15-16. ගරහදින්න වස්තුව
යථා සංඛාරධානස්මිං යන මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වාසයකරන කාලයෙහි ගරහදින්න නමැත්තා අරභයා දේශනාකළසේක.
සැවැත්නුවර සිරිගුත්ත ගරහදින්න යන නම්වලින් යහළුවෝ දෙදෙනෙක් වූහ. එයින් සිරිගුත්ත උපාසකයෙකි. ගරහදින්න නිගණ්ඨශ්‍රාවකයෙකි. නිගණ්ඨයෝ ඔහු අමතා සිරිගුත්තට මෙසේ කියන්නැයි කීහ. ඔබ ශ්‍රමණභවත් ගෞතමයන් වෙත යන්නේ ඇයි? ඔහු ළඟදී කුමක් ලැබිය හැකිද? එසේ කියා අප ළඟටම පැමිණෙන ලෙසත් අපටම දියයුතුදේ දෙන්නැයි කියාත් අවවාද නොකරන්නේ ඇයි? ගරහදින්න ඔවුන්ගේ වචන අසා නිරතුරුව ගොස් සිටින හිඳින හැම තැනකදීම සිරිගුත්ත අමතා, යහළුව ඔබට ශ්‍රමණ ගෞතමයන් වෙත යෑමෙන් ඇති ඵලය කුමක්ද? එහි ගොස් කුමක් ලබන්නටද? ඔබ අපේ ආර්යයන් වෙත නොයන්නේ ඇයි? උන්වහන්සේලාට දන් නොදෙන්නේ ඇයි?
සිරිගුත්ත ඔහුගේ බස් අසාත් බොහෝ දිනවල නිහඬව සිට කළකිරීමට පත්ව එක්දිනක්, යහළුව නිතර පැමිණ මා හිඳින සිටින හැම තැනදීම ශ්‍රමණ ගෞතමයන් වෙත යෑමෙන් ඇතිඵලය කුමක්ද? මගේ ආර්යයන් වෙත පැමිණ දන්දෙව යනුවෙන් කියයි. ඔබේ ඔය ආර්යයන් දන්නේ මොනවාදැයි මට පළමුවෙන්ම කියා දෙන්නැයි කීවේය. අනේ, යහළුව, එසේ නොකියව. මගේ ආර්යයන් නොදන්නා දෙයක් නැත. අතීත අනාගත වර්තමාන සියල්ලත් සියලු කාය වචී මනෝකර්මයන්ගෙන් මෙය සිදුවෙයි, මෙය සිදුනොවෙයි ආදි සියල්ලත් සිදුවිය හැකි නොහැකි සියල්ලත් දනිත්යයි කීවේය. එසේනම් කියන්නේ එහෙමද? යහළුව, එසේය. ඉතින් මෙතෙක්කලක් මට එය නොකියා සිටීමෙන් ඔබ විසින් කර ඇත්තේ බරපතළ ක්‍රියාවකි. අද මම ඒ ආර්යයන්ගේ ඤාණානුභාවය දැන ගනිමි. යහළුවාණනි, මගේ වචනයෙන් ආර්යයන්ට දානයක් සඳහා නිමන්ත්‍රණය කරවයි සිරිගුත්ත කියා සිටියේය. හෙතෙම නිවටුන් හමුවට ගොස් ඔවුන්ට වැඳ මගේ යහළු සිරිගුත්ත හෙට දානය සඳහා ඔබවහන්සේලාට ආරාධනා කරන්නේයයි කීය. සිරිගුත්තම ඔබට මෙසේ කීවෙහිද? එසේමය ආර්යයෙනියි හේ කීය. නිගණ්ඨයෝ තුටුපහටු සිතින් අපේ කාර්යය ඉටුවීයයි සිරිගුත්ත අප සමග පැහැදුණු කාලයේ පටන් කවර නම් සැපතක් අපට නොලැබෙන්නේදැයි කීවාහුය.
සිරිගුත්තට මහත් ගෙයක් විය. හෙතෙම ඒ ගෙවල් දෙක අතර දිග පළල ඇති වළක් කණවා අශුචි මඩවලින් පිරවිය. වළ දෙකෙළවර කණු සිටවා ලණු බැඳ ආසනවල ඉදිරි පා වළේ ඉදිරි කෙළවර තබා පසු පා ලණුවලින් ගැට ගසා තැබීය. ඒ ආසනවල හිඳිකල පසු පා ලණුවලින් ඇද්දවිට ඔවුන්ගේ හිස් යටට හැරී වැටෙන්නේය යන අදහසින් එසේ කරනලදි. ඉන්පසු වළ නොපෙනෙන සේ ඒ මත ඇතිරිලිවලින් වසන ලදි. ඉන්පසු ලොකු ලොකු හැළිසෝදවා කෙසෙල්කොළ හා රෙදිවලින් ඒ හැලිවල කටවල්බැඳ ඒවා හිස්වම කැඳබත් ගිතෙල් කැවුම්කුඩු ආදිය තවරා ගේපිටිපස තැබ්බවීය. එදින උදෑසනම ගරහදින්න ඉක්මන් ගමනින් සිරිගුත්තගේ ගෙට ගොස් ආර්යයන්ට සත්කාර සූදානම්දැයි විචාළේය. යහළුව එසේය සියල්ල සූදානම්යයි හෙතෙම කීවේය. ඒවා කොහේද? මෙතන මේ හැළිවල කැඳය. මෙපමණ සැළිවල බත්ය. මෙතෙක් හැළිවල ගිතෙල් පැණි කැවුම් ආදියය කීය. හෙතෙම යහපතැයි කියා ගියේය. ඔහු ගියකල පන්සීයක් නිගණ්ඨයෝ එහි පැමිණියාහුය. සිරිගුත්ත ගෙයින් නිකම අවුත් පසඟපිහිටුවා නිගණ්ඨයන් වැඳ ඔවුන් ඉදිරියේ ඇඳිලි බැඳ සිටගෙන, තෙපි වනාහි අතීතාදි සියලු කාලභේද දන්නාහුය. ඒ බව තොපගේ උපස්ථායකයා විසින් මට කියාදෙන ලදි. ඉදින් තෙපි ඒ සියල්ල නොදන්නාහු නම් මගේ ගෙට නොයව. නොදැන පිවිසි තොපට මෙහි කැඳබත් නැත. නොදැන ගෙට ඇතුළුවූ හෙයින් අශුචිවළට දමා දඬුවම්කෙරෙමියි සිතා මිනිසුන්ට, කථාකොට මොවුන් හිඳගත්කල පිටුපසින් සිට අසුන්වල ඇතිරිලි අශුචි නොගෑවෙනලෙස ඉවත්කරව්.
ඉන්පසු නිවටුන් අමතා, ස්වාමීනි, මෙහි එනු මැනවැයි කීය. නිගණ්ඨයෝ අවුත් පැනවූ අසුන්වල ඉඳගන්ට පටන්ගත්හ. ඉන්පසු මිනිස්සු ඔවුන් අමතා ස්වාමිවරුනි වඩිනු මැනවි. එහෙත් දැන්ම වැඩනොසිටිනුයි කීහ. ඒ කුමක් නිසාදැයි ඇසූහ. අපේ ගෙට පිවිසෙන ආර්යයන් වතාවත් දැන ඒ අනුව හිඳගැනීම කළයුතුය. ඇවැත්නි, කුමක් කටයුතුද තමතමන්ට ලැබෙන ආසනමුල සිට සියලුදෙනාට එකමවරම හිඳ ගැනීම කළයුතුය. මෙසේ කරන ලද්දේ එකෙක් වළෙහි වැටුණුවිට සෙස්සෝ හිඳ ගැනීම නොකෙරෙතියි සිතාය. ඔවුහු යහපතැයි කියා, මොවුන් කී කථාව අප විසින් කළයුතුයයි සිතූහ.
ඉන්පසු සියලුදෙනු තමතමන්ට ලැබුණු අසුන්මුල පිළිවෙලින් සිටියාහුය. ඉන්පසු ඔවුහු ස්වාමීනි, වහා එක්වරම හිඳගනුමැනවැයි කියා ඔවුන් හිඳගන්නා බවදැන ආසනවල එලාතිබුණු ඇතිරිලි ඉවත්කළහ. නිගණ්ඨයෝ එක්වරම හිඳගත්හ. ලණුඋඩතිබුණු ආසනවල පා බිඳිණි. නිගණ්ඨයෝ හිස් පාතට හැරී වළෙහි වැටුණාහ. සිරිගුත්ත ඔවුන් වැටුණු පසු දොරවල් වසා උඩට එන එනවුන්ගෙන් අතීත අනාගත වර්තමාන කර්මයන් දැනගනිව් කියමින් පොලුවලින් තළවා මොවුන්ට මෙපමණක්ම සෑහේයයි දොරවල් හැර දැමීය. නිවටෝ නික්මී පලායන්ට පටන්ගත්හ. ඔවුන් ගමන් කරන මාර්ගය සුණු තවරා ඒ බිම නානුවර්ගවලින් පුරවා තිබිණි. ඔවුන් එහි සිටගෙන සිටිය නොහැකිව ලිස්සා වැටෙනවිට නැවතත් තළවා තොපට මේ ප්‍රමාණවත්යයි පිටත්කර හැරියේය. නිගණ්ඨයෝ අප නසාදමන ලදි. විනාශකරදමන ලදැයි හඬමින් උපස්ථායකයාගේ ගෙදරට ගියාහුය.
ගරහදින්න ඔවුන්ගේ විප්‍රකාරය දැක, සිරිගුත්තයා විසින් මා නසා දමනලදි. අතදිගහැර සදෙව්ලෝ වැසියන් විසින් වඳිනුලබන, කැමතිපරිද්දෙන් දන්දිය හැකි පින්කෙත් බඳු මාගේ ආර්යයන් තළාපෙළා ව්‍යසනය පත්කරන ලද්දේයයි රජකුලයට ගොස් ඔහුට කහවණු දහසකට දඩනියම කරනලෙස ඉල්ලීය. ඉන්පසු රජු ඔහුට ලිපියක් යැවීය. සිරිගුත්ත එහි ගොස් රජුන් වැඳ දේවයන්වහන්ස, පරීක්ෂාකර දඩ ගන්නෙහිද, එසේ නොකොට ගන්නෙහිදැයි ඇසීය. පරීක්ෂාකොට ගන්නෙමියි රජු කීවේය. දේවයන්වහන්ස, මැනවි එසේනම් ගනු මැනවැයි ඔහු කීවේය. දේවයන්වහන්ස, මගේ යහළුවා, නිගණ්ඨ ශ්‍රාවකයෙකි. ඔහු මාවෙත පැමිණ මා සිටින හිඳින හැම තැනදීම නිතරම, යහළුව ශ්‍රමණ ගෞතමයන්ගෙන් ඔබට ඇති ප්‍රයෝජනය කුමක්ද, එහි ගොස් කුමක් ලබා ගන්නෙහිද ආදි වශයෙන් සියල්ල සිරිගුත්ත ප්‍රකාශ කෙළේය. දේවයිනි, ඉදින් මෙහිදී දඩයක් ගතයුතුනම් එය ගනුමැනවැයි කීවේය. රජු ගරහදින්න දෙස බලා ඔබ මෙසේ කීවේ සැබෑදැයි ඇසීය. දේවයිනි එසේය. සැබෑයයි හේ කීවේය. ඔබ මෙපමණකුත් නොදන්නාවුන්ට බුදුන්යයි පිළිගෙන සියල්ල දන්නවුන්යයි කුමක් නිසා බුද්ධශ්‍රාවකයෙකුට කීවෙහිද? ඔබ නියම කළ දඩය ඔබ විසින්ම ගෙවිය යුතුයයි කීවේය. මෙසේ තමන්ම දඩත් ගෙවා කුලුපගයන්ටත් තළා පිටත්කර හැරියේය.