීම් සඳහා යොදා ගත්තේය.
දෙවෙනි දිනයේ ඒ දායක ගෙදර අය තෙරණුවන් වෙත ගොස් ස්වාමීනි, ඔබවහන්සේට අපහසු බව දැන අපි ළාබාලතෙරුන් කීහැටියට ආහාර පිළියෙලකොට එව්වෙමු. එය වළඳා පහසු වූයෙහිදැයි විමසූ කල්හි නිහඬ වූහ. විහාරයට ගොස් ඒ තරුණ භික්ෂුව තමන් ළඟටවුත් වැඳ සිටි කල්හි ඇවැත්නි තොප ඊයේ මෙබන්දක් කර ඇත. එය පැවිද්දෙකුට අනුචිතය කාට හෝ කියා සාදාගත් දෙයක් අනුභව කිරීම පැවිද්දෙකුට නොවටීයයි කීහ. හෙතෙම කිපී තෙරුන් හා වෛර බැඳ පළමු දිනයේ වතුර ටිකක් නිසා මා බොරුකාරයකු කොට අද තමන්ගේ දායක ගෙදරින් බත්මිටක් කෑම නිමිතිකරගෙන කියා පිසවාගත් ආහාර කෑම අයෝග්‍යයයි කියයි. ලැබුණුවස්ත්‍රයත් තමන්ගේ උපස්ථායක භික්ෂුවට දුන්නේය. මේ තෙරුන්ගේ ක්‍රියා ඉතා නපුරුය. මොහුට කළයුත්ත දනිමියි දෙවෙනි දිනයේ තෙරුන් ගමට ගිය කල්හි තෙමේ විහාරයෙහි නැවතී දණ්ඩක් ගෙන ප්‍රයෝජනයට ගන්නා භාජන බිඳදමා තෙරුන්ගේ පන්සල ගිනිතබා නොදැවෙන බඩු, මුගුරු පහරින් කුඩුකර දමා පලාගියේය. හෙතෙම මරණින් පසු අවීචිමහානිරයේ උපන්නේය.