3. මිරිඟුවක් කර්මස්ථාන කරගත් භික්ෂුවකගේ වස්තුව
ඵෙණූපමං යනාදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ සැවැත්නුවර වාසයකරන කාලයෙහි මිරිඟුව කමටහනක් කරගත් එක්තරා භික්ෂුවක් අරභයා දේශනා කළසේක.
ඒ භික්ෂුව බුදුන් වෙතින් කමටහන් ගෙන මහණදම් පුරන්නෙමියි ආරණ්යයට ගොස් බොහෝ උත්සාහ කොටත් රහත්විය නොහැකිව විශේෂයෙන් කමටහන් කියවා ගනිමියි බුදුන් හමුවට එන අතරමග මිරිඟුවක් දැක, මේ මිරිඟුව ග්රීෂ්මකාලයේ නැගී ළඟ ඇති රූපයක් මෙන් පෙනෙයි. ළඟට ආවවුන්ට නොපෙනෙයි. මේ ආත්මභාවයද ඉපදීම් වැයවීම් වශයෙන් එසේම වන්නේයයි මරීචිකර්මස්ථානය වඩමින් අවුත් මාර්ගක්ලාන්තය ඇතිවී අචිරවතී ගඟෙන් නා එක් සැඩපහර පෙනෙන ගංඉවුරේ ගසක් යට හිඳගත්තේය. ජලවේගය ගැටීමෙන් උඩට නැගී කැඩිකැඩී යන මහත්වූ පෙණපිඩු දැක මේ ආත්මභාවයත් ඉපදී බිඳී යන්නේ ඒ ආකාරයෙනියි අරමුණු කරගත්තේය. බුදුරජාණන්වහන්සේ ගඳකිළියෙහි වැඩසිටිමින්ම ඒ තෙරුන් දැක, මහණ, ඒ එසේමයි. මේ ආත්මභාවයත් පෙණපිඩක් මෙන්, මිරිඟුවක් මෙන් උපදින බිඳෙන ස්වභාවය ඇත්තේයයි වදාරා මේ ගාථාවද වදාළසේක.
පෙණ පිඩුවක් වැනි මේ කය
මිරිඟුවකැයි හඳුනාගෙන
මාරයාගෙ පස්කම් බැමි
බිඳදා ජය ගන්නේ.
මිරිඟුවකැයි හඳුනාගෙන
මාරයාගෙ පස්කම් බැමි
බිඳදා ජය ගන්නේ.
එහි ඉමං යනු මේ කෙස් සමූහ සංඛ්යාත කායං අබල දුබල අස්ථිරකාය තාවකාලික වශයෙන් පෙණපිඩුවකට සමානයයි විදිත්වා දැන මරීචි ධම්මං යනු යම්සේ මිරිඟුව දුර සිටින විට රූපගතවීමක් මෙන් අතින් ගතහැක්කක් සේ වැටහෙයි. ළඟට එන්නාට එය රික්තයක් හිස් එකක් නැති එකක්සේ අතින් ගත නොහැක්කක් සේ වැටහෙයි. එසේම ක්ෂණිකව එකක් නැසී එකක් ඇතිවන අර්ථ වශයෙන් මේ කයද මිරිඟුවකට සමාන පැවතුම් ඇත්තේය. අභිසම්බුධානො යනු අවබෝධ කරන්නේ, දැනගන්නේ යන අර්ථයි. පපුප්ඵකානි යනු මාරයාගේ පපුප්ඵක නම්ලද ත්රෛභූමකවෘත්ත ආර්යමාර්ගඥානයෙන් සිඳදමා ක්ෂීණාශ්රව භික්ෂුව මාරරාජයාගේ දර්ශනයට හෙවත් මාරදැලට අසුනොවී, විෂය නොවී අමාමහ නිවනට පැමිණෙන්නේය.
ගාථා කෙළවර තෙරණුවෝ ප්රතිසම්භිදා සහිතව රහත්බවට පැමිණ බුදුන්ගේ රන්වන් සිරුරට ස්තුති කරමින් වන්දනා කරමින් පැමිණියේය.
දෙවන මිරිඟුවක් කර්මස්ථාන කරගත් භික්ෂුවකගේ වස්තුවයි.
4. විඩුඩහ වස්තුව
පුප්ඵානිහෙව පචිනන්තං ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් සැවැත්නුවර වසන සමයෙහි පිරිසත් සමග මහා වතුරපාරක වැටී මැරුණු විඩූඩහ අරභයා දේශනා කරනලද.
මේ එහි පිළිවෙල කතාවයි. සැවැත්නුවර මහකොසොල් රජුපුත් පසේනදි නම් කුමරා විශාලානුවර මහාලි නම් ලිච්ඡවි කුමරා කුසිනාරාවේ මල්ලරජුපුත් බන්ධුල යන කුමාරවරු තිදෙනා දිසාපාමොක් ඇදුරන් ළඟ ශිල්පශාස්ත්ර හැදෑරීම සඳහා ගොස් නුවරින් බැහැර ශාලාවකදී එකට එකතුවී ඔවුනොවුන් එහි පැමිණි කාරණය කුලය නම්හොත් විචාරා දැනගෙන යහළුවන් වී එක්වම ආචාර්යයන් සමීපයට ගොස් මද කලකින්ම ශිල්ප ඉගෙන ආචාර්යයන්ගෙන් අවසර ලබාගෙන එකටම පිටත්වී ස්වකීය තැන්වලට ගියාහුය.
ඔවුන් අතර පසේනදි කුමරා සිය පියාට ශිල්ප දක්වා පැහැදුණු පියා ඔහු රාජ්යයෙහි අභිෂේක කෙළේය. මහාලි කුමරා ලිච්ඡවීන්ට මහත්වූ උත්සාහයෙන් ශිල්ප දැක්වීය. එහිදී ගන්නාලද වෑයම නිසා ඔහුගේ ඇස් දෙකම විනාශවිය. ලිච්ඡවී රජදරුවෝ අනේ අපේ ආචාර්යවරයාගේ ඇස් විනාශවීයයි අපි ඔහු හැර නොදමමු, ඔහුට සලකන්නෙමුයයි ලක්ෂයක් අයබදු උපදින එක් ගම්දොරක් දුන්හ. හෙතෙම එය ලබා පන්සීයක් ලිච්ඡවි රාජපුත්රයන්ට ශිල්ප උගන්වමින් සිටියේය.
බන්ධුලකුමරා උණගස් හැට බැගින් ගෙන මිටි බැඳ ඒවා මැදට යකඩකූරු ගසා මිටි හැට උඩට ඔසවා කෙළින්කරතබා මල්ලරාජ කුලයේ අය විසින් මේවා කැපියයුතු යයි කීකල අසූ රියනක් අහසට පැන කඩුවෙන් ඒ උණගස්මිටි හැට කපා හෙළාගෙන යන අතර, අවසාන මිටි කපද්දී කිණි යන හඬක් ඇසිණි. ඒ හඬ කුමක්දැයි අසා, ඒ සියලු උණගස් මැද යකඩකූරු ගසා ඇති බව දැන කඩුව පැත්තකට දමා අඬමින්, මගේ මෙතරම් නෑයන් සිටිද්දී එයින් එක් කෙනෙකු හෝ මට හිතවත්ව මේ කාරණය නොකීවාහුය. යම් ලෙසකින් යකඩකූරු දමා ඇති බව කල්තියා මා දැනගත්තා නම්, මේ යකඩ හඬක් නොඇසෙන සේ සිඳින්නෙමියි කියා මුන් සියලුදෙනා මරා පරාජය කරන්නෙම්දැයි මවුපියන්ට කීවේය. දරුව මෙය ඔවුන්ගේ ප්රවේණි රාජ්යයයි. මෙය ලැබිය නොහැක්කකි. එසේ නොකරවයි නොයෙක් අයුරින් වැළැක්වූ හෙයින්, එසේනම් මගේ යහළුවා ළඟට යන්නෙමියි සැවැත්නුවරට ගියේය.
පසේනදි කොසොල්රජු ඔහුගේ පැමිණීම ගැන අසා පෙරගමන්කොට මහත් හරසරින් නුවරට කැඳවාගෙන අවුත් සේනාපති තනතුරෙහි තැබීය. හෙතෙම මවුපියන්ද ගෙන්වාගෙන එහි වාසය කෙළේය. දිනක් රජු ප්රාසාදතලයෙහි සිට ඇතුළුවීථිය දෙස බලාසිටින විට අනේපිඬුසිටුවරයාගේ, සුළුඅනාථපිණ්ඩිකගේ, විශාඛාවගේ සහ සුප්පවාසාවගේත් යන මොවුන්ගේ ගෙවල්වල බත්කිස පිණිස වඩින දහස් ගණන් භික්ෂූන් දැක මේ ආර්යයන්වහන්සේලා කොහි වැඩමවන සේක්දැයි අසා, දේවයිනි, අනේපිඬුසිටුවරයාගේ ගෙදර නිත්යබත් හා ගිලානබත් ආදිය සඳහා දිනපතා භික්ෂූන් දෙදහසක් වැඩමවති. සුළුඅනේපිඬුසිටුහුගේ ගෙදරට පන්සීයකි. විශාඛාවගේත් සුප්පාවාසාවගේත් ගෙවල්වලද එසේය. ඒ අසා තමාත් භික්ෂුසංඝයාට උවටැන් කරනු කැමැත්තෙන් විහාරයට ගොස් භික්ෂූන් දහසක් සමග ශාස්තෘන්වහන්සේට දානයට ආරාධනාකොට සත්දිනක් දන්දී සත්වෙනි දිනයෙහි වැඳ බුදුන්ප්රමුඛ පන්සීයක් භික්ෂූන්ට නිබඳව තමනිවසේ භික්ෂාව ගන්නැයි ආරාධනා කෙළේය.
මහරජ, බුදුවරු එකම ස්ථානයක නිරතුරුව දන් නොවළඳති. බොහෝ අය බුදුන්ගේ පැමිණීම අපේක්ෂා කරන හෙයිනි. ස්වාමීනි, එසේනම් එක භික්ෂුනමක් නිබඳව එවනු මැනවි. බුදුරජාණන්වහන්සේ එය ආනන්ද හිමියන්ට භාර කළහ. රජු භික්ෂුසංඝයා වැඩමවූකල්හි පාත්රය ගෙන මුන්වහන්සේලා වැළඳවුව මැනවැයි කිසිවකුට භාරනොදී සත්දිනක් සියතින්ම වළඳවා අටවෙනි දිනයේ කළයුතු රාජකාරි ඇති හෙයින් ප්රමාදවිය. රජගෙදරත් කිසිවකුට අණකර නොතිබූ නිසා අසුන් පනවා භික්ෂූන් වඩාහිඳුවා වළඳවන්ට නොලැබිණි. බොහෝ භික්ෂූහු අපට මෙහි සිටීම අපහසුයයි ආපසු වැඩියාහුය. රජු දෙවෙනි දිනයේද පමාවිය. එදිනත් බොහෝ භික්ෂූහු ආපසු වැඩියහ. තෙවෙනි දිනයේත් රජු පමාවිය. එදින ආනන්දතෙරුන් පමණක් තනිවම නවතා අවශේෂ භික්ෂූහු වැඩියාහුය. පින්වන්තයෝ කාරණා සිතියහැකි අයවෙති. කුලයන්ගේ උපාසකවරුන් ප්රසාදයත් රකිති. බුදුරජාණන්වහන්සේට සැරියුත් මහමුගලන් දෙඅගසව්වන්වහන්සේ හා ඛේමා උප්පලවණ්ණා අග්රශ්රාවිකා දෙනමක් හා චිත්තගෘහපති හත්ථාලවක යන උපාසකවරු හා වේළුකණ්ඨකී නන්දමාතා ඛුජ්ජුත්තරා යන උපාසිකාවරු යන මේ අටදෙනා ආදිකොට ඨානාන්තරවලට පත් සියලුම ශ්රාවකයෝ දසපාරමිතාවලින් කොටසක් හෝ පුරා ඇතිහෙයින් මහ පිනැතියෝය. උතුම් ප්රාර්ථනා ඇත්තෝය. ආනන්දතෙරණුවෝත් කප්ලක්ෂයක පටන් පිරූ පාරමිතා ඇති උතුම් ප්රාර්ථනා ඇති මහපින්වන්තයෙකි. උන්වහන්සේ කාරණා සිතා ගැනීමේ දක්ෂතා ඇතිහෙයින් කුලයන්ගේ, උපාසකවරුන්ගේ ප්රසාදය රකිමින් තනියම සිටියහ. උන්වහන්සේ පමණක් වඩා හිඳුවා වැළඳවූහ.