4. විඩුඩහ වස්තුව
පුප්ඵානිහෙව පචිනන්තං ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් සැවැත්නුවර වසන සමයෙහි පිරිසත් සමග මහා වතුරපාරක වැටී මැරුණු විඩූඩහ අරභයා දේශනා කරනලද.
මේ එහි පිළිවෙල කතාවයි. සැවැත්නුවර මහකොසොල් රජුපුත් පසේනදි නම් කුමරා විශාලානුවර මහාලි නම් ලිච්ඡවි කුමරා කුසිනාරාවේ මල්ලරජුපුත් බන්ධුල යන කුමාරවරු තිදෙනා දිසාපාමොක් ඇදුරන් ළඟ ශිල්පශාස්ත්‍ර හැදෑරීම සඳහා ගොස් නුවරින් බැහැර ශාලාවකදී එකට එකතුවී ඔවුනොවුන් එහි පැමිණි කාරණය කුලය නම්හොත් විචාරා දැනගෙන යහළුවන් වී එක්වම ආචාර්යයන් සමීපයට ගොස් මද කලකින්ම ශිල්ප ඉගෙන ආචාර්යයන්ගෙන් අවසර ලබාගෙන එකටම පිටත්වී ස්වකීය තැන්වලට ගියාහුය.
ඔවුන් අතර පසේනදි කුමරා සිය පියාට ශිල්ප දක්වා පැහැදුණු පියා ඔහු රාජ්‍යයෙහි අභිෂේක කෙළේය. මහාලි කුමරා ලිච්ඡවීන්ට මහත්වූ උත්සාහයෙන් ශිල්ප දැක්වීය. එහිදී ගන්නාලද වෑයම නිසා ඔහුගේ ඇස් දෙකම විනාශවිය. ලිච්ඡවී රජදරුවෝ අනේ අපේ ආචාර්යවරයාගේ ඇස් විනාශවීයයි අපි ඔහු හැර නොදමමු, ඔහුට සලකන්නෙමුයයි ලක්ෂයක් අයබදු උපදින එක් ගම්දොරක් දුන්හ. හෙතෙම එය ලබා පන්සීයක් ලිච්ඡවි රාජපුත්රයන්ට ශිල්ප උගන්වමින් සිටියේය.
බන්ධුලකුමරා උණගස් හැට බැගින් ගෙන මිටි බැඳ ඒවා මැදට යකඩකූරු ගසා මිටි හැට උඩට ඔසවා කෙළින්කරතබා මල්ලරාජ කුලයේ අය විසින් මේවා කැපියයුතු යයි කීකල අසූ රියනක් අහසට පැන කඩුවෙන් ඒ උණගස්මිටි හැට කපා හෙළාගෙන යන අතර, අවසාන මිටි කපද්දී කිණි යන හඬක් ඇසිණි. ඒ හඬ කුමක්දැයි අසා, ඒ සියලු උණගස් මැද යකඩකූරු ගසා ඇති බව දැන කඩුව පැත්තකට දමා අඬමින්, මගේ මෙතරම් නෑයන් සිටිද්දී එයින් එක් කෙනෙකු හෝ මට හිතවත්ව මේ කාරණය නොකීවාහුය. යම් ලෙසකින් යකඩකූරු දමා ඇති බව කල්තියා මා දැනගත්තා නම්, මේ යකඩ හඬක් නොඇසෙන සේ සිඳින්නෙමියි කියා මුන් සියලුදෙනා මරා පරාජය කරන්නෙම්දැයි මවුපියන්ට කීවේය. දරුව මෙය ඔවුන්ගේ ප්රවේණි රාජ්‍යයයි. මෙය ලැබිය නොහැක්කකි. එසේ නොකරවයි නොයෙක් අයුරින් වැළැක්වූ හෙයින්, එසේනම් මගේ යහළුවා ළඟට යන්නෙමියි සැවැත්නුවරට ගියේය.
පසේනදි කොසොල්රජු ඔහුගේ පැමිණීම ගැන අසා පෙරගමන්කොට මහත් හරසරින් නුවරට කැඳවාගෙන අවුත් සේනාපති තනතුරෙහි තැබීය. හෙතෙම මවුපියන්ද ගෙන්වාගෙන එහි වාසය කෙළේය. දිනක් රජු ප්‍රාසාදතලයෙහි සිට ඇතුළුවීථිය දෙස බලාසිටින විට අනේපිඬුසිටුවරයාගේ, සුළුඅනාථපිණ්ඩිකගේ, විශාඛාවගේ සහ සුප්පවාසාවගේත් යන මොවුන්ගේ ගෙවල්වල බත්කිස පිණිස වඩින දහස් ගණන් භික්ෂූන් දැක මේ ආර්යයන්වහන්සේලා කොහි වැඩමවන සේක්දැයි අසා, දේවයිනි, අනේපිඬුසිටුවරයාගේ ගෙදර නිත්යබත් හා ගිලානබත් ආදිය සඳහා දිනපතා භික්ෂූන් දෙදහසක් වැඩමවති. සුළුඅනේපිඬුසිටුහුගේ ගෙදරට පන්සීයකි. විශාඛාවගේත් සුප්පාවාසාවගේත් ගෙවල්වලද එසේය. ඒ අසා තමාත් භික්ෂුසංඝයාට උවටැන් කරනු කැමැත්තෙන් විහාරයට ගොස් භික්ෂූන් දහසක් සමග ශාස්තෘන්වහන්සේට දානයට ආරාධනාකොට සත්දිනක් දන්දී සත්වෙනි දිනයෙහි වැඳ බුදුන්ප්රමුඛ පන්සීයක් භික්ෂූන්ට නිබඳව තමනිවසේ භික්ෂාව ගන්නැයි ආරාධනා කෙළේය.
මහරජ, බුදුවරු එකම ස්ථානයක නිරතුරුව දන් නොවළඳති. බොහෝ අය බුදුන්ගේ පැමිණීම අපේක්ෂා කරන හෙයිනි. ස්වාමීනි, එසේනම් එක භික්ෂුනමක් නිබඳව එවනු මැනවි. බුදුරජාණන්වහන්සේ එය ආනන්ද හිමියන්ට භාර කළහ. රජු භික්ෂුසංඝයා වැඩමවූකල්හි පාත්‍රය ගෙන මුන්වහන්සේලා වැළඳවුව මැනවැයි කිසිවකුට භාරනොදී සත්දිනක් සියතින්ම වළඳවා අටවෙනි දිනයේ කළයුතු රාජකාරි ඇති හෙයින් ප්‍රමාදවිය. රජගෙදරත් කිසිවකුට අණකර නොතිබූ නිසා අසුන් පනවා භික්ෂූන් වඩාහිඳුවා වළඳවන්ට නොලැබිණි. බොහෝ භික්ෂූහු අපට මෙහි සිටීම අපහසුයයි ආපසු වැඩියාහුය. රජු දෙවෙනි දිනයේද පමාවිය. එදිනත් බොහෝ භික්ෂූහු ආපසු වැඩියහ. තෙවෙනි දිනයේත් රජු පමාවිය. එදින ආනන්දතෙරුන් පමණක් තනිවම නවතා අවශේෂ භික්ෂූහු වැඩියාහුය. පින්වන්තයෝ කාරණා සිතියහැකි අයවෙති. කුලයන්ගේ උපාසකවරුන් ප්‍රසාදයත් රකිති. බුදුරජාණන්වහන්සේට සැරියුත් මහමුගලන් දෙඅගසව්වන්වහන්සේ හා ඛේමා උප්පලවණ්ණා අග්‍රශ්‍රාවිකා දෙනමක් හා චිත්තගෘහපති හත්ථාලවක යන උපාසකවරු හා වේළුකණ්ඨකී නන්දමාතා ඛුජ්ජුත්තරා යන උපාසිකාවරු යන මේ අටදෙනා ආදිකොට ඨානාන්තරවලට පත් සියලුම ශ්‍රාවකයෝ දසපාරමිතාවලින් කොටසක් හෝ පුරා ඇතිහෙයින් මහ පිනැතියෝය. උතුම් ප්‍රාර්ථනා ඇත්තෝය. ආනන්දතෙරණුවෝත් කප්ලක්ෂයක පටන් පිරූ පාරමිතා ඇති උතුම් ප්‍රාර්ථනා ඇති මහපින්වන්තයෙකි. උන්වහන්සේ කාරණා සිතා ගැනීමේ දක්ෂතා ඇතිහෙයින් කුලයන්ගේ, උපාසකවරුන්ගේ ප්‍රසාදය රකිමින් තනියම සිටියහ. උන්වහන්සේ පමණක් වඩා හිඳුවා වැළඳවූහ.
රජු භික්ෂූන් ගිය පසු අවුත් ඒ ඒ තැන්වල තිබූ කෑයුතු බුදියයුතුදේ එලෙසින්ම තිබෙනු දැක, ඇයි ආර්යයන්වහන්සේලා නොවැඩිසේක්දැයි අසා ආනන්දතෙරණුවෝ තනියම වැඩිසේක දේවනයන්වහන්සැයි අසා, මගේ මෙපමණ ද්‍රව්‍ය සම්භාරයක් විනාශ කොළෝයයි භික්ෂූන් කෙරෙහි කිපී බුදුන් ළඟට ගොස්, ස්වාමීනි, මම පන්සීයක් භික්ෂූන් උදෙසා දානය පිළියෙල කෙළෙමි. ආනන්ද හිමියෝ පමණක් වැඩිසේක. පිළියෙල කළ දානය එහෙම පිටින්ම ඉතිරිව ඇත. පන්සීයක් භික්ෂූහු මගේ ගෙදරට දැන්වීමක් නොකළහ. ඊට හේතුව කුමක්දැයි විමසීය. ශාස්තෘන්වහන්සේ භික්ෂූන්ගේ දෝෂයක් නොවදාරා මහරජ, මගේ ශ්‍රාවකයන් ඔබ හා සම කුළුපග කමක් නැත. එනිසා භික්ෂූන් නොආවා වියහැකියයි පවසා, කුලයන් වෙත යායුතු කරුණුත් නොයායුතු කරුණුත් ප්‍රකට කෙරෙමින් භික්ෂූන් අමතා මේ සූත්‍රය දේශනා කළසේක.
මහණෙනි, අංග නවයකින් යුක්ත කුලයන් වෙත පළමුව නොපැමිණියත් පසුව යාම හෝ නොවටී. දෙවනුව ගියත් එහි වාඩිවී නැවතීමත් වටනේ නොවෙයි. කෙබදු අංග නවයකින්ද? ගෙට යනකල කැමැත්තෙන් නැගී නොසිටිත්ද? කැමැත්තෙන් නොවඳිත්ද, කැමැත්තෙන් අසුන් පනවා නොදෙත්ද, දෙන්ට දෙයක් ඇතත් නැතිබැරිකම් කියා නොදෙත්ද, බොහෝ ඇතත් ටිකක් දෙත්ද, ප්‍රණීත දේ ඇතත් කටුක දේ දෙත්ද, සකසා නොදෙත්ද, දෙනදෙය වුවත් අපිළිවෙලින් නොසැලකිලිමත් ලෙස දෙත්ද, අනුමෙවෙනි බණ නාසත්ද, මහණෙනි, මේ අංග නවයෙන් යුත් කුලයන් වෙත මුලින් නොපැමිණියත් පසුව හෝ නොපැමිණිය යුතුය. පැමිණියත් නැවතී හිඳ නොගත යුතුය.
මහණෙනි, අංග නවයකින් යුත් කුලයන් වෙත පළමුවෙන් නොපැමිණියත් පැමිණිය යුතුවේ. පැමිණ නැවතී හිඳගැනීම යුතුය. කෙබදු අංග නවයකින්ද? යම් කුලයක්, පවුලක් කරා යනවිට මනාපෙන් හිඳිඅසුන්වලින් නැගිටිත්ද, කැමැත්තෙන් වැඳුම් පිදුම් කෙරෙත්ද, මනාපෙන් අසුන් පනවා දෙත්ද, ඇතිදේ නොසඟවා දෙත්ද, බොහෝදේ ඇතිවිට බොහෝ දෙත්ද, ප්රණීතදේ ඇතිවිට ප්‍රණීත දේ දේත්ද, සකස් කොටම දෙත්ද නොසකස්ව නොදෙත්ද, අනුමෝදනා බණ කැමැත්තෙන් රැඳී අසත්ද මහණෙනි, මේ අංග නවයෙන් යුත් කුලයන් වෙත පළමුව නොගියත් යායුතුය. දෙවනුව හෝ යායුතුය. පැමිණ නැවතී හිඳගතයුතුය.
මහරජ මේ කරුණු අනුව මගේ ශ්‍රාවකයෝ ඔබ වෙතින් විශ්වාසයක් නොලබා නොගියා වියහැකියයි වදාළහ. එසේ වදාරා පුරාණ නුවණැත්තෝත් විශ්වාසයක් නොමැති තැන සකස්ව උපස්ථාන කළත්, මරණාසන්න වේදනාවට පැමිණ විශ්වාසික ස්ථානයටම ගියහයි වදාළකල්හි, ස්වාමීනි, ඒ කවදාදැයි ඇසූවිට අතීත කථාවක් ගෙනහැරපෑහ.
අතීතයේ බරණැස බ්‍රහ්මදත්ත නම් රජු රාජ්‍යය හැරදමා ගොස් සෘෂිපැවිද්දෙන් පැවිදිවිය. ඔහු අනුව ගොස් තවත් පුරුෂයෝ පන්සීයක්ද පැවිදිවූහ. ඔහු කේසවතාපස නමින් ප්‍රකට විය. ඇඳුම් පැළඳුම් පළඳවන කපුවාද ගොස් පැවිදිව කප්පක නමින් අතවැසි වූයේය. කේසව තවුසා පිරිසත් සමග අටමසක් හිමවත වැස වර්ෂාකාලයෙහි ලුණුඇඹුල්, සේවනය සඳහා බරණැසට අවුත් පිඬුසිඟා ගියේය.
ඉන්පසු බරණැස් රජු ඔවුන් දැක පැහැදී ඉදිරි සිවුමස තමන් සමීපයෙහි වාසයකිරීම පිණිස ප්‍රතිඥා ඇතිකර ගෙන උයනෙහි වාසය කරවා තෙමේ උදේ සවස උපස්ථානයට යයි. අවශේෂ තවුසෝ කීප දිනක් සිට ඇතුන්ගේ ශබ්දාදිය ඉවසනු නොහැකිව කළකිරී ආචාර්යයෙනි, අපි කළකිරුණෙමු පිටත්වී යම්හයි කීහ. දරුවෙනි අපි කොහි යන්නෙමුද, ආචාර්යතුමනි, හිමවතට යමු. රජතුමා අප පැමිණි දිනයෙහිම සාරමසක් මෙහි විසීම පිණිස ප්‍රතිඥාවක් ගත්තේය. ඉතින් දරුවනි, කෙසේ යන්නෙමුද, ඔබට අපට නොදන්වාම ප්‍රතිඥා දුන්නෙහිය. අපට මෙහි විසිය නොහැකියි. මේ කිට්ටුව ඔබේ පුවත් දැනගත හැකි තැනක වසන්නෙමුයි වැඳ පිටත්ව ගියහ. කපුඅන්තේවාසිකයා සමග ආචාර්යවරයා නැවතුණේය.