11. ජම්බුකාජීවකයාගේ වස්තුව
මාසෙ මාසෙ කුසග්ගෙන යන මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ වේළුවනාරාමයෙහි වාසය කරන කාලයේ ජම්බුක නම් ආජීවකයා අරභයා දේශනා කළසේක.
අතීතයෙහි කාශ්යප බුදුන්ගේ කාලයෙහි ගම්වැසි එක් කෙළෙඹියෙක් එක් තෙරනමකට විහාරයක් කොටදී එහි නවත්වා සිවුපසයෙන් උපස්ථාන කෙළේය. තෙරණුවෝ නිරතුරු ඔහුගේ ගෙදර වළඳති. පසුව එක් රහත් භික්ෂූන්වහන්සේනමක් දවල් පිඬුපිණිස හැසිරෙමින් ඔහුගේ ගෙදොරට පැමිණියෝය. කෙළෙඹියා උන්වහන්සේ දැක ඉරියව් ගැන පැහැදී ගෙදරට කැඳවා ප්රණීත භෝජනයෙන් සකස්කොට වළඳවා, ස්වාමීනි, මේ සළුව පඬුපොවා පෙරවාගනු මැනවයි වටිනා සළුවක් දී, ස්වාමීනි, ඔබවහන්සේගේ කෙස් දිගවැඩිය, ඔබේ කෙස්බෑමට කරනවෑමියෙක් ගෙනෙන්නෙමි, ඔබට සැතපීමට ඇඳක්ද ගෙනෙන්නෙමියි කීවේය.
නිබඳව වළඳන කුලුපග භික්ෂුවට රහතන්වහන්සේ කෙරෙහි දක්වන ඒ සත්කාර දැක සිත පහදවාගන්නට නොහැකිවිය. මේ කෙළෙඹියා ඒ වේලාවේ දුටු අයට මෙපමණ සත්කාර කරයි. නිබඳව ගෙදර වළඳන මට සත්කාර නොකරයි යනුවෙන් සිතා විහාරයට ගියේය. රහතන්වහන්සේත් ඒ භික්ෂුව සමගම ගොස් කෙළෙඹියා දුන් සාටකය පඬුපොවා පෙරවූහ. කෙළෙඹියා කරනවෑමියා රැගෙන ගොස් රහත්තෙරුන්ගේ කෙස්බා ඇඳට නංවා ස්වාමීනි, මේ ඇඳෙහිම නිදාගනු මැනවයි කියා තෙරවරුන් දෙනමටම හෙට දිනය සඳහා ආරාධනාකොට ගියේය.
නේවාසිකභික්ෂුව අනිත් නමට සත්කාර කරනු ඉවසිය නොහැකිවිය. ඉන්පසු හෙතෙම සවස්කාලයෙහි රහත්තෙරුන් වැදහොත් තැනට ගොස් සතර ආකාරයකින් උන්වහන්සේට බැණවැදුණේය. ඒ මෙසේය. ඇවැත් ආගන්තුකය, ඔබ කෙළෙඹියාගේ ගෙදර බත් කනවාට වඩා අශුචි කෑම ඊට වඩා උතුම්ය. කෙළෙඹියා කැඳවාගෙන ආ කරනවෑමියා ලවා කෙස්බෑමට වඩා තල්ඇටවල පටලවා කෙස් ගළවාදැමීම උතුම්ය. කෙළෙඹියා දුන් සාටකය ඇඳීමට වඩා හෙළුවෙන් විසීම උතුම්ය. කෙළෙඹියා ගෙන ඇඳේ නිදනවාට වඩා බිම වැටී නිදාගැනීම උතුම්ය.
රහත්තෙරණුවෝත්, මේ බාලයා මානිසා නොනැසේවායි ආරාධනය සිහිනොකොට උදෑසනම නැගිට කැමති පරිදි ගියෝය. නේවාසික භික්ෂුවද උදෑසන විහාරයෙහි කළයුතු වතාවත්කොට පිඬුපිණිස හැසිරෙන වේලාවෙහි තවත් මේ ආගන්තුකයා නිදයි. කෙණ්ඩි ශබ්දයෙන්වත් අවදිවනු ඇතැයි යන හැඟීමෙන් නියපිටින් කෙණ්ඩියට ගසා උදෑසනම නැගිට ගමට ගියේය. කෙළෙඹියාත් සත්කාර සූදානම් කොට තෙරුන්වහන්සේලා එනමග බලන්නේ නේවාසිකභික්ෂුව පමණක් දැක ස්වාමීනි, අනිත් තෙරණුවන් කොයිදැයි විචාළේය.
ඉන්පසු නේවාසික භික්ෂුව, ඇවැත්නි, කුමක් කියමුද? ඔබේ කුලුපග භික්ෂුව ඊයේ ඔබ පිටත්වන වේලාවේ ඇඳට නැගී නින්දට වැටී, උදෙන්ම නැගිටි මම අමදින ශබ්දයෙනුත් පැන්බොන සෝදන කළගෙඩි ගැටෙන ශබ්දයෙනුත්, දිය ඉසින ශබ්දයෙනුත් කෙණ්ඩි ශබ්දයෙනුත්, ඇඳෙන් නොනැගිට නිදයි. කෙළෙඹියා මෙසේ සිතීය. එබඳු ඉරියව් සම්පතක් ඇති මගේ ආර්යයන්වහන්සේ මෙතෙක්කල් නොනිදන්නෝය. මා උන්වහන්සේට සත්කාර කරනු දැක ඒකාන්තයෙන් මුන්වහන්සේ විසින් කුමක් හෝ කියනලද්දේ විය හැකිය. හෙතෙම තමන් නුවණැති හෙයින් ඒ භික්ෂුව හොඳින් වළඳවා උන්වහන්සේගේ පාත්රය හොඳින් සෝදා නානාඅග්රරස ඇති භෝජන පුරවා ස්වාමීනි, මගේ ආර්යයන් දැක්කොත් මේ පිණ්ඩපාතය උන්වහන්සේට දෙනු මැනවැයි කීවේය.
අනික් භික්ෂුව පාත්රය අතට ගනිමින්ම ඉදින් ඔහු මේ පිණ්ඩපාතය වැළඳුවොත් මේ තැනදීම අතිලෝභයෙක් වන්නේයයි අතුරුමග පිණ්ඩපාතය දමා තෙරුන් වසන තැනට ගොස් උන්වහන්සේ එහි ඇද්දැයි බලන්නේ නොදැක්කේය. ඔහු මෙවැනි ක්රියාවක් කළහෙයින් අවුරුදු විසිදහසක් කළ මහණදහමද රකිනු නොහැකිවිය. ආයු කෙළවර අවීචිමහා නිරයෙහි ඉපදී එක් බුද්ධාන්තරයක් මහා දුක්විඳ මේ බුද්ධොත්පාදයෙහි රජගහ නුවර එක් බොහෝ කෑමබීම ඇතිකුලයෙක උපන්නේය.
ඔහු පා ඔසවා ඇවිදින කාලයේ පටන් ආසනයක නිදාගැනීමට හෝ බත් කෑමට හෝ නොකැමතිවිය. තම ශරීර මලම කයි. ළාබාලකම නිසා නොදැන කරතියි සලකා ඔහු පෝෂණය කළහ. වැඩිවයසටපත් කල වුවද රෙදි ඇඳීමට ප්රිය නොකරයි. නිරුවතින් සිට බිම නිදයි. තම ශරීරමලම අනුභව කරයි. ඉන්පසු ඔහුගේ මවුපියෝ මොහු කුලගෙයකට නොහොබී. මොහු ගැළපෙන්නේ ආජීවකයන්ට යයි ඔවුන් ළඟට ගෙනගොස් මේ දරුවා පැවිදි කරන්නැයි භාරදුන්හ. ආජීවකයෝ ඔහු පැවිදිකළහ. පැවිදි කරවන විටත් ගෙළ පමණ ගැඹුරු වළක ගිල්වා අංශසන්ධි දෙක ළඟ පුවරුවක් තබා එහි නැගී තල්ඇට කැබලිවලින් කෙස් ගැළවූහ. ඉන්පසු ඒ මවුපියෝ හෙටපිණිස ආරාධනාකොට ගියහ.
දෙවෙනි දින ආජීවකයෝ ඔහුට ගමට යාමට එවයි කීහ. ඔබලා යන්න. මම මෙහිම සිටින්නෙමියි කීය. ඔවුහු නැවත නැවතත් කියා ඔහු නවතා ගමට ගියාහුය. හෙතෙම ඔවුන් ගිය බව දැන වැසිකිළියේ වසා තිබූ පුවරුව ඉවත් කොට එහි බැස දෑතින්ම පිඬු වශයෙන් ගෙන අශුචි කෑවේය. ආජීවකයෝ ඇතුළුගමෙන් ඔහුට ආහාර එවූහ. ඔහු එය ප්රතික්ෂේප කෙළේය. නැවත නැවතත් කීනමුත් මට මේ ආහාරයන් වැඩක් නැත. මට ආහාර ලැබුණේයයි කීය. ආහාර ලැබුණේ කොහෙන්ද? මෙහිදීම ලැබිණි. මෙසේ දෙවෙනි තුන්වෙනි සිව්වෙනි දිනවලත් ඔවුහු බොහෝකොට කීවත් මම මෙහිම සිටිමියි ගමට යෑමට නොකැමති විය.
ආජීවකයෝ, මොහු දිනපතා ගමට යාමටත්, අප එවන ආහාර ගැනීමටත් නොකැමති වෙයි. මෙහිදීම මම ආහාර ලැබුවෙමියිද කියයි. ඔහු කරන්නේ කුමක්දැයි අල්වා ගන්නෙමුයයි ගමට යනකල දෙතුන් දෙනෙක් ඔහු අල්වා ගැනීම සඳහා නවතා සෙස්සෝ ගියහ. ඒ දෙතුන් දෙනා පසුපස්සේ යන්නවුන් මෙන් ගොස් සැඟවුණාහ. හෙතෙමේද ඔවුන් ගියබව දැන පෙර පරිද්දෙන්ම වැසිකිළියට බැස අශුචි කෑවේය.